කායගතා සති භාවනාව මෙනෙහි කිරීමේ දී තම සිතට ජීවිතයේ අස්ථිර බව, මරණයේ ස්ථිර බව, පිළිකුල හොඳින් වැටහී යයි. මේ භාවනාවට කෙනෙක් සිත යොමු කළොත් ඒ පින්බර සිත භාවනාවට ම ලෙන්ගතු වී භාවනානුයෝගී ව වාසය කරයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
පසුගිය ලිපි මඟින් පංචක කිහිපයක් ද, චක්කයක් ද සඳහන් කළෙමු. අද අප සඳහන් කරන්නේ මුත්ත චක්කය යි. එවිට කායගතා සතියේ කොටස් තිස් දෙක ම මෙනෙහි කළා වෙයි. අස්සු(කඳුළු), වසා(වුරුණු තෙල්), ඛෙලො(කෙළ), සිංඝානිකා(සොටු), ලසිකා(සිරුරෙහි සන්ධිස්ථානවල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සඳමිඳුළු), මුත්තං(මුත්‍ර) මෙම අපවිත්‍ර කොටස් හය පෙර ලිපි මඟින් සඳහන් කළා සේ මෙනෙහි කරන්න. (මේ කයෙහි කඳුළු වර්ණයෙන් පිළිකුල් ය. සටහනින් පිළිකුල් ය, ගන්ධයෙන් පිළිකුල් ය, ආශ්‍රිත කුණුපයන්ගෙන් පිළිකුල් ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල් ය ආදී වශයෙනි.) නුවණ ඇත්තෝ මුත්ත චක්කය තවත් ගැඹුරින් මෙනෙහි කරන්න. මේ කයෙහි කඳුළු සත්ත්වයෙක් නො වේ, පුද්ගලයෙක් නො වේ, ආත්මයක් නො වේ, නිසත්ත්ව වූ, නිජීවි වූ, ශූන්‍ය වූ, අචේතනික වූ, අව්‍යාකෘත වූ, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු මාත්‍රයකි. එමනිසා මේ කයෙහි කඳුළු අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මුත්ත චක්කයේ අනෙකුත් කොටස් ද මෙනෙහි කරන්න.
වැලි කැටයේ සිට ලෝක ධාතුව දක්වා ජීවී අජීවී සියලු දේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතූන්ගෙන් සැකසී තිබේ. මෙහි තද ලක්ෂණය පඨවි ධාතුව නම් වෙයි. ජලය ආදිය වැගිරෙන දේ ආපෝ ධාතුව වෙයි. සිසිලස, උණුසුම තේජෝ ධාතුව නම් වෙයි. වායුව, වායෝ ධාතුව නම් වෙයි.
මෙම කොටස් වලින් සිරුර එකට කැටිවී ගැබ් වී පවතී. ආපෝ ධාතුව බහුල වුණොත් එකට බැඳී පවතින්නේ නැතිව ලිහී යනවා. සැරව ගලනවා. ඕජස් ගලනවා. පඨවි ධාතුව බහුල වුණොත් සිරුර ගල් වී තද බවට පත් වෙනවා. තේජෝ ධාතුව බහුල වුණොත් උණ, සීතල ආදිය ඇති වෙනවා. වායෝ ධාතුව වැඩි වුණොත් සිරුර ඉදිමෙනවා, පිම්ඹෙනවා. එසේනම්, මේ ධාතු සතර ඉස්මතු වුණොත් එහි අපහසුතාවය ඇත්තේ තමන්ට ම යි. මේවා සර්පයෝ සතර දෙනෙකුට සමාන යි. එක් සර්පයෙක් හෝ විෂ වූයේ නම් , පුද්ගලයා මරණයට පත් වෙනවා. ඖෂධ වලින් සිරුරේ උස් පහත් වූ ධාතූන් සම මට්ටමට ගන්නවා. ඒ මඟින් සර්පයන් සේ කිපෙන සතර මහා ධාතූන් තාවකාලිකව දමනය වෙනවා. එසේනම්, සිහි නුවණින් ම තමන්ගේ ම සිරුර දෙස ඇත්ත ඇති සැටියෙන් බැලිය යුතු යි.
කයෙහි පවතින අපවිත්‍ර කොටස් වැගිරෙන සුළු, මහා පිළිකුල් සහගත, දුගඳ හමන දේ වෙයි. හරකෙක් හෝ අලියෙකු හෝ මැරී කුණු වී තිබුණොත් ඒ අසලින් ගමන් කිරීම අපේ සිතට එතරම් අපහසු නැහැ. නමුත් මිනිසෙකු මැරී කුණුවී ගියොත් ඒ අසලින් කෙනෙකු ගමන් කරන්නවත් සිතන්නේ නැහැ. ඒ මෘත ශරීරයට ඇතැම් අය එතරම් ම බය යි. එසේනම්, අපට ඇත්තේ විනාශය කරා ළඟා වන අපමණ පිළිකුල් සහගත සිරුරක්. ඒ ගැන කවුරුත් හොඳ අවබෝධයක් ඇති කර ගැනීමට අවශ්‍යය යි. මේ කුණුවී දිරාපත්වන කයෙහි අසුභය මෙනෙහි කර, සිතට නො ගෙවන ශක්තියක් ගොඩ නඟා ගන්න.
එසේනම්, අත්ථි ඉමස්මිං කායේ සිට අත්ථි ඉමස්මිං මුත්තං දක්වා කරුණු තිස්දෙකම පේළියට මෙනෙහි කරන්න. එය ප්‍රතිලෝම(ආපස්සට) වශයෙන් මෙනෙහි කරන්න. ඒවායේ සිංහල තේරුම සහ පිළිකුල ඉහත සඳහන් කළා සේ මෙනෙහි කරන්න. සත්ත්ව , පුද්ගල , ආත්ම නැති බව හොඳට මෙනෙහි කරන්න. මේ අයුරින් කායගතාසති භාවනාවට පමණක් අඩංගු කරුණු තිස්දෙක මෙනෙහි කිරීම ද්වාතිංසාකාර භාවනාව නම් වෙයි. ද්වාතිංස යනු තිස්දෙක යි. මනසිකාර යනු මෙනෙහි කිරීම යි. එවිට ලැබෙන දැනුම අපමණ යි. තව ද මේ පාඩම් පෙළ මඟින් කායගතාසතිය, පටිකූල මනසිකාරය, ධාතු මනසිකාරය, පිළිබඳව යෝගියාට හොඳ වැටහීමක් ලැබෙයි.
එසේනම්, නුවණින් මෙනෙහි කිරීමේ ක්‍රම තිස් දෙකක් ඉගෙන ගත්තා. භාවනා කිරීමේ අරමුණු තිස් දෙකක් ඉගෙන ගත්තා. මේවා බොහෝ වැදගත් වෙයි. මේ භාවනා අරමුණු තිස්දෙක ම තමාගේ සති, සමාධි , අරමුණු, දියුණුව උදා කරයි. මෙලොව පරලොව යහපත සලසාලන පාරමී ගුණ දියුණු තියුණුවට විශේෂිත වෙයි. ධ්‍යාන, විදර්ශනා නුවණ උපදවාගෙන, මාර්ගඵල අවස්ථාවන්ට පත් වෙයි.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සියලු තතු සතිපට්ඨාන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ආදී විවිධාකාර දේශනාවන් මඟින් වදාළා. මේවා මහා ගාම්භීර දේශනාවන්. භාවනාව කෙනෙකුට මෙනෙහි කරන්න අපහසු වන්නේ හුරු පුරුදු නැති නිස යි. නමුත් එයට අපහසුවෙන් හෝ හුරු පුරුදු වුණොත් ලැබෙන දැනුම අපමණයි.
මේ ගැන හොඳින් දැනුම්වත් ව, සිහිකල්පනාව දියුණු තියුණු කරගත යුතු යි. සම්බුද්ධ ශාසනය පිළිබඳ හොඳ වැටහීමකින් කටයුතු කළ යුතු යි. නිවැරැදි දෘෂ්ටිය පිහිටා කටයුතු කළ යුතු යි. මේ මඟින් තමන්ට සෙත, යහපත සැලසෙ යි. බුද්ධ ශාසනය යනු ගුණ දහම් දියුණු කරන, ලෝකවාසී සත්ත්වයාගේ හිංසා පීඩා තුරන්කරන අවිහිංසාවාදී ධර්මයක්. ගෞරව බහුමානයෙන්, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් කටයුතු කරන්නාට යා යුතු නිසි මඟ හොඳින් වැටහෙයි.
සම්බුදු සසුන පින්වතුන්ට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ලංකාවාසී, ලෝකවාසී ජනතාවට, දිව්‍යලෝක , බ්‍රහ්මලෝකවල සිටින උතුමන්ට බුදු සසුන ලැබී තිබෙනවා. පිරිත් දේශනා, ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ලැබෙනවා. බුද්ධ පූජා, පංච ශීලය රැකීම, වන්දනා මාන, භාවනා කිරීම් සිදු කරනවා. මේ ටික ම සසර මඟ බබළවන්න ප්‍රමාණවත් වෙයි.
ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්ම දියුණුවෙන් , සම්බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු ගුණාංග වන කරුණාව, මෛත්‍රිය, දයාව , අනුකම්පාව, ඉවසීම, නිහතමානීකම දියුණුවෙන් මේ ගමන ඉදිරියට පිවිසිය යුතු යි. එවිට ධ්‍යාන, විදර්ශනා, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ගඵල අවස්ථාවන්ට සමීප වෙයි. නිකරුණේ සිටින්නෙකුට මාර්ගඵල අවස්ථාවන්ට පත් විය නො හැකි යි. ඒ නිසා ප්‍රාර්ථනාව අවශ්‍ය ම වෙයි. එයට අනුකූලව දන් දීම, සිල් රැකීම, නෛෂ්ක්‍රම්‍ය වත පිරීම, ප්‍රඥාව දියුණු කිරීම , වීර්යය, ඉවසීම දියුණු කිරීම, සත්‍යවාදී වීම, හොඳ අධිෂ්ඨාන තබා ගැනීම, මෛත්‍රී භාවනාව කිරීම සහ මධ්‍යස්ථව වාසය කිරීම ආදී දස පාරමිතා සපුරා ගත යුතු යි. අලෝභ, අදෝශ, අමෝහ චේතනාවන්, සද්ධා, වීර්ය, සති, සමාධි, ඥාන ආදී ඉන්ද්‍රිය බල ධර්ම දියුණුවෙන් තමන්ගේ මෙලොව දිවිය හොඳින් සවිමත් කර ගන්න. මෙලෙස සසරට ම පින් දහම් රැස් කරගෙන, කායගතාසතියට අයත් ද්වාතිංසාකාර භාවනාව පිළිබඳව හොඳින් දැනුම්වත් වන මහඟු පින නිවන් මඟ පිණිස ම හේතු වේවා!
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment