Labels

Saturday, November 4, 2017

සිතෙහිදොරටු පාලකයා

සිහිය යනු කුමක් දැයි තේරුම් ගත යුතු ය. අරමුණු අනුව විවිධ හැඩතලවලට පත්වන මනසෙහි මුලින් ම පවතින නො මුළා වූ මානසික තත්ත්වය සිහිය යි. සතිය හෙවත් සිහිය යනු යමක් පිළිබඳ ව කෙරෙන අපක්ෂපාතී නිරීක්ෂණයකි. විවේචන විමර්ශන නොමැති ව යමක් දැකීමට මනසේ ඇති හැකියාවට මෙය නමකි. සිහිය සිතන්නේ නැත. සිතන්නේ සිතයි."


සිත සහ සිහිය යනු එකක් නොව දෙකකි. සිතෙන් කෙරෙනුයේ සිතීමයි. සිතීම නිවැරදි ව, මැනවින් හා නො මුළාව පවත්වාගෙන යාම සිහියේ කාර්යය යි. වෙනත් විධියකින් කිවහොත් සිහිය හෙවත් සතිය යනු අපගේ සිත විපතට වැටෙන්නට නො දී ආරක්ෂා කරන්නා වූ චෛතසිකය යි.
උපමාවකින් කිවහොත් සිත ගෙයක් මෙනි. සිත ගෙයට සමාන වන්නේ ගෙයක් තුළ අනේක විධ බඩු භාණ්ඩ ඇත්තාක් මෙන් සිත තුළ ද අනේකවිධ සිතිවිලි නමැති බඩු භාණ්ඩ පවතින නිසා ය. සතිය හෙවත් සිහිය ගෙය ආරක්ෂා කරන දොරටුපාලයෙකු වැනි ය. සිතේ පහළවන අනේකවිධ සිතිවිලිවලින් සිත ආරක්ෂා කරනුයේ සිහියෙනි. දොරටුපාලයා ද අනවශ්‍ය පුද්ගලයන්ට ගෙයතුළට යන්නට නො දෙන්නාක් මෙන් සතිය හෙවත් සිහිය ද අනවශ්‍ය සිතිවිලිවලට සිත තුළට යාමට ඉඩ නො තබයි. ගෙය ඇතුළට යන්නේ කවරෙක් ද? ගෙයින් පිට වූයේ කවරෙක් ද යන්න පිළිබඳ ව දොරටුපාලයා අවධානයෙන් සිටී.
එමෙන් සිහිය ද සිතේ හැසිරීම අධීක්ෂණය කරයි. සිහියේ වේගය - සතිය හෙවත් සිහිය යනු කුමක් දැයි වචනයෙන් කීම අපහසු ය. සැබැවින් ම එය ඔබ මේ මොහොතේ භාවිත කරන සියුම් ක්‍රියාවලියකි. ඔබ යමක් ගැන සිතීමට හෝ ඒ පිළිබඳ වචන මගින් කීමට හෝ පෙර මනස තුළ ක්ෂණික ව පවතින ශුද්ධ වූ දැනීමක් ඇත. වෙනත් විධියකින් කිවහොත් යමක් දුටු විට මේ මිනිසෙකි, මේ ගසකි, මේ පැන්සලකි යනා දී වශයෙන් හඳුනා ගැනීමට පෙර මනසේ පවතින තත්වයක් ඇත. මනසේ පවතින එම විනිශ්චයන්ගෙන් තොර ශුද්ධ වූ දැනීමේ මොහොත සතිය හෙවත් සිහිය ලෙස හැඳීන්විය හැකි යි.

මනුෂ්‍ය ජීවිතය අර්ථවත් වන්නේ සිහිය නිසා ය. යමෙකුගේ සිහිය විකෘති බවට පත්ව ඇත්නම් අප ඔහු හඳුනා ගනුයේ පිස්සෙකු, උමතු වූවෙකු නැතහොත් මානසික ආබාධ සහිත වූවෙකු ලෙස ය. ධර්මයෙහි සිහිය මැනවින් නො පවත්වන පුද්ගලයන් හඳුන්වනුයේ ප්‍රමාදී අය හෙවත් පමා වූවන් වශයෙනි. එබඳු පුද්ගලයා සමාන කොට ඇත්තේ මළ මිනියකට ය. එසේ ම සිහිය ඉතා උසස් ම අයුරින් පවත්වන අය සැලකෙනුයේ උසස් ම මිනිසුන් වශයෙනි. ලෝකය යහපත් දේ භුක්ති විඳීනුයේ එබඳු මිනිසුන් විසින් ලෝකයට ප්‍රදානය කළ දේ නිසා ය. දැනුම, ආරක්ෂාව, තෘප්තිය හා සත්‍යය අසිහියෙන් කටයුතු කරන මිනිසුන් තුළ නැත. ජීවිතයට ආගමක් අවශ්‍ය වන්නේ මේ නිසා ය. අපට ආගම ධර්මය විසින් භාවනාව හඳුන්වා දී ඇත. භාවනා කිරීමේ දී වෑයම් කරනුයේ සිහියේ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමට හා එය මැනවින් පවත්වා ගැනීමට හුරු පුරුදු වීමකි.
සැබැවින් ම අප පළමුව සිහිය යනු කුමක් දැයි තේරුම් ගත යුතු ය. අරමුණු අනුව විවිධ හැඩතලවලට පත්වන මනසෙහි මුලින් ම පවතින නො මුළා වූ මානසික තත්ත්වය සිහිය යි. සතිය හෙවත් සිහිය යනු යමක් පිළිබඳ ව කෙරෙන අපක්ෂපාතී නිරීක්ෂණයකි. විවේචන විමර්ශන නොමැති ව යමක් දැකීමට මනසේ ඇති හැකියාවට මෙය නමකි. සිහිය සිතන්නේ නැත. සිතන්නේ සිතයි. සිතේ සිතීම දෙස බැලීම සිහියේ කාර්යයි. මේ නිසා භාවනාවේ දී කෙරෙනුයේ සිහිය නිසි පරිදි පවත්වා ගැනීම පිළිබඳ ක්‍රියාවලියකි. බ්‍රහ්මයානය නිර්වාණගාමී ප්‍රතිපදාව සම්බන්ධයෙන් සතියෙහි ඇති වටිනාකම කුමක් දැයි සලකා බලමු. එය බණ පොත්වල රියදුරෙකුට උපමා කොට ඇත. රියදුරෙකුට මනා සිහියක් නො මැතිව රථය අපේක්ෂිත ගමනාන්තයට ගෙන යා නො හැකි ය.
එමෙන් ම යෝගාවචරයා හෙවත් භාවනා කරන්නා නමැති රියදුරාට ද සතියෙන් තොර ව නිර්වාණය නමැති ක්ෂේමභූමියට තම රථය ගෙන යා නොහැකි ය. මෙහි යානය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එය බ්‍රහ්මයානය නමින් ද හඳුන්වා ඇත. එම බ්‍රහ්මයානය පදවන රියදුරා සතිය හෙවත් සිහිය යි. කෙතරම් වටිනා රථයක් වුව ද රියදුරා අනාරක්ෂිත නම් නිසැකව ම එම රථය ද අනාරක්ෂිත වූවකි.
එබැවින් නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි දී සතිය මූලික අවශ්‍යතාවකි. සතිපට්ඨානය (සිහිය පිහිටුවා ගැනීම) පිහිටුවා ගැනීමේ ක්‍රම හතරක් දක්වා ඇත.
කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය. චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය යනුවෙනි. මෙම ක්‍රම හතරෙන් සිහිය දියුණු කළ හැකි ආකාරය බුදු දහමෙහි ප්‍රත්‍යක්ෂ අත්දැකීම් වශයෙන් ඉතා මැනවින් හා දීර්ඝ ලෙස පෙන්වා දී ඇත. අපට ඉතා හොඳ භාවනා ආචාර්යවරයෙකු වෙත යා හැකි නම්, එහි දී ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ලෙස එය වැඩිය හැකි නම් අපමණ වූ ලෞකික ප්‍රතිලාභයන්ට අමතර ව නිර්වාණය දක්වා වූ උත්කෘෂ්ට ප්‍රතිඵල ලැබිය හැකි ය.
සතිය බොජ්ඣංග ධර්මයක් සේ වැඩීමෙන් ලැබෙන උසස් ම ඵලය නම් මෙලොව දී ම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබීම යි. එසේ නොමැති වුවහොත් මෙම ආත්මයේ දී ම උපාදාන සහිත වූයේ, අනාගාමී ඵලය හෝ ලබාගත හැකි බව සඳහන් වේ. මෙම තත්වයන්ට පත්වීමට පෙර ලැබෙන ලෞකික ප්‍රතිලාභ රාශියක් වේ.
මිනිස් ඇස ඉක්ම වූ පිරිසුදු දිව්‍යමය ඇසකින් ලෝකයාගේ තතු දැන ගැනීමට හැකි වීම ඉන් එකකි. ඒ අනුව ඔහුට සත්වයාගේ සුගති, දුගති, රූමත් වීම්, විරූපවීම් ආදී කර්මානුරූපව මිනිසා ලබන අත්දැකීම දැක ගැනීමට හැකියාව ලබයි. එම තත්වයට පත්වීමට පෙර ඔහු හෝ ඇය පෙර සිය දහස් ගණන් ආත්මවල විසූ ආකාරය දැක ගැනීමේ ශක්තිය හෙවත් පූර්වේනිවාසානුස්මෘති ඥානය ලබා ගැනීම ද තවත් ඵලයකි.
මෙම තත්ත්වයට පෙර ලෞකික අත්දැකීමක් වශයෙන් උසස් ක්‍රියාකාරකම් කිරීමේ හැකියාවක් සතිය වැඩීමෙන් ලැබේ. එනම් එම පුද්ගලයාට අහසින් යාම, දියමත යාම, විවිධ වේෂයන්ගෙන් පෙනී සිටිය හැකි වීම, ලෝකයා තම වසඟයෙහි පවත්වා ගැනීමට හැකිවීම යනා දී ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ ශක්‍යතාවක් ලබයි.
ලෞකික පුද්ගලයෙකු වශයෙන් වුව ද එම හැකියාවන් ලබා ගැනීමේ පූර්ව අවශ්‍යතාවක් වන චතුර්ථ ධ්‍යානය ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම සතිය ප්‍රගුණ කිරීමෙන් ලැබෙන තවත් ප්‍රතිලාභයකි.
මෙයට අමතර ව ලොව ජීවත්වන සාමාන්‍ය පුද්ගලයෙකු වශයෙන් සීතලට හා ඌෂ්ණයට ඔරොත්තු දිය හැකි, සා පවස් දරාගත හැකි ශාරීරික හා මානසික ශක්තියක් ලබාගැනීමට හැකිවීම, මැසි මදුරු ආදී සතුන්ගෙන් වන හානිවලට භාජනය නොවීම හා එබඳු හිංසා මගින් සිදුවන මාරාන්තික ව්‍යසනවලට පත් නොවීම ද, මානසික කනස්සල්ලකින් තොරව ජීවත්වීමට ලැබීම ද යනා දී ප්‍රතිලාභ රාශියකි. බිහිසුණු සාංසාරික අත්දැකීම්වල දී සතිය වඩන්නාහට කිසිදු කම්පාවක් නොමැති ව විසිය හැකි වන අතර, උපන් භය සමතික්‍රමණය කොට සිටීමේ හැකියාවක් ද ඇත.
මේ අනුව ලෞකික සත්වයෙකු වශයෙන් විශාල ප්‍රතිලාභ රාශියක අත්දැකීම් සහිත ව ජීවත්වීමේ වාසනාව සතිය වඩන්නාට හිමිවන අතර ධ්‍යානලාභී පෞරුෂේය උත්තුංග මනුෂ්‍යයෙකු වශයෙන් ද විස්මිත ක්‍රියාකාරකම් කරමින් ජීවත් වීමට හැකිවේ. අ
වසානයේ දී ලෝකය පිළිබඳ යථාර්ථාවබෝධයෙන් නිර්වාණය පසක් කළ හැකි ය. ඉහත දැක්වූ පරිදි රහත් විය නො හැකි වුවහොත් උපාදාන සහිත බව නිසා අනාගාමී තත්වයටවත් පත්විය හැකි ය. මේවා සියල්ල සතිය වැඩීමෙන් ලැබෙන ප්‍රතිලාභයෝ ය. එහෙත් සති සම්බොජ්ඣංග ධර්මයක් වශයෙන් වැඩීම බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම දක්වා වන විවිධ මාර්ග ඵල ප්‍රතිලාභය ම අරමුණු කොට ඇත්තේ ය.
එබැවින් සතිය භාවනාවක් ලෙස වැඩීමෙන් ලැබෙන ලෞකික අලෞකික ආනිසංශ පිළිබඳ සවිඥානික විය යුතු ය. සතියෙන් අප කරනුයේ කණ්ණාඩියක් ඉදිරියේ අප කරන කාර්යයට සමාන වූවකි. එනම් සිහියෙන් අපි අප ම විනිවිද දැකීමකි.

සති භාවනාවෙන් අප කවුරුන් දැයි අපට හඳුනාගත හැකි වන අතර එය අපගේ දියුණුවට කරුණකි.





කැලණිය විශ්වවිද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ ආචාර්ය, 
රාජකීය පණ්ඩිත 
මහාචාර්ය 
මකුරුප්පේ ධම්මානන්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 05 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment