අප්පකා තේ මනුස්‌සේසු
යේ ජනා පාරගාමිනෝ
අථා යං ඉතරා පජා
තීරමේවානුධාවති
ගෞතම බුදුන්වහන්සේ මෙම ගාථාව දේශනා කරන ලද්දේ සැවැත්නුවර මහාවීදියක පැවැත්වූ ධර්ම දේශානවකදීය. බොහෝ පිරිසක් ධර්ම ශ්‍රවණයට සහභාගි වුවත් සුළු පිරිසක් පමණක් ධර්ම දේශනා කරන ලද ස්‌ථානයේ නතර වූහ. සෙසු පිරිස තම ගෙවල් දොරවල්වලට ගියහ. මිනිසුන් අතර ස්‌වල්ප දෙනෙක් පමණක් සංසාර සාගරයෙන් එතෙර වෙති. සෙසු ජනතාව සංසාරයේ ඇවිදිති. සැරිසරති. උපදිති. මියයති. යළ යළිත් සංසාර ගමනට පත්වෙති යනු එහි අදහසය.
සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මනාකොට දෙසූ ධර්මය ශ්‍රවණය කොට ධර්මානුධර්ම පිළිවෙත්වල නිරතවී එතරවීමට දුෂ්කර සසරින් එතර වන ලෙසත්, පරාජය කිරීමට අපහසු මාරයා පරාජය කරන ලෙසත්ය. මාරයා යනු මරණයයි. යළි යළි ඉපදෙන සත්වයෝ යළි යළි මරණයට පත්වෙති. මේ මරණයේ නිමාව නම් නිර්වාණවබෝධය බව පිංවතුන් සිතත්වා.
නිර්වාණබෝධය ගැන සිතන්නට පෙර බුදුරදුන් වදාළ අනගි දහම් පදයක් සංයුක්‌ත නිකායේ දුතිය මනුස්‌සචුති සූත්‍රයේ සඳහන් වෙනවා. යම් සත්ව කෙනෙක් මිනිසුන් වශයෙන් ඉපිද මෙලොව ජීවත්වී, සංසාර පරිදි මියගොස් යළිත් මිනිසුන් වශයෙන් උපදින්නේ ඉතා ස්‌වල්ප දෙනෙක් බව බුදුරජාණන් වහන්සේ වදාරනවා.
එහෙම නම් පිංවතුනි, මේ ලබාගත් මනුෂ්‍යභාවය පෙර පිනට ලැබුණු මහා භාග්‍යසම්පන්න දෙයක් ලෙස හිතන්න ඕන. එහෙම සිතා ලැබූ මිනිස් භාවය අර්ථවත් කරගන්න ඕන. සංසාරය හා නිර්වාණය නිවැරැදිව වටහාගන්න ඕන.
මිනිසත් බව ලැබීමද, බුදුරදුන් වදාළ සද්ධර්මය දේශනා කිරීම ද එය ශ්‍රවණය කිරීමද ලෝකයේ ඇති දුර්ලභ කරුණු අතරට අයත් වෙනවා. ඒ සියලු අවස්‌ථා ඔබට ලැබී ඇති බැවින් බුද්ධිමත් මිනිසා එම කරුණුවල නිරතවීමට ඉන් විපුල ප්‍රතිඵල ලබාගැනීමට දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ බව අංගුත්තර නිකායේ ලක්‌ඛණ සූQQත්‍රයේ සඳහන් වෙනවා.
මේ පිංවතුන් ධර්මයේ ගුණ ප්‍රකාශ කරන විට ඒහිපස්‌සික යනුවෙන් කියනවා. ඒහිපස්‌සික කියන්නේ එන්න, බලන්න මේ සම්බුදු දහමේ ප්‍රතිපල වහාම දැකගන්න පුළුවන් කියන එකයි. වළාකුලින් නික්‌මුණු පූර්ණ චන්ද්‍ර මණ්‌ඩලය සේ සම්බුදු දහම නිර්මලයි. පිරිසිදුයි. අප බෝධිසත්වයන් වහන්සේ නමක් සසරින් එතෙරවී නිර්වාණය අවබෝධ කර ගත් නිසාම ඒ ප්‍රත්‍යක්‍ෂ දහම ලොවට දේශනා කර කිව්වෙ, ඔබටත් මෙලෙස සසරින් එතෙර වන්න පුළුවන් කියන එකයි.
තම ශ්‍රාවක පිරිස භික්‌ෂු - භික්‌ෂුණි, උපාසක - උපාසිකා පිරිස නිසි පරිදි කෙලෙස් බන්ධනයෙන් මිදී ආර්ය මාවතේ ගමන් කළොත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල පිහිටා ක්‍රියා කළහොත් මේ ලෝකය කවදාවත් මහරහතන් වහන්සේගෙන්
හිස් නොවන, රහතුන් පිරි පුණ්‍ය භූමියක් වන බව බුදුරදුන් පිරිනිවන් පාන්නට
මොහොතකට පෙර වදාළ බව දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. එහෙනම් අර ධර්ම පද ගාථාවේ එන 'තීරමේවානුධාවති' යන වචනය ඉවත් කරන්න තිබුණා.
එහෙම නම් ඇයි අප සසරේ ඇවිදින්නේ. මේ මලකඩ නිසා. කෙලෙස් මලකඩ නිසා. ලෝභය, තණ්‌හාව නිසා සසර බැඳ තබන සසරට ආශා කරන භව තණ්‌හාව නිසා. කුසල් නොවඩා මෙලොව පරලොව අයහපතට හේතුවන අකුසල් වර්ධනය කරන නිසා අප සසර ඇවිදිනවා. බුදුරදුන් වදාළේ මලකඩ අතර, කෙලෙස් මල අතර අවිද්‍යාව නැතිනම් නොදැනීම, මෝහය, මුලාව ලොකුම කෙලෙස් මලයන් බවයි.
ඒ නිසා පිංවතුන් සංසාරය හා නිර්වාණය නිවැරැදිය තේරුම් ගන්න වෑයම් කරන්න. සංසාරයේ අපි තවදුරටත් ඇවිදගෙන ගිහින් දුකින් දුකට පත්වෙනවාද? නිර්වාණ ගාමිණි ප්‍රතිපදාවට ප්‍රවිශ්ට වෙලා සංසාර ගමන නිමකර ගන්නවද කියන එක තීරණය වෙන්නේ තමා විසින්මයි.
ධම්ම දීපා සරණ අනඤ්ඤ - සරණා ධර්මය ද්වීපයක් කොට ධර්මය පිළිසරණ කොට වාසය කරවු. වෙනත් සරණක් පිහිටක් ආයාචනා කිරීමක් බුදුදහමේ නැහැ පිංවතුනි.
සම්බුදුරදුන් වදාළ ශ්‍රී සද්ධර්මය ගැන මේ පිංවතුන් නිතර වන්දනා කරනවා. ධර්මයට වඳිනවා. ගරුකරනවා. ස්‌වාක්‌ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්‌ඨිකෝ... කියලා ස්‌වාක්‌ඛාත කියන වචනය අටුවාචාරීන් වහන්සේලා විස්‌තර කර තිබෙන්නේ සුට්‌ඨු අක්‌ඛාතං කියල. ඒ කියන්නෙ මනාකොට ධර්මය දේශනා කර තියෙනවා කියන එකයි.
අපේ මාතෘකා ගාථාවට අනුව සුළු පිරිසක් විතරක් ධර්ම මාර්ගයේ ගමන් කර සසරින් එතෙර වීමට හේතුව බොහෝ පිරිසක් අනේ සාධු කිය කියා ධර්මයට නමස්‌කාර කරමින් ඉන්නා නිසයි.
තුම්මේහි කිච්චං ආතප්පං - අක්‌ඛාතාරෝ තථාගතා තථාගත බුදුවරු ධර්ම මාර්ගය ආර්ය මාවත හෙළි පෙහෙළි කර දේශනා කර තිබෙනවා. එහි ගමන් කිරීම, ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල නිරත වීම ශ්‍රාවක පිරිසගේ යුතුකමක්. ඒ නිසා සුණාථ ධාරේථ චරාථ ධම්මේ යන පාඨය ධර්ම ශ්‍රවණය කරන පිංවතුන් නිතර මතක තබා ගන්න ඕන.
යෝනිසෝ මනිසාකාරයෙන් එළැඹ සිටි සිහි බුද්ධියෙන් බණ අහන්න ඕන. සිතේ ධාරණය කර ගන්න ඕන. ඒවා නිතර මෙනෙහි කරන්න ඕන. ආර්ය ධර්මය නිතර මෙනෙහි කරන පිංවතුන්ට කුසලච්ඡන්දය උපදිනවා. ඒ අනුව චරාථ ධම්මේ යෑයි පවසන ධර්මයෙහි හැසිරීමට පෙළඹෙනවා. ඒ අයුරින් සිත කුසලයෙන් බර කරගන්න ඕන. කුසල සිත් උපදවා ගන්න ඕන. යහපත් සිතුවිලිවලින් සිත පුරවගන්න ඕන.
අපේ සිත නිතර කෙලෙස්‌වලින් අකුසල සිතුවිලිවලින් අපිරිසිදු වෙනවා. හිතන්න අපි විහාරයට, බෝධියට, දාගැබට මල් දොaතක් අරගෙන ගිහින් බුදුරදුන්ට පූජා කරනවා 'පූඡේමි බුද්ධං කුසුමේන නේන' කියල. මේ ගාථාව තුළ ඉගැන්වෙන දාර්ශනික අර්ථයට ඔබ අවධානය යොමු කළාද? නැහැ. පුප්ඵං මිලායාති යථා ඉදිං මේ. කායෝ තථා යාති විනාස භාවයං' මේ මල් දොaත මිලාන වී පරවී යන්නා සේ අපගේ ශරීරය ද විනාශයට අභාවයට පත්වන බව ගාථාවෙන් ප්‍රකාශවෙනවා. මල් දොaත පූජාකරන මොහොතේ ඔබට පුළුවන් අනිත්‍ය දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‌ෂණ ධර්මය මෙනෙහි කරන්න. මේක තමයි පිංවතුනි විදර්ශනා භාවනාව. ප්‍රඥව දියණු වන ත්‍රිලක්‌ෂණ මෙනෙහි කරන වැටහෙන බෞද්ධ භාවනාව. නිත්‍යවූ සදාකාලිකවූ කිසිවක් ලොව නොමැති බව අපි හිතන්න ඕන.
භව තණ්‌හාව දුරු කරන්න ඕන. කාම තණ්‌හාව දුරු කරන්න ඕන. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන් දමනය කරන්න ඕනි. රාග, ද්වේෂ, මෝහ, ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස යන එකොළොස් ගින්නකින් අපිව පුච්චනවා. මේ සංසාරය කියන්නේ ඒකටයි. ජාති කියන්නේ ඉපදීම. ඉපදීම නිසා ජරා, ව්‍යාධි, මරණ ආදී අනෙක් ගිනිවලට ද අප පාත්‍රවෙනවා.
රාගාදී එකොළොස් ගින්නකින් දැවෙන අපිට ඇති එකම සිසිලස සසර දුක නිමකර නිර්වාණවබෝධය සලසා ගැනීමයි.
රට්‌ඨපාල මානවකයින්ට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දිනක් වදාරනවා 'ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්‌හාදාසෝ' කියල. ලෝකය ජරා, මරණ කරා ගමන් කරනවා. ලෝ වැසියාට පිහිටක් නොමැත. තමාට අයත් සියල්ල හැරදා යා යුතුයි. ඒ වුණත් ලෝවැසියා ඌනයි. කිසිම දේකින් තෘප්තිමත් නැහැ. තණ්‌හාව හමුවේ තණ්‌හා දාසයෙක් ලෙස කටයුතු කරනවා.
ඉතින් පින්වතුනි, අපි අපිම නේද මේ ගොඩහැටි සංසාරය අපායක් කරගෙන තියෙන්නේ. ධර්ම ඥනය ඇත්තෝ ප්‍රඥ ඉන්ද්‍රිය දියුනු කරගෙන සසරින් එතෙර වෙනවා. ස්‌වල්ප දෙනෙක් විතරක් සසරින් නිදහස් වෙලා, බොහෝ පිරිසක් සංසාරයේ අතරමං වන්නේ ඒ නිසයි.
පින්වතුනි, අපිට සක්‌කාය දිට්‌ඨියවත් දුරුකරගන්න බැරිද? බෞද්ධ ආර්ය මාවතේ පළමු පියරව සෝවාන් වීමයි. අරහත්ත රහත් ප්‍රතිපදාවට යන මාවතේ පළමු පියවර සෝතාපන්න වීමයි. එන්ම මූලිකම ප්‍රතිඵලයේ ලක්‌ෂණය මගේ, මගේ යන බන්ධනයෙන්, උපාදානයෙන් නිදහස්‌වීමයි. ඒකට කියන ධර්මානුගත වචනය තමයි සක්‌කාය දිට්‌ඨිය කියන්නෙ. නැත්නම් ආත්ම දෘෂ්ටිය කියන්නෙ.
අපේ සිත කෙලෙස්‌වලින් පිරිල පිංවතුනි. ලෝභය, ද්වේෂය, මෝහය ඒ අතර ප්‍රධානයි. ඉස්‌සා (ඊර්ෂ්‍යාව), මච්ඡා (මසුරුකම), තද ගතිය, එකට එක කිරීම, මානය, අතිමානය, ක්‍රෝධය කොච්චර දේaවල් නරක සිතිවිලි අපේ සිතට ගලා එනවද?
යේ ජනා පාරගාමිනෝ - පරතෙරට යන සසරින් එතෙර වන පිරිස වැඩි කරගන්න පුළුවන් මාවත අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක ග්‍රන්ථ ධුරයෙනුත් කරන්න පුළුවන්. විදර්ශනා ධුරයෙනුත් කරන්න පුළුවන්.
දුක, දුකට හේතුවූ තෘෂ්ණාව, නිවන සහ නිවන් මඟ අවබෝධ නොවීම නිසා ඔබත්, මමත් අනන්ත කාලයක් සංසාරයේ ඇවිදගෙන එන බව බුදුරජාණන් වහන්සේ වදාරනවා. සමාජගත සහ සංසාරගත දුක ඇති වෙන්නේ තණ්‌හාව නිසයි. තෘෂ්ණාවෙන් මිදීම නිවනයි. රාගක්‌ඛයෝ, දොaසක්‌ඛයෝ, මෝහක්‌ඛයෝ නිබ්බානං යෑයි බුදුන් දේශනා කරනවා. සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‌ෂාවෙන් පරිමිත ආර්ය මාවත අප සතුව තිබෙනවා. ඒ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කිරීමෙන් සම්මා Æනය (ප්‍රඥව), සම්මා විමුක්‌තිය (නිවන), අවබෝධ කරගත හැකි බව මඡ්Cධිම නිකායේ මහාචත්තාලීසක සූත්‍රයේදී පෙන්වාදී තිබෙනවා.
එපමණක්‌ද නොව විදර්ශනාදී භාවනා ප්‍රගුණ කරන්නට සතර සතිපට්‌ඨාන ධර්ම ඔස්‌සේ නිවන ප්‍රත්‍යක්‍ෂ කරගන්න පුළුවන්. කායානුපස්‌සනා, වේදනානුපස්‌සනා, චිත්තානුපස්‌සනා, ධම්මානුපස්‌සනා යනු සතර සතිපට්‌ඨාන ධර්මයි.
මේවා පිළිපැදීමෙන් අවබොධයෙන් සිහිය පිහිටුවා ගැනීම තුළ සසර ගමන කෙටි වෙනවා. ඒකායනෝ අයං භික්‌ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. මේ ඒකායන මාර්ගය සත්වයන්ගේ පාරිශුද්ධිය ජනිත කිරීමට දුක් දොම්නස දුරලීමට හේතුවෙනවා.
එහෙම නම් අප සසරේ ඇවිදීමට හේතුව අප සතු දෙයක් සසරින් නිදහස් වීමත්, අප සතු දෙයක්. බුදුහාමුදුරුවන්ගේ කාලයේ දහස් ගණන් වූ ස්‌ත්‍රී පුරුෂ ගිහි පැවිදි පිරිස් සසර දුකින් නිදහස් වුණා. ඒ ඔවුන් සංසාර බර ගැන අවබෝධයෙන් පසුවූ නිසයි.
හෝමාගම පුරාණ විහාරාධිකාරී, සහකර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්)
2015 බක් මස 03 වැනිදා සිකුරාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment