පිත කිපීමෙන් හටගත් රෝගියකුට කෙතරම් රසවත් මිහිරි ආහාරපාන ලබාදුන්නත් ඒ සියල්ල තිත්තව. අමිහිරි ව පවතින්නාක් මෙන් ව්‍යාපාද නීවරණයයි කියන ලද ක්‍රෝධය අධික තැනැත්තා මව්පිය ගුරුවරු ආදී හිතවතුන් විසින් කරන ලද සියලු අවවාද අනුශාසනාදිය තමාට විපත් පිණිස සලකන්නේ ය."
සිතෙහි පවත්නා යහපත් ගතිනිමිති වෙනස්කොට සිත විපතට පමුණුවමින් එම සිතෙහි පහළවන ක්‍රෝධය ‘ව්‍යාපාදය’ යනුවෙන් හැඳින්වේ. මෙහි දී විශේෂයෙන් ම අනුන් වැනසීමේ අදහසින් කටයුතු කිරීම ගැනේ. ක්‍රෝධයටත් වඩා ව්‍යාපාදය බලසම්පන්නබවක් දක්නට ලැබේ. ක්‍රෝධය වහා කිපෙන සුළුබවින් යුතු ව කෙනෙකුගේ සිත ඇනුම් බැනුම් ආදියට පොළඹවන නිසා ය. ව්‍යාපාදය සෙමින්, සෙමින් තම සතුරු තැනැත්තා නැසීම සඳහා උපක්‍රම භාවිත කරයි. සිතක උපදින ද්වේශය ම සිය සතුරා නැසීමට තරම් උග්‍රවූ විට ව්‍යාපාදය මතුව ඇවිත් මුළු සිතම දූෂ්‍ය කරයි.
සිතක ව්‍යාපාදය උපදින්ට හේතුකාරක වන පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීම හේතුවෙයි. තමාගේ සිතෙහි නොරුස්නා ස්වභාවය ඇතිකරන ආරම්මණය ‘පටිඝ නිමිත්ත’ වශයෙන් හඳුන්වා දිය හැකි ය. මෙම ව්‍යාපාදය දස ආකාරයකින් සිතේ පහළවන බව දේශනා කර ඇත. එනම්, මට අසවල් පුද්ගලයා ඉකුත් දා නොයෙක් විපත් කළේ ය. දැනුත් විපත් කරයි. මතුවට ද විපත් කරන්නේ යැයි තුන් අයුරකින් සිතේ ව්‍යාපාදය පහළ වන්නේ ය. එසේ ම අසවල් පුද්ගලයා මගේ යාළුවාට පසුගියදා විපත්ති කළේ ය. දැනුදු විපත්ති කරයි. මතුවටත් විපත්ති කරන්නේ ය යැයි තුන් ආකාරයකින් සිතේ අමනාපය පහළ කර ගනු ලබයි. අසුවල් පුද්ගලයා මාගේ සතුරාට පසුගියදා ඉතා හිතවන්තව සිටියේ ය. දැනුදු දැඩිව හිතවත්කම් පවත්වයි. මතුවටත් හිතවත් බවින් ක්‍රියාකරන්නේ ය යනාදී තුන් ආකාරයකින් සිත්හි අමනාපය පහළ කරගන්නේ ය. මේ නව ආකාරය හා අස්ථාන වශයෙන් අධික සීතළට, අධික උෂ්ණයට, ගල් මුල් ආදියෙහි පය හැපුණු අවස්ථාවන්හිදී සිත්හි වහ වහා උපදින නොසතුටත් සමඟ මෙසේ දසවිධ අඝාත වස්තුවක් දේශනාවෙහි සඳහන් වේ.
යමෙකු තුළ කිපීම හේතු කොටගෙන තම අභිවෘද්ධිය හා කීර්තිය විනාශවීම ද මෙහිලා ගැනේ. ඒ කිපීම තම සැපත විපතකට පෙරළී පවතින නිසා එය ව්‍යාපාද නීවරණයක් ලෙස පවතී. පිත කිපීමෙන් හටගත් රෝගියකුට කෙතරම් රසවත් මිහිරි ආහාරපාන ලබාදුන්නත් ඒ සියල්ල තිත්තව අමිහිරි ව පවතින්නාක් මෙන් ව්‍යාපාද නීවරණයයි කියන ලද ක්‍රෝධය අධික තැනැත්තා මව්පිය ගුරුවරු ආදී හිතවතුන් විසින් කරන ලද සියලු අවවාද අනුශාසනාදිය තමාට විපත් පිණිස සලකන්නේ ය. සිතේ අමනාපයට හේතුභූත වූ යම්කිසි වචනයක් හෝ ඉදිරිපත් වූ කල ඒ පිළිබඳ ව නුනුවණින් කල්පනා කිරීම නිසා සිතේ ව්‍යාපාදය උපදින්නේ ය. සිතේ තරහ ඇතිකරගත් පුද්ගලයා තමාට ලද අවස්ථාවෙහි දී ම යෝනිසො මනසිකාරයෙන් විමසා බලා එය සංසිඳවා නොගතහොත් ක්‍රමයෙන් එය දියුණුවන්නට පටන්ගෙන අත් පා මුව ආදී ශරීරාංගයන්ද වෙව්ලන්නට ද, දරුණු නපුරු නරක වචන කියන්නට ද පටන් ගනී.
එයිනුදු නොනැවතී ක්‍රමයෙන් ක්‍රෝධය වෛරය සමඟ ව්‍යාපාදය දියුණුවන්නට වී එය සංසිඳුවා ගන්නට නොහී දඬු මුගුරු, අවි ආයුධ ගෙන අනුන්ගේ දිවි නැසීම, එසේත් නැතිනම් තමාගේ දිවිනසා ගැනීම ද සිදු කර ගනී. සිතෙහි එකවරක් උපදින අමනාපය ක්‍රෝධය යයි ද, නැවත නැවත සිත්හි පහළවන අමනාප ගතිය බද්ධ වෛරය යනුවෙන් ද ක්‍රියාත්මක වේ. මෙම බද්ධ වෛරය දියුණු කර ගන්නට වෑයම්කරන අනුවණයා මතු භවාන්තරයට ද යන්නේ ය. මතු මතු භවවලට දියුණුවෙවී යන මෙම බද්ධ වෛරය හේතු කොටගෙන තමාට ද, අනුන්ට ද අපමණ විපත් පමුණුවා ගන්නේ ය. තරහ නොවිය යුතු තැනැත්තා කෙරෙහි යමෙක් තරහවේ ද, නිරපරාධී තැනැත්තාට අපරාධ කරයි ද එසේ කරන්නාවූ අඥානයා කරාම උඩු සුළඟට බහාලු දුහුවිල්ලක් තමන්ගේ මුහුණටම එන්නාක් සෙයින් වැරැද්ද තමන්කරා ම පැමිණෙන්නේ ය. කෝක නම් සුනඛ වැද්දා සිල්වත් භික්ෂුවට විපත් කරන්නට යාමෙන් වැද්දාටම එය විපාක දී තමාගේ ම සුනඛ රැළ ශරීර මාංස සපාකා ඇට පමණක් ඉලූරිකළා සේ ය. තමන් කරා විපත් පැමිණෙන බව දැනගත් පසු මෛත්‍රී අනුහස් සැලකීමෙන් ද ශ්‍රද්ධාදී ගුණ ධර්මයන් සිත්හි පහළ කරගැනීමෙන් ද ක්‍රෝධය යටපත්කර ගන්නේ ය. මෙසේ මෛත්‍රියෙහි නිමිති ඉගෙනීමෙන් හා මෛත්‍රී භාවනාවෙහි යෙදීමෙන්, කර්මය මා ස්වකීයකොට ඇති බව ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන්, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන්, මෛත්‍රිය පිළිබඳ සප්‍රාය කථාවෙහි නියැලීමෙන් හා ගමනාගමනාදී සිව් ඉරියව් පවත්වන සියලු අවස්ථාවන් හි දී ද ව්‍යාපාද නීවරණ සංඛ්‍යාත ක්‍රෝධය ප්‍රහීණ වන්නේ ය. තවද මෙම ව්‍යාපාද නීවරණය ත්‍රිහේතුකව හෙවත් ලෝභ, දෝස, මෝහ යන අකුසල මූලයන් තිදෙනාගෙන් ම උපදින බවත් අනාගාමී ආර්ය මාර්ගය ලබනතෙක් සිහියෙන් මෙනෙහි කරමින් ම වාසය කළ යුතු වේ. මන්ද අනාගාමී මාර්ගයේ දී ව්‍යාපාද නීවරණය ඉඳුරා ම සහමුලින් ම නැති වන්නේ ය.
කලපළුවාව,
ශ්‍රී වංගීස පිරිවෙන් පරිවෙණාධිපති,
ත්‍රිපිටකවේදී,
තපෝවනයේ දමිත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment