මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Thursday, August 20, 2015
ආමිසයච ද? ප්‍රතිපත්තිය ද?
"සුඛෝ බුද්ධානං උප්පාදෝ" බුදුවරයාණන් වහන්සේලාගේ උප්පත්තිය සුඛයකි. ඒ සුඛය වත්මන් ලෝ වැසියාටද ලැබී තිබේ. එනමුත් සැබෑවටම ලොවැසියා සැපයේද? විමසා බලමු.
"ස්‌වාක්‌ඛාතේ භික්‌ඛවේ ධම්මවිනයේ යෝ ආරද්ධ විරියෝ සෝ සුඛං විහරති." මහණෙනි මනාව දේශනා කරන ලද ධර්ම විනයක යමකු ඇරඹු වීර්යයෙන් කටයුතු කරයිද හෙතෙම සැප සේ වාසය කරයි.
එබැවින් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහල වූ පමණින්ම ලෝ වැසියා සුත මුදිත වන්නේ නැත. ලෝ වැසියා යම් සේ සුත මුදිත වේ ද ඒ පහල වී වදාළා වූ බුද්ධ රත්නය ලොවට දේශනා කරන ධර්ම රත්නය පිළිපැදීම තුළිනි. ඒ විනා ධර්මය කර තබාගෙන සසරෙහි ඇවිදීමෙන් නොවේමය.
"ස්‌වාක්‌ඛාතේ භික්‌ඛවේ ධම්මවිනයේ යෝ කුසීතෝ සෝ දුක්‌ඛං විහරති." මහණෙනි මනාව දේශනා කරන ලද ධර්ම විනයක යමකු කුසීතව කටයුතු කරයිද හෙතෙම දුක සේ වාසය කරයි" යනුවෙන් දේශනා කර වදාළේ එම කරුණයි.
එබැවින් "බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි" යනුවෙන් අවංකව කියනු කැමැත්තාහු විසින් ඒ බුද්ධ භාෂිත සංඝ භාවිත ශ්‍රී සද්ධර්මය පිළිපැදිය යුතුමය. සැනසුමට මගනම් එයම වේ.
පිළිපැදිය යුත්තේ කෙසේද?
වර්තමාන බුදු දහම නම් පාංශුකූලයට හාමුදුරුවන් වැඩමවීම, මළගිය ප්‍රාණකාරයාට පින් තකා බණ කියවීම, හත් දවසේ, තුන්මාසේ දාන දීම, පෝයට සිල් සමාදන් වීම, බෝධි පූජාවක් තබා ගැනීම, පිරිතක් කියවා ගැනීම, භාවනා පංති යාම වැනි පටු චින්තනයක සිරවුවක් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පටු චින්තනයක් යෑයි කීවේ "කරන්නන් වාලේ කරනු විනා" අර්ථයක් නොදක්‌නා බැවිනි. එසේ අර්ථයක් නොදැන කටයුතු කිරීමම ශාසන පරිහානිය පිණිස පවත්නා බරපතල ගැටලුවක් වී තිබේ. එබැවින් ධර්මය පිළිපැදිය යුත්තේ ඒ ධර්ම විනය විනාශ වන සේ ලාමක අයුරින් නොව චිරස්‌ථායි වන අයුරිනි. එනම් ලාමක අර්ථ මූලික කරගනිමින් නොව ගම්භීර අර්ථ පෙරටුකොට ගනිමිනි.
ගම්භීරාර්ථය නම් කුමක්‌ද?
ගම්භීර අර්ථය නම් නිවනම වේ. එබැවින් බුදු දහම පිළිපැදිය යුත්තේ නිවන් අරමුණු කරගෙනම මිසෙක ජීවත් වන කාලය තුළ කරදර දුරුකර ගැනීමේ අදහසින් නොවේය. බුදු දහම පිළිපැදීම තුළින් එදිනෙදා කරදර බොහෝ සෙයින් දුරුකරගත හැකිබව සැබෑවකි. එනමුත් එයම අරමුණ වේ නම් නිවන අතහැරීම ස්‌වභාවයෙන්ම සිදුවේ. කිමද යත් නිවන අනවශ්‍ය වී යන බැවිනි. එබඳු නිවන අරමුණු නොකොට ලෞකික සුභ සිද්ධිය තකා කටයුතු කරන තැනැත්තහු විසින්ම පෙර කී සේ ලාමක අදහසින් යුතුව බුදු දහම තුළ කටයුතු කරයි. ඒ ඔහු විසින්ම සසුන වනසනු ලබයි. එබැවින් එබඳු ක්‍රියා වලින් වහ වහා මිදීම කළ යුතුම වේ.
ගම්භීරාර්ථය උදෙසා මාර්ගය කුමක්‌ද?
යමක් සංකීර්ණ වන තරමටම එහි ප්‍රතිපදාවද සංකීර්ණ වේ. ඒ අනුව ලොව සංකීර්ණම ක්‍රියාව වූ නිවන් පසක් කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවක් වේ. කොපමණ සංකීර්ණ වුවද ඒ මග ගමන් කිරීමකින් තොරව සැනසීමක් ද නැත්තේමය. එබැවින් කවර හෝ දුකක් විඳගෙන ඒ මග යා යුතුමය. ඒ සඳහා උත්සාහවත් වෙමු.
බුද්ධ ශාසනයෙහි පූජා දෙකකි. ආමිස පූජාව හා ප්‍රතිපත්ති පූජාව වේ. ඒ දෙකම ධර්මය පිළිපැදීමේ ආකාර දෙකක් වේ. ඒවායේ හැසිරෙන තැනැත්තා එමගින් ශාස්‌තෘන් වහන්සේට සත්කාර කරන බැවින්, ගෞරව කරන බැවින් පූජා නමින් හඳුන්වනු ලැබේ. ඒ කුමන අයුරකින් ශාස්‌තෘන් වහන්සේට ගරු කළේද එමගින් පළමුව තමන්ට කුසලයක් සිදුවේ. දෙවනුව ශාස්‌තෘ ගෞරවය සිදුවේ.
එහිදී ආමිසය මූලික කරගනිමින් කටයුතු කරන තැනැත්තා ශාස්‌තෘන් වහන්සේට නිසියාකාරව ගෞරව නොකරන බව බුදුරජාණන්වහන්සේම දේශනා කර ඇත. එසේම නිසියාකාරව ගරු කිරීම නම් ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කිරීම බවද එහිම දක්‌වා තිබේ. එබැවින් ශාස්‌තෘ දේශනය අනුව ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් වේ.
එසේම පෙර කියන ලද අයුරින් ලෞකික අරමුණු සහිතව කටයුතු කරන තැනැත්තා ආමිසයට නැඹුරු වීම ස්‌වභාවයෙන්ම සිදුවන්නකි. ඒ භවභෝග සම්පත් ආදිය තකා දන්දීම ආදිය තුළිනි. එසේම ග්‍රහ අපල දුරුකරගැනීම, රැකීරක්‌ෂා දියුණුව ආදිය මූලික කරගනිමින් විවිධ වූ පූජා පැවැත්වීමද සිදුවන්නකි. එය සරලම ක්‍රියාව හා එතුළින් ලෞකික අරමුණු මුදුන් පමුණුවා ගැනීම පහසුවෙන් කළහැකි බැවින් වර්තමානික ගිහි පැවිදි බෞද්ධයෝ ආමිසය කෙරෙහි නැඹුරුව වැඩිය. එබැවින් ඔවුන් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහල වීමෙන් ලැබිය හැකි උතුම් සැනසීම නොලබන්නේ වේ. තවද එමගින් ශාසනය දුර්වල වීම ද සිදුවේ. කිමද යත් ශාසනික ගම්භීර අර්ථ අතහැරෙන බැවිනි. එසේම හුදෙක් ආමිසය තුළ හැසිරීම මගින් බලාපොරොත්තු වන සේ කුසල් ද ළඟාකරගත නොහැක. කිමද යත් කුසලයක් මහත්ඵල මහානිසංස සිදුවීමට අවැසි මූලික පදනම නොමැති බැවිනි.
එනම් යම් කුසලයක් මහත්ඵල මහානිසංස වන්නේ සිල්වත් පුද්ගලයන් හටය. එනමුත් ආමිසය මූලික කොට කටයුතු කරන තැනැත්තා ප්‍රතිපත්තිය පසුපසට දමන බැවින් ඒ කුසලය කළේ සිල්වතකු නොවේ. එසේම සමාධි ප්‍රඥා ද පසුබසින බැවින් තවත් දුබල කුසලයක් බවට පත් වේ. එබැවින් ආමිසය මූලික කොට කටයුතු කරන තැනැත්තාගේ කුසලය දුබලය.
එනමුත් යමෙකු ප්‍රතිපත්තිය මූලික කොට කටයුතු කරයි නම් හෙතෙම ආමිසය හා ප්‍රතිපත්තිය යන දෙකම සිදුකළා වේ. කෙසේද යත් ප්‍රතිපත්තිය නම් සීල සමාධි ප්‍රඥා වේ. එනම් දස අකුසලයෙන් වෙන්වීම නොහොත් දස කුසලයෙහි හැසිරීම වේ.එනම් ප්‍රාණඝාතයෙන් වැලකීම, අදින්නා දානයෙන් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරුකීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, පරුෂ වචනයෙන් වැලකීම, හිස් වචනයෙන් වැලකීම, දැඩි ලෝභයෙන් වැලකීම, ව්‍යාපාදයෙන් වැලකීම, මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම වේ. එහි ප්‍රාණඝාතයෙන් වැලකීම, අදින්නා දානයෙන් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරුකීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, පරුෂ වචනයෙන් වැලකීම, හිස් වචනයෙන් වැලකීම යන සප්ත කර්ම පථය යනු සීලය වේ. එබැවින් යමකු ප්‍රතිපත්ති ගරුකව සප්ත කර්මපතයෙන් වෙන් වේ නම් ඔහු සීලමය කුසලය කරන ලද තැනැත්තෙකි. එනම් සීලමය පිංකම කළ තැනැත්තෙකි.
එසේම දැඩි ලෝභය දුරුකිරීම නම් වූ කුසලය තුළ හැසිරීම යනු දන් දීම වේ. නොඑසේ නම් දැඩි ලෝභය දුරුකිරීමට දන් දිය යුතු වේ. එයද දානමය පිංකම කළා වේ. එසේම ව්‍යාපාදයෙන් වෙන්වීම නම් මෛත්‍රී භාවනාව කළා වේ. මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වීම ද භාවනා කුසලය යටතෙහි යොමු වේ.
එබැවින් යමකු ප්‍රතිපත්තිය තුළ හැසිරේ නම් ඔහු ආමිසය තුළ හැසිරුනාම වේ. එනමුත් ආමිසය මූලික කර කටයුතු කරයි නම් ප්‍රතිපත්තිය අතහැරීම සිදුවේ.
ඒ අනුව යමකු ප්‍රතිපත්තිය මූලික කොට ක්‍රියා කරයි නම් ඔහු ආමිස ප්‍රතිපත්ති දෙක තුළම හැසිරෙන බැවින් ඔහු මනාව බුදු දහම තුළ හැසිරුණා වේ. ඔහු සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිස කටයුතු කරන බැවින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවිතයෙන් සුරක්‌ෂිත කළා වේ. එසේම ධර්මය තුළ හැසිරෙන බැවින් සුව සේ වාසය කරන්නේ වේ. ශාස්‌තෘන් වහන්සේට නිසි ගෞරව දැක්‌වුවා වේ. ඔහුම සම්බුදු සසුන සුරැකීමට නිවැරදිව කටයුතු කරන තැනැත්තා වේ. එබැවින් ඔබ සැබෑවටම තෙරුවන් සරණ ගියා නම් ආමිසය නොව ප්‍රතිපත්තිය මූලික කොට කටයුතු කරන්න. බුදුදහම ජීවිතය හා බද්ධ කරගන්න. ධර්මානුකූලව හැසිරෙන්න. ධර්මය තුළ හැසිරෙමින් සසුන සුරකිමින් උතුම් වූ ලෝකෝත්තර සැපය ලඟාකරගන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි..
පූජ්‍ය වැල්ලයාවේ සුමනබෝධි හිමි
2015 බක් මස 03 වැනිදා සිකුරාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment