මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Sunday, August 2, 2015
වෙනස හමුවේ නොසැලී සිටින්නට
අපේ ජීවිතවල ස්වභාවයක් තියෙනව, මේ ලෝකය වෙනස් වෙලා යනකොට ඒ ඔස්සේ අපි කනගාටු වීම, එහෙම නැත්නම් සතුටු වීම. ඒ අනුව අපි අනාගතය ගැන ප්‍රාර්ථනා කරනවා, අතීතය ගැන පසුතැවෙනවා. මොකද කරන්නෙ කියල සැලසුම් සකස් කරනව. මේ ලෝකය මෙහෙම වෙනස් නොවෙනවා නම් හොඳයි කියලයි අපි සැලසුම් කරන්නෙ. එතකොට අපිට කවදාවත් පීඩාවලින් ගැලවෙන්ට බෑ.
අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව, මේ ලෝකය පෙරළෙනව, වෙනස් වෙලා යනව. ඒක ලෝක ධර්මයක්. ඒ විදිහට ලෝක ධර්මයන් වෙනස් වෙන කොට පෙරළෙන කොට, ඒ අනුව මනුෂ්‍යයා වෙනස් වෙලා යනව නම්, මොකද වෙන්නෙ? ඒ විදිහට වෙනස් වෙලා යනකොට අපි හිතන්ට ඕන විදිහ භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව. බොහෝ වෙලාවට අපි කරන්නෙ මෙහෙම වෙයිද මෙහෙම වෙයිද කියල කල්පනා කරනව. කල්පනා කරල ඒකට අනුව අපි සැලසුම් කරමින් ඉන්නව. ඒකෙන් අදහස් වෙන්නෙ ගොඩක් වෙලාවට ඒ ලෝකය වෙනස් වෙලා යද්දි වෙනස් නොවෙනව නම් හොඳයි කියල. වෙනස් නොකර තියාගෙන ඉන්ට අපි කල්පනා කරනව. නමුත් අපි කළ යුත්තෙ මොකක්ද? ලෝකය වෙනස් වෙද්දි, වෙනස් නොවෙන විදිහේ සිතක් හදා ගන්ටයි අපි උත්සාහ කරන්ට ඕනැ. ලෝකයේ වෙනස්වීම වළක්වන්න බෑ. ලෝකය වෙනස් වෙනකොට, අපට වෙනස් නොවී ඉන්ට පුළුවන් සිතක් හදාගන්ට පුළුවන් නම්, ඒක තමයි සාර්ථක.
භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව, ලෝක ධර්මයන් අටක් තියෙනව, ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රශංසා, සැප-දුක කියල. මේව වෙනස් වෙනව, පෙරළිල යනව. ඒවා වෙනස් වෙනකොට, ඒ ඔස්සේ සිතන පිළිවෙළ අපි නිවැරැදි කර ගත්තොත්, අපට පුළුවන් වෙනව, පහසුවෙන් වාසය කරන්න, දුකින් නිදහස් වෙන්න. ඒ ලෝක ධර්මයන් වෙනස් වීම වළක්වන්න අපට බෑ. ඒ භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව, ලෝකයේ ලෝක ධර්මයන් පෙරළිලා යනකොට, අශ්‍රැතවත් පෘතග්ජන කෙනාත්, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාත් සිතන පිළිවෙළ වෙනස් බව.
පෘතග්ජන කෙනා ලාභයක් ලැබෙන කොට, එයා කල්පනා කරනව, මේ ලාභය ලැබුණෙ මට කියලා, ඒ ලාභයට හිත යට වෙනව. යටවුණ සිතින් තමයි එයා ඒ ලාභය පරිහරනය කරන්නෙ. එයා ඇලීමෙන් ඒ ලාභය පරිහරනය කරනව. අලාභයක් ලැබුණොත්, ඒකටත් සිත යටවෙනව. යටවෙලා ගැටුණු සිතින් කම්පා වුණ සිතින් ඒක පරිහරණය කරනව. ප්‍රශංසාවක් ලැබුණොත් ඒකට හිත යටවෙනව, යටවෙලා ඇළුණු සිතින් ප්‍රශංසාව පරිහරණය කරනව. නින්දාවක් ලැබුණොත්, ඒකටත් සිත යටවෙනව. යටවෙලා, ගැටුණු සිතින් නින්දාව පරිහරනය කරනව. ඒ තමයි පෘතග්ජන කෙනාගෙ ස්වභාවය.
දැන් බලන්න අපිට මොකද වෙන්නෙ කියල. අපිට ලාභයක් ලැබෙන කොට ඇළුණු සිතින් ඒක පරිහරණය කරනව නම් ඒක අපිට ගැළපෙන්නෙ නෑ කියල අපි කල්පනා කරන්ට ඕනැ. අලාභයක් ලැබෙන කොට ඒකට හිත යටවෙලා ගැටුණු සිතින් ඒක පරිහරණය කරනව නම් ඒක අපිට සුදුසු නෑ කියල කල්පනා කරන්ට ඕනැ. ප්‍රශංසාවක් ලැබෙන කොට ඒකට හිත යටවෙලා ඇළුණු සිතින් නම් පරිහරණය කරන්නෙ ඒක අපිට සුදුසු නෑ කියල කල්පනා කරන්න ඕනැ. නින්දාවක් ලැබෙන කොට ඒකට සිත යටවෙලා ගැටුණු සිතින් අකමැති සිතින් නම් අපි ඒ නින්දාව පරිහරණය කරන්නේ අන්න ඒක අපිට හොඳ නෑ කියල, ගැළපෙන්නෙ නෑ කියල කල්පනා කරන්න ඕනැ.
ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව,අශ්‍රැතවත් පෘතග්ජන කෙනා, මේ ලෝක ධර්මයන් වලට මුහුණ දෙනකොට ඒ ලාභ, ප්‍රශංසා, යස,සැප කියන මේ අවස්ථාවලදී එයා ඇළුණු සිතින් තමයි ඒවා පරිහරණය කරන්නෙ කියල. අලාභ, නින්දා, අයස, දුක කියන දේවල් ලැබෙන කොට ඒවාට හිත යටවෙලා ගැටුණු සිතින් තමයි එයා පරිහරණය කරන්නෙ. ඒක අශ්‍රැතවත් පෘතග්ජන කෙනාගෙ ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව, ඒ ආකාරයට කටයුතු කරනකොට එයාට කවදාවත් ජාති, ජරා, මරණ, දුක්ඛ දෝමනස්සයන් කියන මේ දුකෙන් නිදහස් වෙන්ට එයාට විදියක් නෑ කියල.
නමුත් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම නෙවෙයි කියල. ලෝක ධර්මයන් පෘතග්ජන කෙනාටත් එක සමානයි, ආර්ය ශ්‍රාවකයටත් සමානයි, වෙනසක් නෑ. ලෝකයේ සිදුවන වෙනස්වීම කාටත් සමානයි. හැබැයි, ඒ සිදුවීම ගැන කල්පනා කරන පිළිවෙල තමයි වෙනස්. පෘතග්ජන කෙනා කල්පනා කරන පිළිවෙළ වෙනස්. ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන පිළිවෙළ වෙනස්. පෘතග්ජන කෙනා ඇළුණු සිතින් ගැටුණු සිතින් තමයි ඒව පරිහරණය කරන්නෙ. ඒ නිසාම එයාට ජාති, ජරා, මරණ, දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස් වීමක් වෙන්නෙ නෑ.
නමුත් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ ආර්ය ශ්‍රාවකයා එහෙම නෙවෙයි කියල. ආර්ය ශ්‍රාවකයාට ලාභයක් ලැබුණොත් එයා කල්පනා කරනව, මට දැන් ලාභයක් ලැබුණා. හැබැයි ඒක අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියල. ඒ විදියට එයා කල්පනා කරල, ඇළුණු සිතින් නෙවෙයි එයා ඒක පරිහරණය කරන්නෙ. එයා ඒ ලාභය පරිහරණය කරනව. පරිහරණය කරන්නේ ඒකේ යථා ස්වභාවය තේරුම් අරගෙන. මොකක්ද යථා ස්වභාවය? ඒක අනිත්‍යයයි. දුකයි. වෙනස්වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියල එයා කල්පනා කරනව. එයාට අලාභයක් ලැබුණොත්, එයා කල්පනා කරනව, මට දැන් අලාභයක් ලැබිල තියෙන්නෙ. හැබැයි ඒකත් අනිත්‍යයි, දුකයි, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්තයි කියල.
එතකොට එයා අලාභය පරිහරණය කරන්නේ, ඒකට යටවෙලා නෙවෙයි ගැටුණු සිතින් නෙවෙයි. ලාභය පරිහරණය කරන්නෙ, ඒකට යටවෙලා නෙවෙයි, ඇළුණු සිතින් නෙවෙයි. ආර්ය ශ්‍රාවකයාට ප්‍රශංසාවක් ලැබුණොත්, එයා කල්පනා කරනව, මට දැන් ප්‍රශංසාවක් ඉපදිලා තියෙන්නෙ, හැබැයි ඒක අනිත්‍යයි, දුකයි,වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ විදියට කල්පනා කරන නිසා එයාගෙ සිත ඒකෙන් යටවෙන්නෙ නෑ. ඒ නිසා එයා ඇළුණු සිතින් ඒක පරිහරණය කරන්නෙ නෑ. ඒ වගේම, එයාට නින්දාවක් ලැබුණොත් එයා කල්පනා කරනව, මට දැන් නින්දාවක් ඉපදිලා තියෙන්නෙ, මේක අනිත්‍යයි දුකයි වෙනස්වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ විදිහට කල්පනා කරනකොට, එයාගෙ සිත නින්දාවෙන් යටවෙන්නෙ නෑ. ඒකෙන් උපන් විඳීමෙන් යටවෙන්නෙත් නෑ. ඒ නිසා එයා ගැටුණු සිතින් නෙවෙයි ඒ නින්දාව පරිහරණය කරන්නෙ.
මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව ආර්ය ශ්‍රාවකයා මොන ආකාරයෙන්ද ලෝක ධර්මයන් ගැන හිතන්නෙ කියල. එතකොට ඒ විදිහට ලෝක ධර්මයන් පෘතග්ජන කෙනාටත් ආර්ය ශ්‍රාවකයාටත් එක සමානයි. නමුත් දෙපිරිස ඒ ගැන හිතන පිළිවෙළ වෙනස්. පෘතග්ජන කෙනා නිතරම ඇළුණු සිතින් ගැටුණු සිතින් තමයි ඒවා විඳින්නෙ. ආර්ය ශ්‍රාවකයා ඒ වගේ යථා ස්වභාවය ගැන කල්පනා කරනව. කල්පනා කරන නිසා, එයාගෙ සිත ඒවාට යටවෙන්නෙ නෑ. යටවෙන්න දෙන්නෙ නෑ. එයා ඇළුණු සිතින්, ගැටුණු සිතින් පරිහරණය කරන්නෙ නෑ. අන්න ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, ඒ ආර්ය ශ්‍රාවකයාට ජාති, ජරා, මරණ, දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස් වීමක් තිබෙනව කියල.
බලන්න, අපට මේ ධර්මය සාධාරණ නැද්ද? අපට මේ ධර්මයෙන් බැහැරව සුවපහසු ජීවිතයක් ඇතිකර ගන්න පුළුවන්ද? අපිට මේ ධර්මයන්ගෙන් බැහැරව නිවනක් ගැන කතා කරන්ට තියා හිතන්ටවත් පුළුවන්ද? දැන් අපි තම තමන්ගේ ජීවිත ගැන තම තමන්ම විමසා බැලිය යුතුයි. මොකද අපි තනියෙන්, පෞද්ගලිකව තමයි අපේ කටයුත්ත කරගන්නෙ. පොදුවේ පිරිසක් එක්ක ඉන්නව. පිරිසත් සමඟ පොදුවේ සිටිය යුතු වුවත්, තමාගේ කටයුත්ත ගැන තමා පෞද්ගලිකව කල්පනා කළ යුතුයි, පෞද්ගලිකව කළ යුතුයි. එහෙමනම් බලන්න අපි කාටත් සමානව ලෝක ධර්මයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ලාභ, අලාභ, අයස, යස, නින්දා ප්‍රශංසා, සැප දුක. මේවා අපි කාටත් නිතර මුණගැහෙනව. මේවයින් පැනල යන්ට අපිට පුළුවන්කමක් නෑ. එතකොට අපට ඒ ලෝක ධර්මයන් මුණගැහෙනකොට, ඒවා වෙනස්වෙලා යනකොට, පෙරළෙනකොට අපි ඒව ඔස්සේ කල්පනා කරන්නෙ කොහොමද? අපි ඒව පරිහරණය කරන්නේ කොහොමද? කියල කල්පනා කරල බලන්න.
අන්න එතකොට අපේ ජීවිතය ගැන අපටම තීන්දුවක් ගන්ට පුළුවන්. අපි භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයෙන් කටයුතු කරනවාද?නැද්ද? කියල කල්පනා කරල, අපිට ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න පුළුවන්කම තියෙනව. එතකොට අපිට ඒ ලෝක ධර්මයන් ගැන ඒ විදිහට කල්පනා කළ හැක්කේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය පිළිගත්තොත් පමණයි. ඒ කියන්නේ ලෝක ධර්මයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයෙන් තේරුම් ගැනීමෙන් අපිට ශ්‍රද්ධාව උපදව ගන්න පුළුවන්. ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ අදාළ ආකාරයෙන් හිතුවොත් අපිට ආර්ය ශ්‍රාවකත්වයක් ඇති කරගන්ට පුළුවන්කම ලැබෙනව. ඒ නිසා ආර්ය ශ්‍රාවකත්වය ඇති කර ගැනීමෙන් තමයි අපිට දුකේ නිදහස් වීමක් තියෙන්නෙ. අටලෝ දහමට කම්පා නොවන සිතක් හදාගන්ට අපට පුළුවන්කම ලැබුණොත් අපි සැබවින්ම සාර්ථකයි.
ඒ නිසා ඒ ලෝක ධර්මයන්ට කම්පා නොවී ඉන්න පුළුවන් සිතක් හදාගන්න කැමති වෙන්න. සියලු දෙනාට ම අටලෝ දහමට කම්පා නොවී ඉන්ට පුළුවන් සිතක් හදාගන්ට හැකියාව උදාවේවා!
2014 ඔක්තෝබර් මස 01 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment