මධුවා මඤ්ඤති බාලො
යාව පාපං න පච්චතී
යදාච පච්චතී පාපං
අථ බාලො විහඤ්ඤති
යාව පාපං න පච්චතී
යදාච පච්චතී පාපං
අථ බාලො විහඤ්ඤති
තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි උප්පලවණ්ණා රහත් මෙහෙණින් වහන්සේ අරභයා දේශනා කළ ගාථා ධර්මයකි.ඉහත සඳහන් කළේ උපුල්මල් වර්ණයෙන් යුතු සුන්දර ශරීරයක් ඇති උප්පලවණ්ණා තෙරණියෝ පියුමතුරා බුදුන් දවස එක් මෙහෙණක් අගසව් තනතුරෙහි පිහිටුවීම දුටුවා ය. ඒ දැක අපමණ පී‍්‍රතියට පත්ව ‘මම ද මතු බුදු කෙනෙකුන් හමුවෙහි අගසව් තනතුරක් ලබන්නෙමි’ යි අධිටන් කොට ගත්තා ය. මහ දන් පවත්වමින්, අපමණ පින් දහම් කරමින් සසර සැරිසැරුවා ය. එක් කලෙක මනුලොව ඉපිද පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපුල් මල් පුදා ඒ පින් බලයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදිව රහත් මෙහෙණින් වහන්සේ නමක් වී අගසව් තනතුරු ලබා අන්ධ නම් වනයෙහි වැඩ වසන්නී ය.
ගිහිකල සිටම උප්පලවණ්ණාවගේ රුවට වශී ව නන්ද නම් ඥාතියෙකු වූයේ ය. කල්යල් බලා රහත් තෙරණියෝ අන්ධවනයේ සිය කුටියේ සිට පිඬු පිණිස වැඩි විටෙක ඔහු කුටියට අවුත් ඇඳයට රිංගා සැඟ වී සිටියේ ය. උප්පලවණ්ණා තෙරණියෝ කුටියට අවුත් දොර වසා ගත් කල මහා පාප කර්මයක් කර ගත්තේ ය. මරණින් මතු අපායේ ඉපිද අපමණ දුක් වේදනාවකට පත් විය.
මෙම මහා පාප කර්මය කළ නන්දගේ චරිතය මුල්කර ගනිමින් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්වයාට පීඩා කරන පාප කර්ම හා ඒවායෙහි විපාක ස්වභාවය දේශනා කොට වදාළ සේක.
අනුවණයා පව්කම් කර එහි විපාක දෙනතුරු මිහිරක් මෙන් හඟින්නේ ය. යම් වෙලාවක විපාක දෙන්නේ ද එවිට මහා දුක් වේදනාවන්ගෙන් පීඩා විඳින්නේ ය. සුපින්වතුනි, මෙම ගාථා ධර්මයෙන් ප්‍රධාන කාරණා කීපයක් දැනගත යුතු වන්නේ ය.
අකුසල මූල, අකුසල් සිත් හා චෛතසික, විපාකය හා හැඟීම, විපාක භූමි යනුවෙනි.
අකුසල් සිතක් ඇතිවීමට මූල බීජවන චෛතසික තුනකි.
ලෝභය, දෝෂය හා මෝහය වශයෙනි. පසිඳුරන් අරමුණෙහි ඇලීම ලෝභය යි. අරමුණෙහි ගැටීම දෝසය යි. අරමුණ පිළිබඳ ව වැරැදි ලෙස තමන් තීරණය කරන අදහස මෝහය යි. ඇලීමත් ගැටීමත්, මුලාවත් යන කරුණු තුනම එකට ගමන් කරන බැවින් එම තැනින් ප්‍රමුඛ වන වැරැදි ක්‍රියාවලිය නිසා සත්ත්වයා මෙලොව පරලොව අපමණ දුක්වේදනාවලට භාජනය වන්නේ ය.
පින් පව් සෑම දේටම මනස ප්‍රධාන වේ. එහි බලය, ජවය ලබාගන්නේ කුසලා කුසල මූල ධර්මයන්ගෙනි. සංසාරික ව උපදින සත්වයාගේ ස්වභාවය අනුව නිත්‍ය වශයෙන් නිරායාසව සිත නැමෙන්නේ ලෝභ, දෝස, මෝහ යන මූලධර්මයන්ට ය. එය ප්‍රයත්නයෙන් සිතින් බැහැර කළ යුතු ය. තවත් ප්‍රයත්නයකින් අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන් ඇතිකරගත යුතු ය.
ලෝභාදී අකුසල මූලයන් නිසා ඇතිවන අකුසල් සිතත් 12 ක් ද එයින් රැස්වන චෛතසික 14 ක් ද අභිධර්මයෙහි දැක්වේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර ආදී පාප ක්‍රියාවන් අතර සංයුක්ත වන්නේ ය. කර්ම, කර්ම පථ, කර්ම විපාක යන අවස්ථාවල සත්ත්වයාගේ මානසික තත්ත්වයේ ප්‍රමාණයට දුක් වේදනා, සන්තාප, විඳින්නට සිදුවන්නේ ය.
සත්ත්ව ලෝකයේ වැඩිවශයෙන් අකුසල් සිදුවන්නේ අවිද්‍යාව හෙවත් මෝහය නිසා ය. පටිච්ච සමුප්පාද ධර්මය ආරම්භ වන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා යනුවෙනි. අවිද්‍යාවෙන් මුලා වීමත්, තණ්හාවෙන් අල්ලා ගැනීමත් නිසා සත්ත්වයා කරන පව් කම් අපමණ ය.
විශ්වයේ වසන සෑම සත්වයකුටම එකිනෙකාට වෙනස් වූ ශාරීරික හා මානසික සුවිශේෂභාවයක් ඇත. මේ නිසා තමා විසින් තීරණය කරන සීමාවක සිට පින්, පව් සංඛාර රැස්කර සංසාරික පරිසරය සකස් කරගන්නේ ය.
කුසල හෝ අකුසල කර්මයක විපාක යනු ක්‍රියාවක ප්‍රතික්‍රියාව යි. සෑම ක්‍රියාවක ම කුමන හෝ ප්‍රතික්‍රියාවක් ඇත. ඒවා, ක්‍රියාත්මක වන අවස්ථාවේ පවත්නා ජවන් සිත් හෙවත් චිත්ත බලවේගයන් අනුව විපාක ලබන්නේ ය. කාල වශයෙන්, භූමි වශයෙන්, කර්ම විපාක වෙනස්වන අතර පංචානන්තරිය කර්ම වැනි මහා පාප කර්මයන්ගේ විපාක නිසා අවීචි මහා නරකයෙහි ඉපිද කල්ප ගණන් දුක් සන්තාප විඳින්නට සිදු වන්නේ ය.
විපාක දීමට කාලයක්, නියම ස්ථානයක්, ප්‍රමාණයක් නැති බව බුද්ධ දේශනාවේ දැක්වේ. යම් කිසි අකුසලයක් තමා දැන කළේ නම් එය කළ අවස්ථාවේ පටන් මානසික තාපයකින් පීඩා විඳින්නට සිදුවීම මනෝවිද්‍යානුකූල වන්නේ ය. කුසල විපාකද සිදු කළ අවස්ථාවේ පටන් එසේම සතුට, සහනය ඇති වන්නේ ය. අකුසල් කරන අයට මෙලොවත්, පරලොවත් තැවෙන්නට සිදුවන වග බුද්ධ දේශනාවෙන්ද, බෞද්ධ චරිත කතාවන්ගෙන් මෙන් ම සමාජ විද්‍යාවෙන් ද පැහැදිලි වන්නේ ය.
මනෝ විද්‍යානුකූලව ක්‍රියාවත්, ඒ අනුව විපාක විඳීමත් කරන්නා ම වින්දනයට යටත්වීමත් ඉතා පැහැදිලිව අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. නිර්මාණය හා කර්මය අතර විශාල පරතරයක් ඇත. නිර්මාණ වාදයට ගැතිවන මිනිසා තවත් මිනිසෙකුට ගරු නොකරන නිසා මානව ධර්ම ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත් පව් පින් ක්‍රියාවන් පිළිබඳ සාමාන්‍ය තොරතුරු හා ඉගැන්වීම් එම ආගමික නායකයන්ගේ දැනීම් ප්‍රමාණයට සෑම ආගමක ම දක්නට ඇත. මේ නිසා මිනිසුන් අතර ආගමික නොවන අයට වඩා ආගමික වන අය අතර සුවිශේෂී ගති සිරිත් හා ලජ්ජා බිය දෙකින් සම්පූර්ණ නිසා අපරාධවීම් අවම වන්නේ ය.
අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කේන්ද්‍රගතව ඇත්තේ කුසලා කුසල කර්මයට නිසා එයින් සත්ත්වයාගේ පැවැත්මත් කර්මය සපුරා නැතිකිරීමෙන් සංසාරික නැවැත්මත් සිදුවන අයුරු හේතුඵල සිද්ධාන්ත අනුව ඉතා පැහැදිලිව විස්තර කර ඇත.
මෙම උතුම් ධර්ම දේශනය කියවීමෙන් හා පිළිපැදීමෙන් ඔබට දෙලොව යහපත උදා වේවා! භවාන්තරයේ සැපදුක් කෙළවර උතුම් අමාමහ නිවනින් සැනසීමට හේතු වාසනා මහිමය ඇති වේවා!
තෙරුවන් සරණයි.
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ත්‍රිපිටකාචාර්ය
විනයකීර්ති ශ්‍රී සුමංගල
අමුණුපුර පියරතන නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment