Labels

Monday, August 3, 2015

හිතුවක්කාරකම් භයානකයි



 අද සමාජය තුළ දරුවන් පිළිබඳව ඇති කරගෙන තියෙන්නේ හාත්පසින්ම වෙනස් වු ආකල්පයක්. විවාහ ජිවිතයේ තමන්ට දරුවෙන් නැතිවුනොත් තමන්ගේ වඳ භාවය පිළිබඳ සමාජය උපහාසාත්මකව බලනවා. එතනින් වළකින්නට තමන්ට දරුවෙක් ඕන. ඒ වගේම තමන්ගේ පරම්පරාව පවත්වන්න තමන්ගේ ඉඩකඩම් ගේ දොර බලා ගන්න තමන්ට දරුවෙක් ඕන. වයසට යනකොට වතුර පොදක් දෙන්න කන්න ටිකක් දෙන්න රැක බලා ගන්න තමන්ට දරුවෙක් ඕන. මෙන්න මේ විදිහේ පටු ආකල්ප මත හිරවෙලා තමයි අද දරුවන් හදන්නේ. ඒ නිසා මව් කුසේ ඉඳැද්දීම ඒ දරුවාට කාවදින්නේ පොදු මනුෂ්‍ය ආකල්ප නෙමෙයි ආත්මාර්ථකාමී පටු ආකල්ප අද මානව විද්‍යාඥයින් සනාථ කරගෙන තියෙනවා. මව් කුසේ සිටියදීම දරුවෙකුට විවිධ සිතුම් පැතුම් ආකල්ප කාවද්දන්නට පුළුවන් බව. මේ කාරණය විද්‍යාඥයින් විසින් කියන්නටත් පෙර අතීතයේ පටන් අපේ මව්පියො දැනගෙන හිටියා. බොහෝ දැන උගත්කම් නැතත් අකුරු නොදන්නවා වුනත් ඒ මව්පියෝ දරුවන් හැදීමේ නිවැරැදි ක්‍රමශිල්ප හඳුනා ගෙන හිටිය නිසා මේ ස්වභාවය තේරුම් අරගෙන මව් කුසේ සිටියදීම දරුවන්ව යම් යම් යහපත් ආකල්ප වලින් පෝෂණය කරන්නට ඒ අය ක්‍රියාත්මක වුණා.



ඒක හඳුන්වනවා “ගැබ්පෙළහර” පානවයි කියලා. දරුවෙක් තමන්ගේ කුසට ආ බව දැන ගත් තැන් පටන්ම ඒ මව සහ පියා විශේෂවත් පිළිවෙත් ඇතුවයි පවතින්නේ. ඒ වගේම දරුවා කුසට එන්නට පෙරත් බෝධි පූජා බුද්ධ පූජා ආදිය පවත්වමින් සත්පුරුෂ දරුවෙකුයි ප්‍රාර්ථනා කළේ. අද ප්‍රාර්ථනා කරන්නේ පිරිමි දරුවෙක් ගැහැණු දරුවෙක් ලස්සන කෙනෙක්. ස්වාමියාගේ වගේ මුහුණ ඇති කෙනෙක්. බිරිඳගේ වගේ ඇස් ඇති කෙනෙක්. මෙබඳු දේ ප්‍රාර්ථනා කරනවා විනා අද මනුෂ්‍යකම් ඇති මනුෂ්‍ය ආකල්ප ඇති සත්පුරුෂයෙක් ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරන මව්පියො අඩුයි.
අතීත කාලයේ මව්පියෝ යහපත් ප්‍රාර්ථනාවක් ඇතුවයි දරුවෙක් අපේක්ෂා කළේ දරුවා මවු කුසට පැමිනුණ කියලා හඳුනා ගත් තැන් පටන් ඒ මෑණියන් සහ පියාණන් නිරන්තරයෙන්ම සිත් තැවුල් ඇති නොවන්නට වගා බලා ගත්තා. ඒ මෑණියන්ගේ මනසට ආවේග ඇති නොවෙන්නට ප්‍රවේශම් කළා. ඒ වගේම ආත්මාර්ථකාමී පටු හැඟීම් ඇති නොවන හැටියට පොදු ආකල්පයන් ඇති වෙන හැටියට හැකිතාක් කටයුතු කළා. නිති පංච ශීලය, පොහෝ දිනට අටසිල් දස සිල් ආදිය සමාදන් වෙමින් ඒ දරුවාට ආශිර්වාද කළා. ඒ විතරක් නෙමෙයි මෑණියන් එක වරක් පංච ශීලය සමාදන් වෙලා දෙවෙනි වරත් පංච ශීලය සමාදන් වෙනවා. කුමක් සඳහා ද? කුසේ සිටින දරුවා වෙනුවෙන් කියන අදහස ඇති කරගෙන. එහෙම කරන කොට අර කුසේ ඉන්න දරුවාට එය දැනෙනවා. එය හැඟෙනවා. ඒ මවගේ හැඟීම සමඟ යම්කිසි බද්ධ වීමක් වෙනවා. කාලයක් මෙහෙම කෙරෙන කොට උපදින්නටත් පෙර සිටම ඒ දරුවා මනුෂ්‍යකමෙහි මූලික පදනම වන පංච ශීල ප්‍රතිපදාව පිළිබඳව යම්කිසි හැඟීමක්, ගුණාත්මක ආකල්පයක් මනසේ රුවා ගෙනයි මේ ලෝකයට ජනිත වෙන්නේ.

ඒ නිසා එබඳු දරුවෙකුගෙන් සමාජයට හැනියක් වෙන්නේ නෑ. අන්තරායයක් වෙන්නේ නෑ. තමන් ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් උසස් ඵල නෙළා ගන්නට හොඳ පදනමක් ඇතුවයි ඒ දරුවා ලෝකයට ජනිත වෙන්නේ. ඒ නිසා දරුවෙක් මව් කුසට පැමිණි අවස්ථාවේ පටන්ම ඒ දරුවා බිහිවන මොහොත දක්වාම මවට සහ පියාට පූර්ණ වගකීමක් තියෙනවා. අනෙකුත් අයටත් යම් වගකීමක් තියෙනවා. අතීත කාලයේ ඒ වගකීම නිවැරැදිව වටහා ගෙන බොහෝ දෙනා දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් කෙරෙහි බොහොම කාරුණික වුනා. කන්න බොන්න ගෙනැවිත් දුන්නා. අද කාලයේ ඒ කන්න කැමති දෙයක් ගෙනත් දෙනවා කියන එක පමණක් යන්තම් ඉතිරි වෙලා තියෙනවා. අනිත් බොහෝ ගුණධර්ම ගිලිහිලා ගිහිල්ලා. නමුත් ඒවා නිවැරැදිව හඳුනාගෙන නැවත ගොඩනගා ගන්නට පුළුවන්නම් අදටත් සත්පුරුෂ මනුෂ්‍ය ප්‍රජාවක් ගොඩ නගන්නට බැරි කමක් නැහැ. ඒ නිසා අපි මේ ආකල්පමය වෙනස ඇති කරන්නට කොතනින්ද පටන් ගත යුත්තේ? දරුවෙකු මව් කුස සිටියදීමයි.

ඒ දරුව ජනිත වුණාට පස්සේ මුල් අවුරුදු තුන දක්වා මවගේ පියාගේ සිතුම් පැතුම් ආකල්ප උකහා ගන්නට ප්‍රබල හැකියාවක් පවතිනවා. මුල් වසර තුනෙන් පස්සේ තමයි සමාජයට අවතීර්ණ වෙන්නේ. මූලික වර්ෂ තුන සමාජ සම්බන්ධතාවයකින් තොරව මව පියාගේ දේවල් තමයි වැඩි හරියක්ම ග්‍රහණය කරන්නේ. මනෝ විද්‍යාඥයන් පවසන්නේ දරුවෙකුගේ ආකල්ප වලින් 94% ක්ම මෙම වසර හතරෙදි (මවු කුසේ සිටින වසරත් සමඟ) සම්පූර්ණ වන බවයි. ඒ නිසා මව් පියන් නිවැරැදි ආකල්ප තුළ නොහිටියොත් ඒ දරුවා මුල් කාලයේ හඳුනා ගන්නා වූ දේ තමයි වසර දහ අට විස්ස වෙන කොට නැවත සමාජයට ඵලය හැටියට ප්‍රදානය කරන්නේ.

අද කාලයේ සමහර මව්පියො කියන්නේ අපේ දරුවා පුංචිකාලෙ හොඳට හිටියා. ලොකු මහත් වෙනකම් අපිට බොහොම කීකරුව හිටියා. තරුණ විය වෙන කොට තමයි මේ සියලු වෙනස් කම් ඇති වුනේ. සමාජය විසින් තමයි අපේ දරුවා නරක් කළේ කියලා. නමුත් ඒ පිළිලය ඇති වෙන්නට ඒ ආකල්ප විකෘතිය ඇති වෙන්නට පදනම, වැටෙන්නෙ මව්කුසේ සිටියදීම දරුවාට ඇති කරන්නාවු ආත්මාර්ථකාමී හැඟීම් වලින්.
ඒ නිසා දරුවන් හදන මව්පියන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්ට ඕනෑ තමන්ට මේ මනුෂ්‍ය සමාජය වෙනුවෙන් කරන්න ලොකුම ලොකු වගකීමක් තියෙනවා. ඒ කුමක්ද? මේ උපදින්නාවූ දරු පරම්පරාව යහපත් ආකල්ප වලින් හෙබි පිරිසක් බවට පත් කිරීම. ඒ නිසා මව්පියන් හෝ දරුවන් හෝ අනෙකෙකු හෝ අත්තනෝමතිකව මේ ජිවිතය පවත්වන්නට උත්සාහ කිරිම සුදුසු නැහැ. තමන්ට කැමැති ආකාරයෙන් ජීවිතය පවත්වනවා වගේම අනුන් පිළිබඳවත් ටිකක් හිතා බලා කටයුතු කරන්නට සිද්ධ වෙනවා.
සමහරු කල්පනා කරන්නේ මගේ ගෙදර මට ඕන හැටියෙන් ජීවත් වෙන්න බැරිද? මම බැන්නහම මොකද? මම කෑ ගැහුවහම මොකද? මම මත් පැන් බිව්වහම දබර කර ගත්තහම මගේ ගෙදර තියෙන බඩු මුට්ටු පොළවෙ ගැහුවහම කාටවත් මොකද? ඒ වගේම මම දරුවො හදන්නේ මට ඕන හැටියටයි. මේ විදිහට මිනිස්සු සමහර වෙලාවට කල්පනා කරනවා. එහෙම කල්පනා කළාට අපි අමතක කරන්නට හොඳ නැහැ අපේ මව් පියො අපේ මනස වැඩෙන්න නිසි පරිසරය හදපු නිසයි අද අපිට සමාජයේ යහපත් මනුෂ්‍යයො හැටියට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. කුඩා දරුවන්ගේ මනස කුඩා කාලයේම විනාශ කලොත් ඒවායේ ප්‍රතිඵල ලොකු මහත් වෙනකොට තමන්ටත් විඳින්න සිද්ධ වෙනවා. අනුන්ටත් විඳින්න වෙනවා.
වර්තමාන සමාජයේ එක්තරා තරුණ යුවළක් සිටියා. ඒ දෙදෙනාට බාහිර සැප පහසුකම් හැම දෙයක්ම තිබුනා. ස්වාමි පුරුෂයා බොහෝම සන්සුන් කෙනෙක්. නමුත් ඒ බිරිඳ නිරන්තරයෙන් සැමියත් එක්ක ගැටුම් ඇති කර ගන්නවා. බිරිඳට තේරෙන්නෙත් නෑ ඇයි එහෙම කරන්නේ කියලා. සැමියාටත් හොයන්න බෑ ඇයි එහෙම වෙන්නේ කියලා. අඩු පාඩුවකුත් නැ. ඒ නිසා මේ අය ගියා උපදේශක වරයෙක් මුණ ගැහෙන්න. උපදේශක වරයා මේ පිළිබඳ කරුණු හෙව්වා. ඔහුටත් මුල් අවස්ථාවෙ සොයා ගන්නට බෑ. නමුත් දීර්ඝ කාලයක් සමීපව සුහදව කථාකර කර ටිකෙන් ටික ජීවිතයේ පසු කාලය ගැන කරුණු සොයන කොට අවසානෙ හෙළි දරව් වුනේ, මේ ගැහැණු දරුවා කුඩා අවදියේදී තමන්ගේ තාත්තා මත් පැන් බී ගෙන ගෙදරට ඇවිල්ලා අම්මට තලනවා. එතකොට මේ අය බයේ ඇඳ යටට රිංග ගන්නවා. අල්ලපු ගෙදරට දුවනවා.

මේ සිද්ධිය දිනපතා සිදුවෙන කොට මේ කුඩා දැරියගේ මනසේ ඇතිවුන ආකල්පය තමයි ගෙදර මූලිකයා එහෙම නැත්නම් ගෙදර පියා ස්වාමි පුරුෂයා කියන කෙනා මෙන්න මේ විදිහේ චරිතයක් වෙන්නට ඕන කියන බව. පසු කාලයකදී ඈ විවාහ වුනා. විවාහ වෙන්න බොහෝම ගුණ යහපත් මනුෂ්‍යයෙක් තමන්ට මුණ ගැහුනා. ඒ තැනැත්තාගේ ගුණ යහපත් කම් හොඳටම තියෙන බව තමන්ටත් වැටහෙනවා. නමුත් මනස තුළින් එක්තරා නුරුස්නා බවක් ඇති වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇය බලාපොරොත්තු වෙන්නේ, ස්වාමි පුරුෂයෙක් නම් අර විදිහේ හැඩිදැඩි කම් වලින් යුක්ත වෙන්නඕන එහෙම නැති මගේ ස්වාමි පුරුෂයා දීනයෙක්ය කියන අදහස තමයි ඇය තුළ ජනිත වුනේ. ඒ ගුණ යහපත් කම් දීන භාවය හැටියට දකින්නටත් අර නොහොඹිනා කම් සැබෑ පෞරුෂය හැටියට උපකල්පනය කරන්නටත් ඒ කාන්තාව පෙළඹුණා. ඒ විකෘති ආකල්පයට වගකිව යුත්තා කව්ද? තමන්ගේම පියාණන්.

කුකුල්පනේ සුදස්සි හිමි

2014 ඔක්තෝබර් මස 01 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment