නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
චිරප්පවාසිං පුරිසං දුරතො සෝතථිමාගතං
ඤාති මිත්තා සුභජ්ජා ච අභිනන්දන්ති ආගතං
තථෙව කතපුඤ්ඤම්පි අස්මා ලොකෙ පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති පියං ඤාතිං ච ආගතංති
සුබුද්ධික සුපින්වත,
මේ වස් කාලය යි. වස්කාලය යනු ගිහි, පැවිදි දෙපක්ෂයම පින් රැස්කර ගන්නා අවධියයි. දුරු රට බොහෝ කලක් විසූ අයකු තම රටට ආ විට ඤාතීහු, මිත්‍රයෝ ,සුහදයෝ ඉදිරියට ගොස් සිප වැළඳ පිළිගනිත් ද, පි‍්‍රය බස් කියත් ද, සතුටු වෙත් ද එසේම පුද්ගලයා පරලොව යද්දි පින පිළිගනියි. එසේ හෙයින් පින වනාහි සෙනෙහෙ ඇති ඤාතියා වෙයි.හිතැති මිතුරායි, යහපත් වූ සුහදයා යි. පුද්ගලයා පරලොව යන කල ආයු, වර්ණ, සැප , බල, ප්‍රඥා යන තෑගි, සම්පත් නමැති අතෙහි දරා පිළිගන්නේ පිනයි.
ජීවිතය ඉපදීම හා මරණය උරුම කොට ඇත. සසර සැරිසරනා සියලු සත්වයෝ උපදිති; මැරෙති. මේ උපත හා මරණය අතර කාල පරාසය තුළ රැස් කරති. රැස් කරන දේ කර්ම නම් වේ. කර්ම පදනම් කොටගෙන උපත හා මරණය සිදුවෙයි. කර්මය සත්වයාට උපතයි. නෑයා ද වෙයි. පිළිසරණයි. එයම උරුම දායාදය වේ. කළණ වූ කර්ම හා පාපී කර්ම ඇත. කළණ වූ කර්මය පින නම් වේ. පින, පිනවීම, පිනායෑම වේ. එය සතුටයි. ‘චිත්තං පුණාතීති පුඤ්ඤං’ සිත පිනා යෑම පිනයි.’හදයං පුණාතීති පුඤ්ඤං’ හදවත පිනා යෑම පිනයි.
බණ නම් නිබොරුය මුනිවර යින්නේ
කය නම් නොතිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ
පින නම් නොපමාව ම කර ගන්නේ
ලෝවැඩ සඟරා කතුවරයා අපට කියන්නේ මේ නිසයි. මිනිසා පින් කළ යුතුයි. නිතර නිතර පින් කළ යුතුයි. පිනට කැමැත්ත, මනාපය, ඡන්දය, ඇති කර ගත යුතුයි.පින් කිරීම සතුටට කාරණයකි. පින් කළ කල සතුට මෙලොව පරලොව දෙලොව ලබයි. මා විසින් පින් කරන ලදැයි සුගතියට ගොස් වඩාත් සතුටු වෙයි. තමා කළ යහපත් කර්මය බලා තවත් සතුටු වෙයි.
පෙරභවයන් හි රැස් කළ පින් මේ භවයේ දී පරිභෝජනයට ගනියි.මේ භවයේ රැස්කරන පින් මේ භවය තුළ හා ඊළඟ භවය තුළ පරිභෝජනය කරයි. භව සංසාර ගමනේදි අප අත නොහරින අපේ සෙවනැල්ල සේ සිටින්නේ පිනයි.
විමානවත්තු ප්‍රකරණයෙහි එන රේවතී විමාන වස්තුව, පින හා පව පුද්ගලයාට බලපාන ආකාරය මැනැවින් කියා පායි. බරණැස ඉසිපතනය අසල නන්දික නම් තරුණයෙක් වෙයි. නන්දික ශ්‍රද්ධා සම්පන්නයි. තුනුරුවන කෙරෙහි ප්‍රසන්නයි. පන්සල අමදියි. භික්ෂූන්ට උපස්ථාන කරයි. දන් දෙයි. දුගී මගී යාචකයනට සලකයි. මවුපියන්ට ඇප උපස්ථාන කරයි. ඔහුගේ ඇවැස්ස නෑනා රේවතීය. ඇයට මේ ගුණ නැත. පවිටු අදහස් ඇත්ති ය.ඇවැස්ස නෑනා විවාහ කරගත යුතු වුවත් ඇගේ පවිටු ගති නිසා ඊට කැමැති නැත. නන්දිකගේ මව රේවතියගේ නැන්දා රේවතියට කියන්නේ ඔබත් නන්දික මෙන් යහපත් වන්න, එවිට නන්දික ඔබට කැමැති වෙයි කියා ය. නන්දික ගේ කැමැත්ත ගන්න ඕ ද යහපත්ව කටයුතු කරයි.මෙසේ වෙනස් වූ විට නන්දික ද ඈ සරණපාවා ගන්නට කැමැති විය. සරණපාවා ගත් ඈට නන්දික කියන්නේ මේ පින්කම්වල නිරතවන ලෙසයි.ඕ ද එය පිළිගෙන ඉටු කරයි. මවුපියන් කලුරිය කළ පසු ඔවුන්ට සියලු ධනය හිමි විය.රේවති ය එම නිවෙසෙහි ගෘහණිය විය. දරු දෙදෙනකුද ලැබීය.
නන්දික ඉසිපතනාරාමයට ගබඩා සතරකින් යුත් සියලු උපභෝග පරිභෝග සහිත තට්ටු සතරක සංඝාවාසයක් ඉදිකොට පිදීය. මේ පූජාවත් සමගම දිව්‍ය ලෝකයෙහි ඔහු වෙනුවෙන් සප්තරත්නයෙන් බබළන සුවඳ විහිදෙන රන් විමානයක් පහළ විය. දිව්‍යාංගනාවෝ දහසක් එහි වෙසෙති. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට ගිය විට මේ බබළන දිව්‍ය විමානය දැක, දෙවියකු නැති දෙවඟණන් පිරිවැරූ, රනින් බබළන මේ විමන කාගේ දැයි ඇසූ කල, තවමත් මිනිස් ලොව වසන, සංඝාවාස තනා පූජා කළ පින්වත් නන්දිකයන්ට වෙන් කළ විමානය බව දැක් වී ය.මෙය මුගලන් හිමි පිරිස් මැද දී බුදුන්ට දැන්වූ කල එය එසේ වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ දැන් වූ සේක.
නන්දික දුරක වෙළෙඳාම පිණිස යන්නේ රේවතියට මෙසේ කීය. “මා පිටතට ගිය පසුත් භික්ෂූන් වහන්සේට, දුගී මගී යාචකාදීන්ට දෙන දන්වැට පවත්වාගෙන යන්න.” එහෙත් නන්දික ගිය පසු එම දන්වැට නවත්වයි. ඕ ආහාර ගෙන ඉඳුල් පරිසරයෙහි විසුරුවා අන් අය කැඳවා පෙන්වා භික්ෂුන් දන් වළඳන හැටි මේ බලාපල්ලා’ යි භික්ෂූන්ට නින්දා අපහාස වන අයුරින් දොස් පරොස් පවරයි.
නන්දික පැමිණි පසු ඔහු මේ සිද්ධි දැන ගනියි. රේවතිය නිවෙසින් එළවා දමයි. නැවත දන් වැට ආරම්භ කරයි. භික්ෂූන් වහන්සේට ගරු සත්කාර සම්මාන දක්වයි. හිතමිතුරන්ගේ නෑයන්ගේ ඉල්ලීම මත රේවතිය ගෙන්වා ඇයට ආහාර පාන පමණක් ලබා දෙයි. රේවතිය ද තමන්ගේ යස ඉසුර නැති කළේ භික්ෂූන් වහන්සේ යැයි උන්වහන්සේට ගර්හා කරමින් කතා කරයි.
නන්දික කලුරිය කොට දිව්‍ය ලෝකයෙහි තමන්ට මුලින් ම ඉදි වූ විමානයෙහි වෙසෙයි. රේවතියගේ නරක ක්‍රියා කලාපය දකින වෙසමුණි රජු රේවතිය පණ පිටින්ම අපාගත කරන්නේ යැයි මුලින් ප්‍රසිද්ධ කොට යක්ෂයන් දදෙනෙකු යවා ඈ බලහත්කාරයෙන් ගෙන ගම් දනව් විථිවල ඇවිදවා පසුව දිව්‍ය ලෝකයට ගෙන ගොස් නන්දිකගේ සුවඳ පැතිරී, දෙවඟණන් පිරිවැරි, රනින් යුත් දිව්‍ය විමානය පෙන්වයි. ඒ කාගේ දැයි ඇසූ විට නන්දික ගේ යැයි කියයි. “ඒ මගේ පැරැණි සැමියා. මා මෙහි රඳවන්න යැ’යි රේවතිය ඉල්වයි. මෙහි සිටින්නේ පින් කළ අයයි, ඔබට මෙහි උරුම නැත. ඔබට උරුම තැනට ගෙන යන්නේ යැ’යි කියා සංසවක නම් අපායට ගෙන යයි.
ඒ අපාය කෙබඳු ද යත් අසූචි හා මුත්‍ර වලින් යුත්, ඔරු නැව් හා සමාන පණුවන්ගෙන් යුක්ත වූ ,නහය පැලී යන තරම් දුගන්ධය ඇති තැනකි.යොදුන් සියයක් උසය. යොදුන් සියයක් වටය. මේ ගුථ නම් නරකයෙහි වැටුණ සත්වයන් තියුණ තුඩු ඇති ඉහත දැක්වූ පණුවන් විසින් හාත්පසින්ම සිඳ මස් කනු ලැබෙයි. සම සිඳ, නහර සිඳ, ඇටය, ඇට මිදිලු සිඳ මස් ලිය ලියා කයි. සියලු ශරීරය ගුල්ලන් ගැසූවක් හා සම වෙයි. කපුටන් වැනි සතුන් මස් උගුලා කන්නේය. මිනිස් ලොව අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයක් මෙහි එක දවසකි. එයින් තිහක් මාසයකි. එයින් මාස දොළහක් අවුරුද්දකි. එයින් අවුරුදු දහස් ගණනක් මෙහි දිවි කාලය වෙයි. පව් කළ රේවතිය මෙම අපායට ගොස් දැමීය. මේ කතා පුවත් තුළින් මතු දැක්වෙන අදහස් අපට ලැබෙයි.
පින් මෙලොව දීම සැප ලබා දෙයි. පින් කළ සැනින් යහපත් තැන්හි විමාන ඉදිවෙයි.මරණින් මතු එහි අනේක විධ වූ සැප වින්දනය කරයි.එහෙත් ශ්‍රද්ධාවෙන් තොරව වෙනත් පටු අරමණු වලින් කරන පින එතරම් සාර්ථක නොවේ. පවද මෙලොව දී විපාක දෙයි. විපාක දුන් කල හෝ එය සකසා නොගත්තොත් පණ පිටින්ම අපාගත වෙයි. එහි බොහෝ කලක් දුක් විඳියි.
එසේනම් දුර්ලභව මිනිස් භවයක් ලැබූ අප සිතිය යුත්තේ සිත, කය, වචන යන තිදොරින් පින් කිරීමටයි. සතුන්ට ආදරය කරුණාව දැක්වීම, කායිකව, වාචසිකව, මානසිකව සතුන්ට හිංසා නොපැමිණවීම, හොරකම් නොකිරීම, අන් දේපළ රැකීම, සමාජ සම්මත නීති රීතින්ට අනුව කම් සැප විඳීම, සත්‍ය වූ සමඟිය ඇති කරන්නා වූ ද ප්‍රිය වූ ද අර්ථවත් වචන කතා කිරීම,ලෝභි නොවීම, නිවැරැදි දැක්ම ආදි වශයෙන් වූ පින් කළ යුතුයි. කඨින චිවර, අටපිරිකර , සංඝාවාස, බණ පොත්, බුදුපිළිම හා වච්චකුටි පූජාව, සඟසතුව දන් දීම මේ ආදිය අට මහා පින්ය. ළිං පොකුණු, ශාලා,ඒ දඬු පාලම්, මල්වතු ,උයන්වතු ඉදිකිරීම දිවා රාත්‍රි‍්‍ර දෙක්හි පින් වැඩෙන පින්කම්ය. විහාර ආරාම අතුපතු ගා පිරිසුදු කිරීම, මං මාවත් පිරිසුදු කිරීම, පොදු ස්ථාන පිරිසුදු කිරීම, ආරක්ෂා කිරීම පිනකි. රත්නත්‍රයට ගරුකිරීම, මවුපිය නැඳිමයිලන්, වැඩිහිටියන් හා ගුරුන් නැමදීම, ගරු සත්කාර දැක්වීම පිනකි. තමන්ටත්, අන් අයටත් සතුටු විය හැකි යහපතක් වූ සියල්ල පින්ය.
එසේ නොවන දේ පව් ය. පව් කළ කල මෙලොව තැවේ. පරලොව තැවේ.දෙලොවම තැවී අපාගතව වඩාත් තැවේ.අපගේ සිත අප මුළා කරයි. පසිඳුරන් රවටයි. අරමුණ තුළ ඇති තතු නොකියයි.මේ නිසා වැරැදි වින්දනයක් ලබා දෙයි. ඒ වින්දනයට ඇලුම් කරන අපි එයම අයිති කරගන්නට සිතමු. මේ දැකීම නිවැරැදි නොවේ. මිරිඟුවකි. මේ නිසා රාගාදි කෙලෙස් තුළින් හරයක් නැති දේ රැස් කරයි.නොදැනීම කරණ කොට ගෙන දුකට පත්වෙයි.
අපා දුකිනුත්, සම්පූර්ණ සසර දුකිනුත් මිදිය හැකි මඟ බුදු මඟයි.ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එහි ගමන් කිරීමෙන් සීල, සමාධි, ප්‍රඥා වැඩේ. ඉන් පිනෙහි නිරතව සසරට අයිති පි‍්‍රය වූ නෑයා ලබයි. සුගතිවල උපදියි. පින් මෝරා ගොස් සසර මඟ තරණය කොට විමුක්තිය ලබයි. නිවනින් සැනසෙයි. බුදුමඟම යමු. නිවනින් සැනසෙමු.
කැප්පෙටිපොළ, පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිකාරි
වැලිමඩ ගුරු මධ්‍යස්ථානයේ
ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්ය
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
අධ්‍යාපනපති, ශාස්ත්‍රපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ
අගෝස්තු 28 වනදා බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment