Labels

Friday, November 17, 2017

පළමු හමුවීම සේ පිළිගනිමු අවසන් හමුවීම සේ සමුගනිමු

තමා හමුවට පැමිණි අය සමඟ සිත් ගන්නා සුලු භාෂණයක නිරත වූ පුද්ගලයන් අතර බුදුරදුන්ට සමාන කෙනෙකු ලෝක ඉතිහාසයෙහි වාසය කොට නැත. ශ්‍රාවකයන් ලොමු දැහැගන්නා තරම් විස්මිත කතා බහක් කිරීමේ හැකියාවක් උන්වහන්සේ තුළ පැවතුණි.

මහා සීහනාද සූත්‍රය නම් සූත්‍රය, ලොමහංසපරියායසුත්ත එනම් ලොම් දැහැගන්වන සූත්‍රය, නමින් හඳුන්වා තිබීම මෙයට නිදසුනකි. තව ද බුදුබණ ඇසූ, අය ‘වදතංවරො’ කතා කරන්නන් අතර ශ්‍රේෂ්ඨ වූ, මඤ්ජුස්සරො, මිහිරි හඩ ඇති, කරවීකභාණී කෝකිලයෙකුට බඳු මධුර කථා ඇති “පදක” භාෂාව දන්නා වූ යනා දී විශේෂණ නාම බුද්ධ යන පදයට විශේෂණ වශයෙන් යොදා තිබීමෙන් ඒ බව පැහැදිලි ය. බොහෝ සූත්‍රවල දක්නා ලැබෙන පරිදි බුදුන් වහන්සේ තමන් හමු වීමට පැමිණි කවුරුන් සමග වුව ද ප්‍රියශීලී පිළිසඳරක යෙදී ඇත. මෙබඳු කතාබහකින් දැහැමි දේ ගැන කරන ලද සාකච්ඡාවට සවන් දුන් බොහෝ ශ්‍රාවකයෝ ඉතා මැනවි ස්වාමීනි,
ඉතා  මැනවි ස්වාමීනියි, සිය අපමණ සතුට පළ කළහ. නිසරු කථාවෙන් ශ්‍රාවකයන් සමග කාලය නො ගෙවූ බුදුන් වහන්සේ දැහැමි කථාවෙන් ඔවුන් ප්‍රමෝදයට පත් කළ බව සූත්‍රවල සඳහන් වේ. අර්ථයෙන් මෙන්ම වාග් චාතුර්යයෙන් ද යුක්ත වූ එබඳු දේශනා කවර ලබ්ධිකයකු විසින් වුව ද විස්මයට පත් කළ බවට සැක නැත. මජ්ක්‍ධිම නිකායේ එක් සූත්‍රයක් අසා ශ්‍රාවකයෝ එය මී පිඬක් වැනි මෙන් රසවත් යැයි කීහ. එහෙයින් ම එම සූත්‍රය ‘මධුපිණ්ඩික’ සූත්‍රය යැයි නම් කොට ඇත. අප කතා බහ කිරීමට පුරුදු විය යුතු භාෂාවේ ලක්ෂණ හදුනා ගැනීමට, බුදුන් වහන්සේ භාවිත කළ භාෂාවේ ලක්ෂණ කිහිපයක් හඳුනා ගැනීම ප්‍රයෝජනවත් ය. ‘පපඤ්චසූදනී’ අටුවාවෙහි බුදුරදුන් ව්‍යවහාර කළ භාෂාවේ අංග අටක් දක්වා ඇත. ඒ අනුව උන්වහන්සේ කතා බහ කළ භාෂාව පැහැදිලි ය . මිහිරි ය. පහසුවෙන් අවබෝධ කොට ගත හැකි ය .

නොකඩවා ඇසීමට සිතෙන සුළු ය . නො විසිරුණු බසකි. සම්පිණ්ඩිත ය . ගැඔුරු ය , ප්‍රතිරාව නගන සුළු ය . මෙබඳු කතා බහක නිරතවීමට හැකිනම් එය සුවිශේෂී චරිත ලක්ෂණයකින් හෙබි පුද්ගලයෙකු සතු ගුණාංගයක් බව අමුතුවෙන් කිවයුතු නැත. බුදුන් වහන්සේ අපේක්ෂා කළ පරිදි කෙනෙකු අප හමුවීමට පැමිණි විට සිනහමුසු මුහුණින් ඔහු පිළිගත යුතු ය. එසේ ම පැමිණි විගස මුලින් ම තමාගේ හෝ පැමිණි තැනැත්තාගේ සංකීර්ණ ජීවිත ගැටළු ගැන අප කතාබහට නොපිවිසිය යුතු ය. මුලින් ම කළයුතු වන්නේ සතුටු සාමීචි කථාවක නිරතවීම යි. ඔහුගේ හෝ ඇයගේ සැප දුක් විමසමින් ජීවිතයේ සොඳුරු තැන් ගැන සාකච්ඡාවක නිරතවීම මෙහි දී සිදුවේ. එය සැබැවින් ම මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකි. මුසාවාදා - පිසුණාවාචා - ඵරුසාවාචා හා සම්පප්ඵලාප යනාදියෙන් පරිබාහිරව කියන්නාගේ සහ අසන්නාගේ ආත්ම ගරුත්වයට හානි නොවන දේ පමණක් කතා කිරීමට වග බලා ගත යුතු ය. එවිට අපටත් නො දැනෙන පරිදි කතා බහේ ස්වරූපය අර්ථවත් මගකට යොමු වේ.
එහි ස්වභාවය බුද්ධ දේශනාවේ දැක්වෙන පරිදි මෙසේ ය. එනම් එම සාකච්ඡාව මිහිරි ය , කන්කළු ය , ප්‍රේමනීය ය , හෘදයග්‍රාහී හෙවත් හදවත දක්වා විනිවිද යන සුළු ය. ශිෂ්ට ය. බොහෝ ජනයාගේ සිත් ඇද බැඳගන්නා සුළු ය, බොහෝ ජනයාට ප්‍රිය මනාප ද වේ. බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන් විසින් ද මෙබඳු ප්‍රියශීලි බසක් කථා කරනු දැකීමට ප්‍රිය කළහ. එබැවින් ම ඇතැම් භික්ෂූන්ට අග තනතුරු ද පිරිනැමූහ. මිහිරි වදන් ඇති භික්ෂූන් අතර බක්කුල තෙරුන් ද, විසිතුරු කථා ඇත්තන් අතර කුමාරකාශ්‍යප තෙරුන් ද යනා දී වශයෙන් අගතැන් පැමිණවීමෙන් ඒ බැව් තහවුරු වේ. අධ්‍යාත්මික වර්ධනයක් මෙන් ම මනුෂ්‍යයෙකු වශයෙන් මනා පෞරුෂයක් මෙබඳු භාෂාවක් හසුරුවන ගිහි පැවිදි කවරෙකු තුළින් වුව ද විද්‍යමාන වනු නො අනුමාන ය. තවත් කෙනෙකු සමඟ කතා බස් කිරීමේ දී කිසිදු විටක තමාගේ නිලතල ආදියෙන් උදම් වීම නොකළ යුත්තකි.
කතාව නීරස හා අර්ථශූන්‍ය වීමට හා එහි වටිනාකම පිරිහීමට එය බලවත් ලෙස බලපාන බැවිනි. කෙනෙකු හමුවූ විට ජීවිතයේ පළමු වතාවට හමුවූවාක් මෙන් ඔහු සාදරයෙන් පිළිගැනීමත්, කෙනෙකු ඔබෙන් සමුගන්නාවිට ජීවිතයේ අවසන් වතාවට සමුගන්නාක් මෙන් සමුගැනීමට ද මනස සකසා ගැනීමට පුරුදු වන්න. ජීවිතයක් සාර්ථක වීමට නම් සෑම මනුෂ්‍යයෙකුටම ආගමට ධර්මයට දක්වන නැමියාවක් සහිත අධ්‍යාත්මික චර්යාවක් ද පැවතිය යුතු ය. ඔබ දන්නා පරිදි දිනපතා ජීවිතයේ දී අප කතා කරන බොහෝ දේ නිසරු ය. ඒවායෙහි අධ්‍යාත්මය සංසිඳවන කිසිවක් නැත. එබැවින් බුදුන් වහන්සේ අධ්‍යාත්මික සංවර්ධනයක් සොයමින් කටයුතු කරන ශ්‍රාවකයන්ට රාජකථා - චොරකථා - මහාමච්චකථා - සෙනාකථා - භයකථා - යුද්ධකථා - අන්නකථා - ගාමකථා යනාදී දෙතිසක් කථාවලින් වැළකී සිටින ලෙස උපදෙස් දුන්හ. උන්වහන්සේ එබඳු කථා හැඳීන්වූයේ තිරශ්චීන කථා යනුවෙනි. මේවා තිරශ්චීන කථා ලෙස හදින්වෙනුයේ නිවනට හරස් ව සිටිනා කථා යන අරුතෙනි. කෙසේ වෙතත් මෙබඳු කථාවලින් අපගේ අධ්‍යාත්මය සංසිඳවන හා පිරිසුදු කරවන යමක් අපට හමු නොවේ. ඒ වෙනුවට අල්පේච්ඡතා බව, ලද දෙයින් සතුටුවීම, උතුම් විවෙකය, සමූහයෙහි නො ඇලීම, වීර්යාරම්භය, ශීලය, චිත්තෙකග්‍රතාවය, විමුක්තිය, හා විමුක්තිඥාන දර්ශනය පිළිබඳව කථා කළ හැකි නම් එය අතිශයින් ඇගයුමට ලක් කොට ඇත. පිරිස් වශයෙන් එකතු වූ විට නිසරු කථාවලින් වැළකී ධර්මානුකූල යමක් ගැන කථා කරන ලෙසත්, එසේ කළ නොහැකි නම් උතුම් නිහඬ බව සුරකින ලෙසත් බුදුන් වහන්සේ අවවාද කළහ. තවද “අනර්ථවත් වචන දහසක් කීමට වඩා අර්ථවත් වූ එක පදයක් කීම ශ්‍රේෂ්ඨ ය.” යනුවෙන් බුදුන් වහන්සේ වදාළහ. ලෞකික මිනිසෙකු වශයෙන් සංගීතය, නාට්‍ය, චිත්‍රපට යනා දී කවරාකාර වූ හෝ කලා මාධ්‍යයකින් වින්දනයක් ලැබීමේ වරදක් නැත. එහෙත් එබඳු තැන්වල දී පවා අර්ථාන්විත ව පැවසෙන යමකින් වින්දනයක් ලබා ගැනීමට පුරුදු වීම වැදගත් ය. අනෙක් අතින් අප භාවිත කරන බසක වචන පිළිබඳ කිසිදු දිනෙක දැඩිව ආදානග්‍රාහී නොවිය යුතු ය.
කුමක් නිසාද යත් මේවා හුදු පැණවීම් මිස සත්‍යය නොවන බැවිනි. එබැවින් ඇලීමෙන්, බැඳීමෙන් හා ගැටීමෙන් භාෂාවක් පරිහරණය කළයුතු නොවේ. බැළලිය පැටවාගේ බෙල්ලෙන් අල්වාගෙන දුරට පනින අවස්ථා ඔබ දැක ඇත. ඇය පැටවාගේ බෙල්ල දැඩිසේ තදින් අල්වා ගතහොත් ගෙල තුවාල වේ. ලිහිල් ව අල්වා ගතහොත් පැටවා වැටී අනතුරු වේ. මේ නිසා ඇය තම පැටවා අල්වා ගන්නේ මධ්‍යස්ථ ආකාරයකිනි. භාෂාව ද ගත යුත්තේ එමෙනි.

මේ නිසා අප කතා කරන දේ පිළිබඳ දැනුවත්කමක් අප තුළ තිබිය යුතු ය. වෙනත් අය සමඟ කතා බහෙන් කල් යැවීම කළ යුත්තකි. සමාජ සබඳතා තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රබලතම සාධකයක් වන නිසා ය. එහි දී එකී භාෂාවෙහි සදාචාරාත්මක බව, අර්ථවත් බව හා ඵලදායක බව කෙරෙහි ද සැලකිලිමත් බව පිළිබඳ සැලකිල්ලක් නොදක්වන්නේ නම් එය ඔබගේ අඩුපාඩුවකි. එබැවින් අප කතා කළයුතු දේ පිළිබඳ ඔබගේ දැක්ම තියුණු කරගන්න.

කැලණිය විශ්වවිද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ ආචාර්ය, 
රාජකීය පණ්ඩිත 
මහාචාර්ය 
මකුරුප්පේ ධම්මානන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ‍‍නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment