Labels

Sunday, August 2, 2015

ආර්ය රැකවරණය සැබෑම රැකවරණයයි


දීඝ නිකායේ තිබෙනවා ‘ජනවසභ’ කියල ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව කරන සමයේ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ‘නාදිකා’ කියන ගමේ. ඔය ගමේ වැඩ ඉන්න අතරේ හදිසියේම වගේ ගමේ හිටපු මින්ස්සු පිරිසක් මරණයට පත්වුණා. බුදුරජාණන් වහන්සේ ඒ මියගිය පිරිස ගැන ඒ අයගේ ගති, චුති ආදිය ගැන ලොකු හෙළිදරව්වක් කරනවා. උපාසකවරුනි, ඒ මියගිය අයගෙන් පනහකට වැඩි පිරිසක් අනාගාමී වෙලයි හිටියේ. ඒ නිසා ඒ ඇත්තෝ මරණින් මත්තේ ශ්‍රද්ධාවාසයෙහි ඉපදිලා එහිදීම පිරිනිවන් පානවා. ආයේ ඒ අය මිනිස් ලෝකයට එන්නේ නැහැ. ඒ වගේම ඒ මියගිය පිරිස අතරින් අනූවකට වැඩි පිරිසක් සකෘදාගාමී වෙලයි හිටියේ. 



ඒ ඇත්තෝ තව එක්වරක් පමණක් මේ ලෝකෙට ඇවිල්ලා දුක් කෙළවර කරනවා. උපාසකවරුනි, මියගිය අයගෙන් පන්සියක් දෙනා සෝවාන් වෙලයි සිටියේ. ඒ නිසා ඒ ඇත්තෝ කවදාවත් අපායට වැටෙන්නේ නැහැ. ඒ අයත් රහත්බව පිහිට කොට ගත් පිරිසක්. මේ විදිහට අර මියගිය ඥාති පිරිස ගැන බුදුරජාණන් වහන්සේ කළ හෙළිදරව්ව අහගෙන හිටපු ගම්වැසියන්ට මහ පුදුමාකාර විදිහේ සතුටක් ඇතිවුණා. ‘අනේ අපේ ඥාතීන්ට මරණින් මත්තේ කොච්චර හොඳ ආරක්ෂාවක් ලැබී තිබෙනවාද? ඒ අය අපාය භයෙන් නිදහස් වුණා. සසරින් නිදහස් වෙන්න පසුබිම හදාගත්තා. ඒ අයට ලොකු ලාභයක් ලැබුණා කියලා සතුටු වුණා පමණක් නොවෙයි ඒ අයත් ධර්මයේ හැසිරෙන්න උනන්දු වුණා.

එදා නාදිකා ගම්වැසියන් මියගි යතම ඥාතීන් ගැන කළ හෙළිදරව්ව අසා ඒසේ සතුටු වුවද අද අපට අප අසන්නේ මියයන අපේ ඥාතීන් සම්බන්ධයෙන් එසේ සතුටුවිය හැකි දැයි සිතා බලන්න. අද බොහෝ තැන්වලින් අසන්නට ලැබෙන්නේ මියගිය තම සමහර ඥාති පිරිස් ප්‍රේත ලෝකවල අමනුෂ්‍ය ලෝකවල සිට ජීවත්ව ඉන්න අයට කරදර කරන සිදුවීම්ය. මේවායෙහි සත්‍යතාව කවරක් වුවද මියගිය තම ඥාතීන් ප්‍රේත ලෝකවලයැයි සුජීවත්ව ඉන්න අය උපකල්පනය කරන්නේ කුමක් නිසාදැයි විමසා බැලීම වටී. ඒ අය ජීවත්ව සිටි කාලයේදී දාන, සීල, භාවනාදී කටයුතුවල නොයෙදී පස්පව්, දස අකුසල් ආදිය කරගත් නිසා මරණින් මතු ඔවුන් දුගතියකට ගොස් ඇතැයි ජීවත්වන අය සිතනවා විය හැකියි. එසේ නම් එදා නාදිකා ගම් වැසියන් සතුටු වුණා වගේ අප අතරින් මියගිය බොහෝ ඥාතීන් සම්බන්ධයෙන් අද අපට සතුටු විය නොහැකියි.’අනේ’ එයා සුගතියක ඇති’ කියා නිකමට හරි කල්පනා කළ හැක්කේ අප අතරින් මියයන කීයෙන් කීදෙනෙක් ගැනද? ඒ තරමට බොහෝ දෙනාගේ කල්කිරියාව හොඳ නැත.

බොහෝ දෙනා ජීවත්ව සිටින තුරු කළේ සතර අපායට යන්න අඩුම කුඩුම රැස් කිරීම පමණි.
දුල්ලචං මනුස්සතතං’ මිනිසත් බව බුද්ධ වචනයයි. කණ කැස්බෑ උපමාවෙන් හා නියසිලගේ උපමාවෙන්ද, බුදුන්වහන්සේ එය අවධාරණය කර ඇත. අක් මුල් නැති බිහිසුණු සසරේ අප වැඩිපුර ඉපිද ඇත්තේ සතර අපාවලය. තිරිසන්ව ඉපිද බෙලි කැපුනු වාර කොපමණද කියා අද අප නොදනී. ප්‍රේත ලෝකවල ඉපැදී අනුන්ගේ සෙම්, සොටු, අශූචි කෑ වාර ගණන කොපමණදැයි අද අපට මතක නැත. සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේදී බුදුරජාණන් වහන්සේ අපට අමතකව ඇති ඒ සිදුවීම් නැත සිහිපත් කර දෙයි. එසේම බුදුන්වහන්සේ වදාළේ මේ සසර ගමන තුළ සත්වයා වැඩිපුරම කල් ගත කරන්නේ නිරයගාමීව බවයි. එය සසර සැරිසරන සත්වයාගේ මහ ගෙදර ලෙස බුදුරජාණෝ දක්වති.

එසේනම් මේ දිගු සසර ගමනේ අපායන් පසුකරමින් ආ ඔබට මට ම නුෂ්‍ය ජීවිතයක් ලැබීම මොනතරම් වාසනාවක් දැයි සිතා බලන්න. එදා අප මහ බෝසතාණන් වහන්සේ දෙව්ලොව සිට මනුලොවට වැඩියේ බුදු බවට පත්විය හැක්කේද මිනිසකුට වන නිසාය. බුදු පසේ බුද, මහරහත්, සකෘදාගාමී, අනාගාමී, ආදී ආර්ය තත්ත්වයන්ට පත්වීම සඳහා ගුණධර්ම පිරිය හැකි වටිනා ස්ථානයකි මනුෂ්‍ය ජීවිතය. එපමණක් නොව දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වැනි තැන්වලට යෑමට අවශ්‍ය කළමනා සකස්කර ගැනීමේ හැකියාද මිනිසතු සතුය.
මෙවැනි වටිනාකමකින් හෙබි මනුෂ්‍යා ජීවිතයක් ලබාගෙනත් අප අතරින් මියගිය ඇතැම් කෙනෙක් අමනුෂ්‍ය ලෝක හා ප්‍රේත ලෝකවලට ගියා නම් ඒ මොනතරම් අවාසනාවක්දැයි සිතා බලන්න. ඔවුන්ට දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා විතරක් නොවෙයි: බුද්ධෝපාද කාලය, උතුම් ශ්‍රී සද්ධර්මය වැනි දේවලුත් ලැබුණා. එහෙනම් ඔවුන් දුගතියකට ගියා නම් ගියේ මේවායින් හරියට ප්‍රයෝජන නොගත් නිසයි.
තමන්ට ලැබුණු මේ වටිනා දේවල වටිනාකම හරියට හඳුනා නොගත්ත නිසයි. අනිත් අයට මේවායින් වැඩගන්නට තරම් නුවණක් ඔවුන්ට නොතිබෙන්න ඇත. ඒ නිසා ඔවුන් කළේ දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතය අපතේ යැවීමයි. ක්ෂණ සම්පත්තිය අපතේ යවපු එකයි. පරම්පරා ගණනකට ඇතිවෙන්න මුදල් හදල් ගොඩගැසුවා. මහා මන්දිර ගොඩනැඟුවා. පස්කම් සුව විඳීමට කාලය ගතකළා. සංසාර බය දැක ලෝකෝත්තර පැත්ත දියුණු කර ගන්න උත්සාහ ගත්තේ නැහැ. කොහොම හරි මම සෝවාන්ඵලයවත් ලබාගන්න උත්සාහ කරනවා. ඒ හැර මට වෙන රැකවරණයක් නැහැ කියලා කල්පනා කර කටයුතු කරන්න තරම් නුවණක් ඒ ඇත්තන්ට නොතිබුණු නිසා පස්පව් , දස අකුසල් කරගෙන ඒ අය දුගතිගාමී වෙන්න ඇති.
එහෙමනම් අපි මේ ගැන නුවණින් කල්පනා කර අපේ දියුණුවට මේ කරුණු කාරණා උපයෝගී කරගන්නේ කොහොමද? අපේ ඥාතියෙක් දුගතියකට ගියා නම් ගියේ ඇයි? එයා හරියට බුදුන් සරණ නොගිය නිසයි. යමෙක් හරියට බුදුන් සරණ ගියා නම් එයා අපායකට යන්නේ නැහැ (යේ කේචි බුද්ධ සරණං ගතා සේ නතේ ගමිස්සන්ති අපායං) එහෙනම් එයා හරියට බුදුන් සරණ ගියේ නැහැ. ඒ නිසා එයා දුගතියකට යන්න ඇත්තේ. එයා ධර්මයේ රැකවරණය සංඝරත්නයේ රැකවරණය ලැබුවේ නැහැ. දැන් සිල්බවුන් වඩමින් සසරින් එතෙර වෙන්න වෙර වීර්ය කළේ නැහැ. ඒ නිසයි එයා අඳුරට වැටුණා නම් වැටුණේ. එහෙමනම් දැන් හිතන්න ධර්මයෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපටත් ඔය ටික නොවෙයිද කියලා.
බලන්න ඔබට මටත් දුර්ලභ ගණයේ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා හොඳ නරක තේරුම්ගන්න පුළුවන් නුවණක් ලැබී තිබෙනවා. ධර්මය තවමත් සජීවීව පවතිනවා. කල්‍යාණ මිත්‍රයන් වැඩ ඉන්නවා. එහෙනම් මේ ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් හරියට වැඩ අරගත්තේ නැත්නම් අපත් මහා අවාසනාවන්ත තත්ත්වයට පත්වේවි.

පයේ ගැටුණු මැණිකෙන් ප්‍රයෝජන නොගන්න අන්ධයන්ගේ තැනට වැටේවි. එහෙම නොවන්න කරන්න ඕන මොනවාද? ධර්මයේ රැකවරණය ලබන එකයි අපි කරන්න ඕනේ. මට සල්ලි තිබෙනවා. මට ගෙවල් දොරවල්, වතුපිටි තිබෙනවා. මට දරුවෝ ඉන්නවා. මට පිරිස් බලය තිබෙනවා. යැයි මහ උජාරුවට හිතාගෙන සිටියට ඒවායින් රැකවරණයක් අපට ලැබෙන්නේ නැහැ.

අඩුම තමේ මේ ක්ෂණ සම්පත්තිය ලැබුණු වෙලාවේ වීර්යය කර ප්‍රතිපත්ති පුරා සෝවාන්ඵලයවත් ලබාගන්න පුළුවන් වුණොත් අපට රැකවරණය ලැබුණා වෙන්නේ එවිටයි. අපට අපාය භයෙන්, සංසාර භයෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ එවිටයි. සෝවාන් වුණොත් එයා ආයේ කවදාවත් අපායකට වැටෙන්නේ නැහැ. එයා නියත සම්බෝධිපරායන කෙනෙක්. ආත්මභාව සතක් ඇතුළත එයා අර්හත්ඵලයට සාක්ෂාත් කරනවා. සසර භයෙන් සදහටම නිදහස් වෙනවා. සසර බිය දැක ක්ෂණ සම්පත්තියේ වටිනාකම දැන අප්‍රමාදීව පිළිවෙත් පුරා සෝවාන් ඵලයට හෝ පත්ව ආර්ය රැකවරණය සලසා ගැනීම සඳහා ඔබ සැමට මෙම දහම් කරුණු උපකාර වේවා.

2014 ඔක්තෝබර් මස 01 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment