Labels

Thursday, November 2, 2017

සප්ත ආර්ය ධනය හා සහජීවනය

දෙලොව යහපත සලසන ආර්ය හෙවත් උතුම් ධන හතක් බුදුදහම විස්තර කරයි. ගිහි පැවිදි භේදයකින් තොරව මෙම ගුණයන් පුද්ගල, සමාජ යහපත සනසාලීමට සමත් ය. යම් සමාජයක් මෙම ගුණධර්ම හත පිළිපදින්නේ නම් ගැටුම්, හිත් අමනාපකම්වලින් තොරව සහජීවනයෙන් යුතුව ජීවත්විය හැකි ය. එම ආර්ය ධන හත මෙසේ ය.
සද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඔත්තප්පධනය, සුත ධනය, චාග ධනය හා ප්‍රඥා ධනය වශයෙනි.

කරුණු දැන පැහැදීම

සද්ධා ධනය හෙවත් තුනුරුවන් පිළිබඳ විශ්වාසය බෞද්ධයන් තුළ තිබිය යුතු ගුණයකි. මහානාම සූත්‍රයට අනුව බෞද්ධයෙකු වීම සඳහා තුනුරුවන් සරණයාම අවශ්‍යය. තුනුරුවන් සරණයාම යනු තම ආගම උසස්කොට අනෙක් ආගම් පහත් කිරීම නොවේ. එසේම ආගමේ නාමයෙන් තම පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමත් නොවේ. තව ද තම මතය ආගම බව හුවා දක්වා භෞතික ලාභ ගැනිම ද නොවේ. ශ්‍රද්ධාව යනු තුනුරුවන් පිළිබඳ ඇති පැහැදීම යි. තුනුරුවන් පිළිබඳ පැහැදීමෙන් කටයුතු කරන්නෝ බෞද්ධයන් මෙන් ම සතා සිව්පාවා පිළිබඳව ද මහත් ලැදිකමක් දක්වති. තම ක්‍රියාකාරකම් නිසාවෙන් ගහ කොළට හෝ අලාභයක් සිදු නො කරති. බුදුදහමට අනුව තිබිය යුතු වන්නේ ආකාරවතී ශ්‍රද්ධාවක් හෙවත් කරුණු දැන පැහැදීමකි. මෙහිදී වැදගත් වන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධය යි. කරුණු නොදැන ශ්‍රද්ධාව හදාගැනීම මහත් භයානක ය. අබරන් සිල් ගත්තා වැනි අඥාන ක්‍රියා ඔවුන් අතින් සිදු වේ. අමූලික ශ්‍රද්ධාව පිළිබඳ තේරුම්ගත හැකි එක් ජනප්‍රවාදයක් මෙසේ දැක්විය හැකි ය.

එක් විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ බැහැර වැඩ නැවත පන්සලට වැඩමවන විට උපාසක මෑණි කෙනෙක් බෝ මළුව අමදිමින් සිට ඇත. භික්ෂූන් වහන්සේ දුටු පමණින් ම ඉතා සතුටට පත් උපාසිකා මාතාව අතු ගගා සිටි ඉදල හාමුදුරුවන්ගේ ඇඟට හේත්තුකොට වැඳී ය. ශ්‍රද්ධාව වැඩි වුව ද ප්‍රඥාව නැති බව මත එසේ සිදුවන්නට ඇත. ඇතැම් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව ද මීට නොදෙවෙනි ය. ප්‍රඥාව නැති වූ තැන මහත් අලාභ ව්‍යසන ඇති වේ. ඇතැමුන්ගේ මෙම ශ්‍රද්ධාව නිසා ම සමඟිය සාමය සහජීවනය පවා නැතිවන අවස්ථා හඳුනාගත හැකි ය. ශ්‍රද්ධාව පිළිබඳ අධිකාරම් මහත්මාගේ ප්‍රකාශන එදාටත් වඩා අදට වඩා උචිත වේ. එතුමා වරක් ශ්‍රද්ධාව ගැන මෙසේ සඳහන් කළහ.
මිනිසුන් ආගම වෙනුවෙන් ජීවිත වුවද පූජා කිරීමට සූදානම් ය. එහෙත් ආගමේ ඇති හරය ජීවිතවලට එකතුකර ගැනීමට සූදානම් නොවේ. බෞද්ධ අබෞද්ධ භේදයකින් තොරව සෑම ආගමකම ඇතැම් ක්‍රියා සැලකීමේ දී එතුමාගේ අදහස වඩා නිවැරැදි ය. ආගම ජාතිය පිළිබඳ කතා කිරීම හා ඒ වෙනුවෙන් වැඩ කිරීම අගය කළ යුතු මුත් ඉන් අනෙකාට ශාරීරික හෝ මානසික පීඩාවන් නොවිය යුතු ය. ආගමේ නාමයෙන් යුද්ධ කිරීම දෙවියන්ගේ නියමයක් නොව යක්ෂයන් ගේ අපේක්ෂාවකි. ආගමික නායකයන් යහපත් දර්ශනයක් ඉදිරිපත් කළේ මිනිසුන්ට ගහමරා ගැනීමට නොව සාමයෙන් සහජීවනයෙන් අනෙකාට හිරිහැර නොවන ලෙස ජීවත්වීමට ය. මිනිසාගේ ආධ්‍යාත්මය ගොඩ නැඟීම ය. ශ්‍රද්ධාව ධනයක් වන්නේ එවන් පසුබිමක පමණි.

දෙලොවට මග වියදම

කය වචනය සංවරවීම සීලයයි. එය ධනයකි. දෙලොව මග වියදම් සීලය තුළ ඇත. මඩිහේ මහ නා හිමියන්ට අනුවත් ‘මිනිසා හදා රට හැදිය යුතු ය.’ එසේම බණ්ඩාරනායක මහත්මාට අනුව මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යි. ජේ.ආර්. ජයවර්ධන මහතාට අනුව තමාගේ ආරක්ෂාව තමා සලසා ගත යුතු ය. මේ සෑම කාරණයක ම මුඛ්‍ය අදහස සීලය යි. හික්මීමක් නැති තැන කිසිම දියුණුවක් ලැබිය නොහැක. මෙම සියලු නායකයන්ගේ ශාස්තෘවරයා වූ අප බුදුපියාණන් දේශනා කළේ ‘සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා” එනම් සියල්ලෝ ම සැප කැමැත්තෝ වෙත්වා යනුවෙනි. බුද්ධ වචනය එය නම් කෙනෙකුගේ කායික හෝ වාචසික ක්‍රියාත්මක අනෙකා පීඩාවට පත් කළ යුතු නොවේ. ආගමට හැකියාව ඇත්තේ පුද්ගලයාට සුගතියට යන මඟ කියාදීම පමණි. ඒ අරුතින් තමාගේ ආරක්ෂාව තමා සලසා ගැනීම වැදගත් ය. එසේම අපට ලෝකයට පාවාඩ එළිය නොහැකි අතර පාවහන් දෙකක් පාවිච්චි කළ හැකි වේ. එහෙත් පළමු මිනිසා සහ ඔහුගේ ආකල්ප සැනසිය යුතු වේ. ජාති ආගම් භේදයකින් තොරව මිනිසා අන්‍ය මිනිසාට සේවයට බැඳී ඇත. එය මිනිසත්කමයි. මේ සියල්ල කළ හැකි වන්නේ මනා ශික්ෂණයක් ඇතිනම් පමණි. එසේ නොවන තැනක දී අනවශ්‍ය ගැටුම් නිර්මාණය වේ.
පව් හෙවත් නරක අයහපත් දෑ සිදුකිරීමට ඇති ලජ්ජාව හිරි ධනය යි. බොහෝ මිනිසුන් අයහපතට පෙළඹෙන්නේ මෙම ධනය නැතිකම නිසාවෙනි. ලජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකු යි යන්න පවා නිර්මාණය වී ඇත්තේ එහෙයිනි. ඇතැමුන් අනවශ්‍ය ක්‍රියාකාරකම් සිදුකිරීමේ දී ඔහුගේ ලජ්ජා නහර කපා ඇති කියා පවා සඳහන් වන්නේ ලජ්ජාව ධනයක් බැවිනි. මහමග මාර්ග නීති කැඩීම, අශීලාචාර හැසිරීම, දුව පුතා නො හඳුනන ලෙස හැසිරීම, මුදලට බලයට නරක හොඳ ලෙස දැකීම මේ සියල්ල ලජ්ජා නැති බවේ ප්‍රතිඵලයන් ය. ඇතැම්විට ධර්මය පවා විකෘති කොට තම අභිලාෂයන් ඉටුකරගැනීමට පෙළඹෙන්නේ මේ හේතුව නිසාවෙන් ය.

හොඳ විඳීම සහ නරක විඳවීම

නරක, අයහපත සිදුකිරීමට ඇති බිය ඔත්තප්පය යි. පවට බියක් නොමැති වූ විට ඕනෑම පහත් දෙයක් සිදුකිරීමට පුද්ගලයා පෙළඹේ. බුදු දහමට අනුව සෑම ක්‍රියාවකටම ඊට සමාන ප්‍රති ක්‍රියාවක් ඇත. හොඳ නම් විඳින අතර නරක නම් විඳවයි. විඳින්න තිබෙන ජීවිතය විඳවන්නේ පව් නරක දෑ සිදුකිරීම නිසාවෙනි. පවට ආගම් ජාති භේදයක් නැත. යමක් නරක යි නම් එය පවකි. කෙනෙකුට අසාධාරණයක් අවැඩක් සිදුකිරීම යහපත් නොවේ. සිංහල පව් දෙමළ පව්, බෞද්ධ පව්, කිතුණු පව්, හෝ ඉස්ලාම් පව් කියා භේදයක් නැත. ගිහියෙක් කළ ද, පැවිද්දෙක් කළ ද පව පවම ය. ධර්මය දත් පිරිස් වැඩියෙන් පව් කළේ ද ඊට ප්‍රතිවිපාක ඒ ප්‍රමාණයටම ලැබේ. පවට ඇති බිය හීන වීම සමාජ අසාධාරණයන් හිංසාවන් වැඩිවීමට හේතු වේ.

තමන් උපමාවට ගැනීම

යමක් සිදුකිරීමේ දී මේ පිළිබඳ සැලකිලිමත්ව අත්තූපනායක ධර්ම පර්යාය පදනම්ව කටයුතු කිරීම වැදගත් ය. එනම් තමන් උපමා කරගෙන විසීම යි. අනුන් විසින් තමන්ට කරනවාට අකැමැති දෙයක් තමන් විසින් අනෙකාට නො කළ යුතු බවයි. කොන්පියුසියස් දහම පවා එලෙස එය අවධාරණය කරයි. තමා උපමා කර ගැනීමේ දී මොනම අවස්ථාවකදීවත් අනෙකා පෙළීමට කටයුතු නො කරයි. එක මකුණෙක් කෑ පමණින් සියලු මකුණන් මරා දැමීම නුසුදුසු වේ. ඇතැම්විට සුරතල් සතා පවා තමාට මරු කැඳවීමට හේතුවක් විය හැකි ය. එහෙයින් අහවල් සතා හොඳය අනෙකා නරක යැයි නිගමනය කිරීම සාධාරණ නොවේ. වරද කවුරු කොතනක කළත් වරදමය. ඊට ජාති ආගම් කුල භේද නැත. කිසියම් ජනවර්ගයක් රටක හෝ පළාතක බහුතරය වූ පමණින් අනෙකා පෙළීමට ඔහුට කිසිදු අයිතියක් නැත. එය සැබෑ ආගමික හැඟීමක් ඇති අයට කළ නොහැක්කකි. රටක දියුණුවට එය මහත් අලාභයකි. උතුරු කොරියාවට එරෙහිව කෙතරම් බලවේග නැඟී සිටිය ද උතුරු කොරියන් වැසියෝ එක අරමුණක එක ධජයක් යටතේ සමගියෙන් ජීවත් වෙති. එය මහත් අස්වැසිල්ලක් වේ. තම බලය සහෝදර ජනයා උදෙසා වැරැදි ලෙස මුදා හැරීම නොකළ යුතු වේ. එය මහත් පවකි ඔත්තප්ජ ධනය වැදගත් වන්නේ මේ අර්ථයෙනි.

අවවාදය ලාභයට නොවේ

අනෙකාට ඇහුම්කන්දීම අවවාද අනුශාසනාවන්ට අවධානය යොමු කිරීම ‘සුත’ ධනයයි අවවාද යනු තම මඩිය තර කර ගැනීම හෝ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් වන්දිබට්ටකම් කිරීම, ප්‍රශස්ති වැයීම නොවේ. තමාට අලාභයක් වුවද, වරද වරද ලෙස පෙන්වා දීම නියම උපදේශකත්වය යි. ඇත්ත තිත්තමුත් නායකකාරකාදීන්ට එය පෙන්වාදීම වැදගත් ය. එය ද සිදුකළ යුත්තේ ද්වේෂයෙන් නොවේ. නායකයන්ද මනා සිහියෙන් එයට ඇහුම්කන්දීම වැදගත් වේ. බොහෝ පිරිස් කතා කිරීමට අවවාද ලබාදීමට කැමැත්තක් දැක්වුව ද පිළිගැනීමට මැළි වෙති. සාමය සමඟිය සුහදත්වය ගොඩනැගෙන්නේ අවවාදයන්ට අනුව හොඳින් ජීවත්වීම මත ය. අවවාදයේ දී සැලකිල්ලට ගත යුතු වන්නේ ලබා දෙන්නා නොව අවවාදයේ මහත් බව යි. ජපානයට ඇතිවෙන්නට තිබූ සම්බාධක නැතිවූයේ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ‘නහිවේරේන වේරානි’ යන ධම්මපද ගාථාවෙන් සිදුකළ අවවාදාත්මක කතාවට ලෝක ප්‍රජාව නම්‍යශීලී වූ බැවිනි. ඒ අරුතින් සුත ධනය අමිල ය.

අනාගතයේ සුබ ලකුණ


සම්පත් බෙදීමේදී එම බෙදීයාමේ විෂමතාව නැතිවීම චාගය යි. ජාති ආගම් භේදයකින් තොරව මෙය ක්‍රියාත්මක වීම වැදගත් ය. අවශ්‍යතාවය වන ව්‍යසනයන්වලදී ක්‍රියාත්මක වීම අවශ්‍ය ය. එවිට අනවශ්‍ය ගැටුම් හිත් අමනාපකම් දුරුවී යයි. මේ සියලු ධනයන් නිසි පරිදි ජීවිතයන්ට එකතුවීම සඳහා ප්‍රඥා ධනය අත්‍යවශ්‍ය වේ. ඇඟේ ශක්තිය පිරිස්බලය පිළිබඳ නොසලකා ප්‍රඥාවේ බලය තේරුම්ගත යුතු වේ. කොතලාවල මහතාට දුම්රිය ගමනේ දී බණ්ඩාරනායක මහතා පෙන්වූයේ එය යි. ප්‍රඥා ධනය යහපත පිණිස යෙදවීමට බහුතර පිරිස් ප්‍රඥාව හෙවත් විශේෂ ඥානය ලබාගැනීම වැදගත් ය. එය තම ආයතනය පාලනය කිරීමේ දී උරගා බැලීම වටී. මහජන නියෝජිතයන් පත්කිරීමේදී ද මේ පිළිබඳ සැලකිලිමත්විය යුතු ය. රටට වැදගත් නීති රීති සම්පාදනය වන ස්ථානවලට ඒ පිළිබඳ කිසිම අවබෝධයක් නැති පුද්ගලයන් ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව පත් නොකළ යුතු ය. එසේ පත් කිරීමේ විපාක විඳීමේ දී ජාති ආගම්, භේද නැත. එක්වරක් එසේ පත් වූ විට කෙසේ හෝ බලය ලබා ගැනීම පිණිස පටු දේ පවා සිදුකිරීමට ඔවුන් පෙළඹේ. එය රටක අනාගතයට සුබ ලකුණක් නොවේ. එහෙයින් පටු වාද භේද නොතකා උදාර අරමුණෙන් ක්‍රියාත්මක වීම වැදගත් ය. ඒ තුළ සාමය සමඟිය සහජීවනය රැකෙන අතර පොදුවේ දියුණුව අභිවෘද්ධිය සලසාගත හැකි ය.


කොළඹ මහානාම විද්‍යාලයේ 
ආචාර්ය 
කොලොන්නාව පුරාණ විහාරවාසී 
සියඹලාගොඩ ධම්මින්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 12 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment