Labels

Thursday, November 16, 2017

සසර කතරෙන් එතෙර වීමට


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අලුයම ලොව බලා මහා කරුණාවෙන් ලෝකවාසීනට පිහිටවීම සෑම බුදුවරයෙකුටම සුවිශේෂී වූ ලක්ෂණයකි. දිනක් හිමිදිරියේ බුදු කරුණාවට හසුවූයේ උදය බමුණා ය. පා සිවුරු ගෙන පෙරවරුවේ බුදුරදුන් උදය බමුණාගේ නිවසට පිඬු සිඟා වැඩි සේක. හේ කඩවසම් ය. යෞවන වයසේ පසුවන්නේ ය. මහත් භෝග සම්පත් ගෙනේ ය. එදින ද උදය බමුණාගේ නිවසේ රසවත් බොජුන් පිළියෙළ වී තිබුණි. මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත තථාගත බුදුරජාණන් වහන්සේ නිවසෙහි ඉදිරිපිට පිණ්ඩපාතයේ වැඩ සිටිනු ,දුටු උදය බමුණා කිසිවක් කථා නොකර තමන් වෙනුවෙන් නිවසේ පිළියෙළ වී තිබුණු රසමුසු ආහාර ටික බුද්ධ පාත්‍රයට පූජා කළේ ය.

බුදුරදහු ආපසු දෙව්රමට වැඩම කරති. දෙවන දින ද පළමු දිනයේ මෙන් ම බුදු හිමියෝ උදය බමුණාගේ නිවසට ම පිණ්ඩපාතයට වැඩම කළහ. එදින ද බමුණු තෙම කිසිවක් කථා නොකර ම තමන්ට පිළියෙළ වී තිබුණු ආහාරය බුදුරදුන්ට පූජා කළේ ය. බුදුරජාණන් වහන්සේ ද කිසිවක් කථා නොකර විහාරයට වැඩම කළ සේක. තුන්වන දිනයේ ද පළමු හා දෙවන දින දෙකේ පරිදි ම උන්වහන්සේ හිමිදිරියේ පිණ්ඩපාතය සඳහා උදය බමුණාගේ නිවසට ම වඩිති. එදින ද භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ආහාරයෙන් පුරවන උදය බමුණා බුදුරදුන්ගේ මුහුණ දෙස බලමින් මෙසේ කියයි.

“පකට්ඨකෝයං සමණෝ ගෝතමො පුනප්පුනං
ආගච්ඡතීති” ගෞතමයෙනි, නැවත නැවත මෙහි එන්නේ ආහාරයෙහි රස ගිජුවූ නිසාවෙන්දැයි අසයි. උදය බමුණා වචන පිටකළ පසු බමුණාට දහම් දෙසීමට ඔහුගේ ම මුවින් පිටවූ ‘පුනප්පුනං’ යන වචනය ම යොදා ගත්හ.
බමුණු අධ්‍යාපනය තුළ කෘෂිකර්මය හා එහි උපකරණ ආදිය පිළිබඳ මනා දැනීමක් දෙයි. එදිනෙදා නෙත ගැටෙන සරල උපමා උපයෝගී කර ගෙන උදය බමුණාට ලොව ඇති තතු, ජීවිත යථාර්ථය අවබෝධ කරවීමට දහම් දෙසන බුදුරජාණන් වහන්සේ ගාථා හතරකින් එකම වචනය දහසය වාරයක් යොදා කරුණු පැහැදිලි කළහ.
පුනප්පුනං චේව වපන්ති බීජං
පුනප්පුනං වස්සති දේවරාජා
පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා
පුනප්පුනං ධඤ්ඤමුපේති රට්ඨං
ගොවියෝ නැවත නැවත බීජ වපුරති. වැස්ස නැවත නැවත වසී. වැහි වහින විට ගොවියෝ නැවත නැවත කෙත්වත් හී හාති, කෙත් වතු සරු සාර වන විට රට ධන ධාන්‍යයෙන් පිරෙයි. නැවත නැවත එකම ක්‍රියාවලිය සිදුවන අයුරු පහදයි.
පුනප්පුනං යාචකා යාචයන්ති
පුනප්පුනං දානපති දදන්ති
පුනප්පුනං දානපති දදිත්වා
පුනප්පුනං සග්ගමුපෙන්ති ඨානං
මෙම ගාථාවෙන් දානය හා දීම පිළිබඳ පැහැදිලි කරයි. යදියාගේ හෙවත් හිඟන්නාගේ ස්වභාවය නැවත නැවත සිඟා කෑමයි. දන් දෙන අයගේ පුරුද්ද නැවත නැවත දන්දීම යි. නැවත නැවත දන් දෙන දානපතීහු නැවත නැවත ස්වර්ග පරායණ වෙති.

පුනප්පුනං ගබ්භමුපේති මන්දෝ
පුනප්පුනං ඛීරනිකා දුහන්ති
පුනප්පුනං වච්ඡෝ උපේති මාතරං
පුනප්පුනං කිලමති එන්දතී ච

එදා ගව පාලනය තුළින් විශාල ආදායමක් ලබාගත් අතර ගවයන් ගොපල්ලන් පිළිබඳ විවිධ තැන්වල සඳහන් වෙයි. කිරි දොවන්නෝ නිතර නිතර කිරි දොවති. උදේ හවස දෙනගෙන් කිරි දොවන අය වහු පැටියා ගැට ගසා තබති.කිරි දොවා අවසන් වු පසු පැටියා ලිහයි. ඌ නැවත නැවත මව් දෙන කරා දිව යයි . මෙම උපමා එදිනෙදා අත්විඳින සරල දේ ය. බුදුහිමියන් උදය බමුණාට සසර ගැන ජීවිත දර්ශනය ගැන පැහැදිලි කරන්නේ ඉහත උපමා තුලින් මනස සැකසීමෙනි. “පුනප්පුනං කිලමති ඵන්දතීච” සංසාරගත සත්වයා රාග, ද්වේෂ, මෝහ ආදි කෙලෙස් ධර්මවලට හසුවී ලොව ඇති තතු අනවබෝධයෙන් කටයුතු කරයි. ඒ අවිද්‍යාව, නොදැනීම නිසාම “පුනප්පුනං ගබ්භමුපේති මන්දෝ” නැවත නැවත මව් කුසේ පිළිසිඳ ගනිති. එය කුමන මව් කුසක්දැයි නිර්ණය කළ නො හැකි යි. ඒ ඒ සත්ව යෝනි අනුව රූපය ගති සිරිත් වෙනස්ව යයි. පුනප්පුනං යති මීයතීච

පුනප්පුනං සීවථිකං හරන්ති
මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවාය
න පුනප්පුනං ජායති භූරිපඤ්ඤෝතී”

මෙහි සසර පිළිබඳ ලෝක ස්වභාවය පහදයි. නැවත නැවත මව්කුසක ඉපදුණා නම් “ජායති” “මීයතී” උපදිනවා මැරෙනවා යන ධර්මතාවයට හසුවේ. අනවරාග්‍ර සංසාරයේ කොයිතරම් භව වල ඉපදී මැරී ගොස් ඇතිදැයි ගණන් කළ නොහැකි ය. යම් ආයු ප්‍රමාණයක් ගතකොට මිය යයි. ඒ ඒ භවවල ශරීරය අතහරියි. “පුනප්පුනං සීවථිකං හරන්ති” නැවත නැවත එම ශරීර කූඩු අත හරිති. එහි ප්‍රමාණයක් කළ නොහැකි ය. මෙම ධර්මතාව තේරුම් ගත් තැනැත්තා “මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවාය” නැවත නැවත මව්කුස කරා නොඑන අයුරින් කටයුතු කිරීමට වහ වහා උත්සුක වෙයි.
සියලු කෙලෙස් නැතිකර ලොව තතු වටහා ගෙන නිවන් ලැබූ පසු “න පුනප්පුනං ජායති” නැවත නැවත ඉපදීම නවතී.
සත්වයාගේ සසර ගමන දීර්ඝ යි. විවිධ භවවල ඉපදෙමින් මැරෙමින් අතෘප්තිකර සසරක යෙදී ගමන් කරන සත්වයාට කෙලෙස් දහම් එකතුවීම ස්වභාවය යි. නොදැනීම නිසා විවිධ සංස්කාරයන් එයි. පටිච්චසමුප්පාදය අනුව හේතුව නිසා එයට අනුරූප ඵලය, තණ්හා, උපාදාන, භව, ජාති,ජරා, මරණ, සෝක, පරිදේව , දුක්ඛ දෝමනස්ස, චක්‍රාකාරව ගමන් කරන අයුරු බුද්ධ දේශනාවේ විස්තර කෙරෙයි. ශ්‍රද්ධාවේත්, ප්‍රඥාවේත් සුපිරිසුදු බව ඇති කර ගැනීමට කළ යුතු, වැඩිය යුතු දේ, දැන ගැනීමට උත්සාහ කළ යුතුයි.
උදය බමුණා ඉතා කැමැත්තෙන් බුද්ධ දේශනාවට සවන්දී සතුටු සිත් ඇත්තෙක් බවට පත් වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නාක් මෙන් වැසුන, දෙයක් විවර කළාක් මෙන් මං මුලාවූවෙකුට මග පෙන්වන්නාක් මෙන්, ඇස් ඇත්තෝ රූප දකින්නා මෙන්, අඳුරට පහන් දැල්වූවා මෙන් තථාගතයන් වහන්සේ නොයෙක් අයුරින් දහම් දෙසූහ. මම බුද්ධ රත්නය ද ධම්ම රත්නය ද, සංඝරත්නය ද දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙක් කොට දරණ සේක් ප්‍රකාශ කරන ලදී.
අද පෝදා ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයේ උදය සූත්‍රයයි. තථාගතයන් වහන්සේ සැවැත්නුවර වැඩිසිටි දිනයක මිථ්‍යා දෘෂ්ඨියේ වෙලී සිටි උදය බමුණා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත්වීමේ සිද්ධිය අරමුණු කරගත් දේශනාවකි.
සංසාරගත සත්වයා අනන්ත දුක් විඳිමින් ඇවිදින හෙයින් නැවත නැවත ඉපදීම නවත්වා සසර දුකින් මිදීමට බුද්ධ දේශනාව අනුව කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගන්න

ඔබ සැමට රත්නත්‍රයේ පිහිටයි.


බලංගොඩ , කොටවෙහෙරමංකඩ, දම්වැල්ඕඩය
වළවේ ශී‍්‍ර දේවරක්ඛිතාරාම රජමහා විහාරාධිපති 
ර/බල/වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති 
ශාස්ත්‍රපති 
වැලිපත පඤ්ඤානන්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment