Labels

Wednesday, November 15, 2017

සංසිඳුණු ආශාව කුසලයට හේතුවෙයි

ලද දෙයින් සතුටු වීමේ චාම් දිවිපෙවෙත බෞද්ධ අනන්‍යතාව විදහා දක්වන සුවිශේෂි ගුණ ධර්මයකි. නමුත් නො සංසිඳෙන ආශාවන් පසුපස හඹායන වත්මන් ලෝකයේ ලද දෙයින් සතුටු වෙමින් සැපසේ වාසය කිරීමේ වාසනාව වේගයෙන් තුරන් වී යන සෙයකි.

ලද දෙයින් සතුටු වීමේ ගුණය යම් සමාජයකින් තුරන් වී ගිය කල එහි නොයෙකුත් අර්බුද, ගැටලු සහගත දෑ සිදුවීම නො වැළැක්විය හැකි ය. වත්මන් ලෝකයා බොහෝ සෙයින් කතා කරන සීීීඝ්‍රයෙන් ගුණ ධර්මයන්හි පරිහානියට ප්‍රබලතම හේතුවක් වන්නේ මෙය යි.


ලද දෙයින් සතුටු වීම

තමන් නො ලද, අන් අය භුක්ති විඳින කාමයන් කෙරෙහි ලෝකයේ බොහෝ දෙනා කටයුතු කරන්නේ යහපත, අයහපත පිළිබඳව වගක් නො මැතිව ය. මේ ලෝකයේ නො යෙකුත් සොරකම්, අකටයුතුකම් සිදුවන්නේ තමන්ට නො මැති අනුන් සතු දේට ආශා කිරීම නිසා නොවේ ද? බොහෝ අවස්ථාවක දෙදරා ගිය පවුල් ජීවිත ගැන ගතහොත් බොහෝ විට ඊට හේතු වී ඇත්තේ ස්වාමියා බිරිඳ හෝ බිරිඳ ස්වාමියා ඉක්මවා ගිය සදාචාර විරෝධී අසම්මත සම්බන්ධකම් ය. ඒ වගේම අනුන්ගේ දියුණුවට අකුල් හෙළමින් යම් අකටයුතුකම් පවතීද ඒ සෑම දෙයකටම මුල තමා ලද දේ පිළිබඳව සතුටට පත් නො වීමයි. ඒ දේවල් අනුන්ට ලැබීම දරා ගැනීමට නො හැකිවීම යි. ඒ අනුව ලද දෙයින් සතුටට පත්වීමට නො හැකියාව සමාජයට සිදුකර ඇත්තේ සුළුපටු විනාශයක් නොවේ.
ලද දෙයින් සෑහීමට පත්වීමට නොහැකි තැනැත්තා විශාල හානියක් කර ගන්නේ තමාට යි. නො ලද දේවල් තමන් සතු කර ගැනීම පිණිස දරන වෑයමේ දී සිදුවෙන නොයෙකුත් අකුසල් හේතුවෙන් මෙලොවදීත්, පරලොවදීත් විඳින්නට සිදුවන දුක් විපාක දෙ වැන්නයි. සිතක උපදින ආශාවන්ගේ ස්වභාවයේ ඉමක් කොනක් කිසිවිටෙකත් දක්නට නො ලැබෙයි. එනිසා ම ඒ බොහෝ දෙනාට මරණයට පත්වන්නට සිදුවන්නේ සන්තර්පණය කර ගැනීමට නොහැකි වූ බොහෝ ආශාවන් පොදි බැඳගෙන ය.

අතෘප්තිය වෙහෙසකි

රජ කෙනෙක් සාගර පවුර තරණය කර මුළු ලෝකයේ ම රජකම ගත්තත් ඔහුට තෘප්තියක් නැත. ඔහු කැමැති සාගරයෙන් එතෙර තිබෙන රටේත් රජ කරන්නට ය. ඒ රජුත් අනෙක් බොහෝ මනුස්සයනුත් මරණයට පත්වෙන්නේ තණ්හාව දුරු නො කරමය. ජීවිතය අත් හරින්නේ ඌණත්වයට පත් වෙලාම යි. මේ කාම ලෝකයේ තෘප්තියට පත්වීමක් නම් නැහැ. (රට්ඨපාල මහරහතන් වහන්සේ)
එසේ නම් ලද දෙයින් සතුටුවීමට නොහැකි පුද්ගලයාට ලෞකික ජීවිතයේ පවා හිමිවන්නේ අතෘප්තිය පමණ යි. අත්හැරීම කේන්ද්‍ර කරගත් බුදු සසුනක පිහිට පිළිසරණ ඔහු කෙසේ ලබන්න ද? එනිසාමයි මේ බුද්ධ ශාසනය ලද දෙයින් සතුටු වන පුද්ගලයා උදෙසා පමණක් වන්නේ. මහණෙනි, මාගේ මේ ධර්මය තිබෙන්නේ ලද දෙයින් සතුටු වන පුද්ගලයාට යි. ලද දෙයින් සතුටු නොවන පුද්ගලයාට නොවේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළේ එය බුදු සසුනේ මහා පුරුෂයන් බිහි කරන්නා වූ මහා පුරුෂ විතර්කයක් නිසාවෙනි.

සංසිඳුණු ආශාව

බුදුරජාණන් වහන්සේ නිතරම භික්ෂූන් වහන්සේලාට අවවාද කළේ ලැබුණ සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද කුටියකින්, ලද ගිලන් පසකින්, ලද බෙහෙතකින් සතුටුවෙමින් හංසයන් මෙන් නිදහස් ජීවිතයක් ඇතිකර ගන්නා ලෙස යි. උන්වහන්සේ වදාළා ලද දෙයින් සතුටු වුණේ නැතිනම් බොහෝ දුක් ගැහැට ඇතිවෙනවා වගේ ම නො ලද දේ ලබා ගැනීම පිණිස, නැති ගුණ පෙන්වීමට සිදුවෙන බව. ඒ වගේම තවදුරටත් ඒ දේවල් නො ලැබෙන්නේ නම් මිථ්‍යා ආජිවයෙන් හෝ ඒ දේවල් ලබා ගැනීමට කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්. එසේනම්, ලද දෙයින් සතුටු නො වීම අපේ ධර්ම මාර්ගයට කො තරම් නම් අනතුරක් සිදු කරනවා ද? නො සංසිඳුණු ආශාව අපේ සාමාන්‍ය ජීවිතයේ සතුට පවා නැති කරනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලද දෙයින් සතුටුවීමේ හැකියාව උපදවා ගැනීම පිණිස අප්‍රමාදී වෙන්න කියා.

ගුණයට සාධුනාද

ඒ උතුම් ගුණ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ රහතන් වහන්සේගේ ජීවිතය තුළ, උපරිමයෙන් පිහිටා තිබුණා. ඒ නිසයි උන්වහන්සේ කටුක වූ ආහාර වළදා නමුත්, ගස් සෙවනක වාසය කරමින් නමුත්, ඉවත ලද රෙදි කඩකින් කළ සිවුරක් පරිහරණය කළ නමුත්, පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසය කළේ. බුද්ධ ශාසනය යනු ලද දෙයින් සතුටුවීමේ ගුණයේ ආශ්චර්යය ලෝකයට කියා පාන්නකි. ඒ ගුණ ධර්ම අදට ද ලොව මවිත කරයි.
එක්තරා වස් කාලයක දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වේරඤ්ජ කියන ගමේ වස් සමාදන් වුණා. ඒ වේරඤ්ජ නම් බ්‍රාහ්මණයාගේ ආරාධනාවෙන්. නමුත් වස් කාලය පුරාවට සිව්පසයෙන් උපස්ථාන කිරීමට ඔහුට අමතක වුණා. ඒ නිසා ස්වාමින් වහන්සේලාට පිණ්ඩපාතයේ වැඩීමට සිදුවුණා. නමුත් ඒ කාලය පුරාවටම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය දානය පිණිස ලැබුණේ අශ්වයන්ගේ ආහාර පිණිස යොදා ගන්නා යවහාල් පමණ යි. නමුත් ලද පිණ්ඩපාතයෙන් සතුටු වන ස්වාමින් වහන්සේ යවහාල් කොට සාදාගත් ගුලි අනුභව කරමින් ඒ කාලය ගත කළා.
මේ සිද්ධිය දුටු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ලද දෙයින් සතුටුවීමේ ගුණයට සාධුකාර පැවැත්වූවා. පින්වත් මහණෙනි, මේ ආකාරයට රහතන් වහන්සේලා යවහාල් පමණක් වළදා සතුටින් වාසය කළ බව අනාගතයේ දී මිනිසුන් දැනගතහොත් ඔවුන් රසමසවුළු පිරි සූප ව්‍යඤ්ජනයටත් ඔච්චම් කර වි යැයි වදාළා.
එසේනම් අද අප පතමින් යන්නේ ඔච්චම් කළයුතු ආශාවන් පසුපස නොවේ ද? කෙ තරම් රස මසුවුළු අනුභව කරමින් ගියත් දිවට දැනෙන රසය සම්බන්ධයෙන් අප අදත් අතෘප්තිමත්. ඒ අතෘප්තිය මරණ මොහොත දක්වාම දිවෙන්නකි. පංච කාමයන් සම්බන්ධයෙන් ද තත්ත්වය එසේම ය. එසේ නම් අපට පැහැදිලි යි. ජීවිතයේ සතුට සැනසුම රඳා පවතින්නේ නො ලද කාමයන් පසුපස හඹායාම තුළින් නොව, ලද දෙයින් සතුටු වෙමින් ගෙවන සරල දිවිි පැවැත්මෙන් බව.
තවත් දිනක අපගේ භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතය පිණිස ගමකට වැඩම කළ සේක. එදා පාපී මාරයා ඒ ගමේ වූ සියලු වැසියන් තම වසඟයට ගෙන බුදුරජාණන් වහන්සේගේ දානය වළක්වන්නට වුණා. නමුත් අකම්පිත සිත් ඇති, නො ලද දේ පිළිබඳව කම්පා නොවන අපගේ බුදුරජාණන් වහන්සේ එදා වැඩ වාසය කළේ පී‍්‍රතිය අනුභව කොටයි.

මුදිතා ගුණයට යොමුවෙමු

ඒ වගේම ගෞතම බුදුසසුන තුළ ලද දෙයින් සතුටුවීමේ ගුණයෙන් සෝභමානව දිලුණු මහා කස්සප මහරහතන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරෙක ගුණ වර්ණනා කළේ මෙසේ ය.
පින්වත් මහණෙනි, මේ කාශ්‍යප ලැබුණු සිවුරකින් සතුටු වෙනවා. ඒ ලැබුණ සිවුරකින් සතුටු වෙන්නට පුළුවන්කම ගැන ගුණ වර්ණනා කරනවා. සිවුරක් නිසා නො ලැබෙන දේවල් කරන්නේ නැහැ. සිවුරක් නො ලැබුණා කියා තැවි තැවී යන්නේ නැහැ. සිවුරක් ලැබුණොත් එයට ගිජු වෙන්නෙත් නැහැ. එයින් මුසපත් වෙන්නෙත් නැහැ. ඒ කෙරෙහි ආශාවෙන් බැස ගන්නෙත් නැහැ. ඒ සිවුරේ අනිත්‍ය බව නම් වූ ආදීනවය දකිමින් එහි නො ඇලෙන නුවණින් යුතුවම යි පරිහරණය කරන්නේ. (කස්සප සංයුත්තය)
ලද දෙයින් සතුටුවීම තමාවත්, අනුන්වත් සුවපත් කරන්නක් බව දැන් ඔබට වැටහෙනවා ඇති. නමුත් දැහැමි ජීවිතයට සමීප නො වුවන්ගේ ජීවිතය පුරාම දක්නට ලැබෙන්නේ ලද දෙයින් සතුටු නො වීමේ ලක්ෂණ යි. බොහෝ විට අප කුඩා කාලයේ පටන්ම පුරුදු වී ඇත්තේ නො ලද දේ පැතීම ම යි. එසේනම් ලද දෙයින් සතුටු වීමේ උත්තරීර ගුණ ධර්මය උපදවා ගැනීම පිණිස, අප කෙසේ කටයුතු කළ යුතුද? ඒ සඳහා නිරන්තරයෙන් අනිත්‍යය සිහි කිරීමත්, අනුන්ගේ සැපය දැක සතුටුවීම නම් වූ මුදිතා ගුණය පුරුදු කිරීමත් කළයුතු වෙනවා.

නිසා අප කවුරුත් තමන් සම්බන්ධයෙන් තීරණයකට පැමිණිය යුතුයි. කිසිදා නො සංසිඳෙන ආශාවන් පසුපස හඹා ගොස් මිරිඟු දියට රැවටී අනතුරකට පත් මුව පොව්වෙකු මෙන් ජීවිතයක් උරුම කර ගන්නවාද, එසේ නැතිනම් ලද දෙයින් සතුටු වෙමින් තෘප්තිමත් ජීවිතයක් ගත කර පියාපත් බර පමණක් රැගෙන විල අත්හැර යන හංසයෙකු මෙන් නො ඇලුණු සිතක් උපදවා ගන්නේ ද කියන තීරණය ඔබ සතු ය.

පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment