Labels

Thursday, November 16, 2017

සදහම් දැනුම

ප්‍රශ්නය - සසර සැරිසරන්නෙකුට අපූර්වතම දේශනාවක් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
සොචති පුත්තේහි පුත්තිමා -ගොමිකො ගොහි තථෙව සොචති
උපධීහි නරස්ස සොචතා - නහි සො සොචති යො නිරුධති
පුතුන් ඇති හේ තම පුතුන් (දරුවන්) හේතුකොටගෙන ශෝක කෙරෙයි. ගව හිමියා ගවයන් හේතුකොටගෙන ම එසේම ශෝක කෙරෙයි. මිනිසාට උපධීහුම ශෝකය සඳහා ම හේතු වන්නේ ය. යමෙක් උපධී (කෙලෙස්) රහිත වූයේ ද හේ ශෝක නො කෙරෙයි. මෙම දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් කවුරුන් උදෙසා දේශනා කරන ලද්දක් ද?


පිළිතුර – 
(සු.නි. උරග වග්ග ධනිය සූත්‍ර) භෞතික සම්පතින් අහංකාරව සිටි ධනිය ගෝපාලක බුදුරදුන්ට තම සම්පත් පිළිබඳව උද්දාමයෙන් කථාකළ අවස්ථාවෙහිදී ඉහත සඳහන් පිළිතුර දේශනා කරන ලදී.



ප්‍රශ්නය –
එක් සුවිශේෂී අවස්ථාවක දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි අයෙකු විසින් අසන ලද පැනයට උන්වහන්සේ දුන් පිළිතුරුයි මේ.
සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මො සුචිණ්ණො සුඛමාවහාති
සච්චං හවෙ සාධුතරං රසානං
පඤ්ඤා ජීවිං ජිවිතමාහු සෙට්ඨං
මෙලොව පුද්ගලයාට ශ්‍රේෂ්ඨ ධනය ශ්‍රද්ධාව යි. දාන, සීල, භාවනා සද්ධර්මය මනාව පුරුදු පුහුණු කරන, ලද්දේ සදා සුව එළවයි. සත්‍යය සදාකල්හි ‘මියුරස’ වේ. නැණවත් ජීවිත පැවැත්ම ශ්‍රේෂ්ඨම වේ.
භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම පැන ඇසූ තැනැත්තා කවු ද?

පිළිතුර –
අලව්යක් භාග්‍යවතුන් වහන්සේගෙන්
කිංසුධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසු සුචිණ්ණො සුඛ මාවහාති
කිංසු හවෙ සාධුතරං රසානං
කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨං
මිනිසාට අයත් විය යුතු ශ්‍රේෂ්ඨ ධනය කුමක් ද? සැපය සඳහා පුහුණු කළ යුත්තේ කුමක් ද? රස අතරෙන් මධුර රසය කුමක් ද? ජීවිත පැවැත්ම ශ්‍රේෂ්ඨ යැයි කිවහැක්කේ කුමන පැවැත්මක් අනුව ද? යනුවෙන් අසන ලද පැනයන්ට දුන් පිළිතුරු ය.


ප්‍රශ්නය –
පුබ්බේ නිවාසානුස්සති ඤාණය යනු කුමක්ද? පැහැදිලි කරන්න.

පිළිතුර -
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ‘බුද්ධත්වය සාක්ෂාත් කරගත් රාත්‍රී යාමයෙහි දී උන්වහන්සේ සිය පූර්ව ජන්මයන් දැන ගැනීමෙහි ඤාණය වූ පුබ්බේ නිවාසානුස්සති ඤාණය වැඩූහ.



ප්‍රශ්නය –
අකුසල චෛතසිකවලින් එකකි. අනොත්තප්ප චෛතසිකය, පැහැදිලි කරන්න.

පිළිතුර –
කාය – වාග් දුශ්චරිතාදීන්ට බිය නොවීම හෙවත් තැති ගැන්මක් ඇති නොවීම ලක්ෂණ කොට ඇති චෛතසිකය අනොත්තප්ප චෛතසිකය යි. අරමුණු ස්වභාවය වරදවා ගැනීමෙහි දී පිළිකුල් නොකරන අහිරිකය මෙන් මෙම අනොත්තප්ප චෛතසිකය ද අරමුණු ස්වභාවය හඳුනා ගැනීමෙහි දී බියක් තැතිගැනීමක් ඇති නොවන්නේ ය. අහිරික – අනොත්තප්ප යන මේ චෛතසික දෙක සත්වයන් අකුසලයෙහි යොදවන බලශක්ති දෙකකි. මේ ශක්ති දෙකින් තොරව අකුසල් කළ නොහැකි ය.



ප්‍රශ්නය –
බුදු දහමට අනුව කර්මයෙහි එක් ප්‍රභේදයක් මෙම ගාථා ධර්මයෙහි ඇතුලත්ව ඇත. පැහැදිලි කරන්න.
කම්මස්ස කාරකො නත්ථි - විපාකස්සච වේදකො
සුද්ධ ධම්මා පවත්තන්ති - එවෙතං සම්ම දස්සනං

පිළිතුර –
කර්මය කාරක නමින් වෙන්කොට හඳුනාගත හැකි තැනැත්තෙක් නැත. විපාකය විඳින පුද්ගලයෙක් නැත. සුද්ධ වූ ස්කන්ධ ධර්මයෝ පමණක් පවත්නාහ. මෙසේ දක්නා විදසුන් නුවණම යහපත් දැකීම වෙයි.



ප්‍රශ්නය –
තෘතීය මහාශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත් වූ සංගායනාව සුවිශේෂ නාමයකින් හඳුන්වා තිබේ. ඒ නාමය කුමක්ද? එයට හේතුපාදක වූ කරුණු මොනවාද?

පිළිතුර –
ප්‍රථම ධර්ම සංගායනාව පන්සියයක් මහ රහතන් වහන්සේ විසින් කරන ලද හෙයින් ‘පංච සතිකා’ නම් විය. මහාකාශ්‍යප මහ රහතන්වහන්සේ ප්‍රධාන මහතෙරවරුන් විසින්ම කරන ලද බැවින් ‘ථෙරිකා’ ථෙරවාද ස්ථවිරවාද යන නම්වලින්ද හැඳින්වේ.


ප්‍රශ්නය -
මේ අංග නවය නවාංග ශාස්තෘ ශාසනය නම් වේ. ඒ මොනවාද?

පිළිතුර –
තථාගතයන් වහන්සේ විසින් නොයෙක් තැන්හි දේශනා කොට වදාළ ධර්ම විනය බුද්ධකාලීන යුගයෙහිදී ම
1. සුත්ත,

2. ගෙය්‍ය

3. ව්‍යොකරණ

 4. ගාථා

5. උදාන,

6. ඉතිවුත්තක

7. ජාතක,

8. අභ්භූතධම්ම,

9. වෙදල්ල

යනුවෙන් අංග නමයකට බෙදා වෙන්කරන ලදී.



ප්‍රශ්නය –
යථාහි අංග රාසිම්හා - හොති සද්දො රථෙ ඉති
එවං ඛන්ධෙසු සත්තෙසු -හොති සත්තොති සම්මුති
අවයව සමූහය හේතුකොට ගෙන යම් සේ රථය යන ශබ්දයක් වේද? එසේම ස්කන්ධ පංචකයක් ඇති කල්හි සත්වායන ලෝක ව්‍යවහාරය ඇති වේ. ‘(ස.නි. වජිරසූත්‍ර 1246) සේ දේශනා පාඨය අනුව ‘සත්ත්වයා, පුද්ගලයා, මම යන සංකල්පයන් විවරණ කරන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

පිළිතුර -
සත්ත්වයා යනු සංස්කාර පුංජයක් බවත් ඒ සංස්කාර පුංජය ස්කන්ධ පංචකයක් බවත් මෙම ගාථා පාඨයෙන් පැහැදිලි වෙයි. ස්කන්ධ (කොටස් ගොඩ) පංචකයේ සමවායේ අඛණ්ඩ ප්‍රවෘත්තියෙහි සත්ත්වයා පුද්ගලයා මම යන ප්‍රඥප්ති ඇති වෙයි. බුදු දහමට අනුව සත්ත්වයා පුද්ගලයා මා වෙනස්වන සුළු (ස්ථාවරත්වයක් නැති) කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායක් පමණකි. මේ සියල්ල කොටස් පහකට බෙදා දැක්විය හැකි ය.



ප්‍රශ්නය -
දෙවියන්ට පවා පි‍්‍රය වූ නිසා ‘දෙවන පිය’ ‘පියදාස’ යන සම්මානනීය අන්වර්ථ නමින් ප්‍රකට වූ රජවරුන් දෙදෙනා කුමන නාමයකින් හඳුන්වනු ලැබේ ද?

පිළිතුර –
දඹදිව රාජ්‍ය විචාළ ධර්මාශෝක මහරජතුමා සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විචාළ දෙවනපෑතිස් මහරජතුමා ඉහත නම්වලින් හඳුන්වන ලදී.



ප්‍රශ්නය -
සැවැත්නුවර ආනන්ද බෝධිය නමින් සුවිශේෂී වූ පූජනීය වස්තුවක් ගැන සඳහන් වෙයි. ඒ කුමක් ගැන ද?

පිළිතුර –
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටි අවස්ථාවල දී උන්වහන්සේ බැහැදැකීම සඳහා සැදැහැවතුන්ට වැඳ පුදා ගැනීමට ආනන්ද හිමියන් විසින් රෝපණය කරන ලද බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය නමින් හැඳින් වෙයි.



ප්‍රශ්නය –
ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ ‘ධම්ම සේනාපති” නමින් ප්‍රකට වූ ශ්‍රාවකයාණන් වහන්සේ කවුද?

පිළිතුර -
සාරි නම් බැමිණීයගේ පුත් උපතිස්ස ‘සාරිපුත්ත’ හෙවත් සැරියුත් නම් විය. උන්වහන්සේ පැවිදිව පසළොස් දිනක් ගිය දා තම බෑණනුවන් වූ දිඝනඛ පිරිවැජියාට බුදුන් වහන්සේ දෙසූ ‘වෙදානා පරිග්ගහ’ සූත්‍රය අසා රහත් වූහ. බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ තෙරුන් නුවණැතියන් කෙරෙහි තමන් වහන්සේට දෙවැනිකොට අගතැන්පත් කොට උන්වහන්සේ දකුණත් සවු බවට ද පත් කළහ.



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment