“චීවරය” ලොව ඇති පැරැණිතම නිල ඇඳුම ලෙස දැක්විය හැක. එය ශ්‍රමණ සම්ප්‍රදායෙහි ආරම්භයට දිව යන්නකි. සාමාන්‍ය ජනතාවගෙන් වෙන්ව හඳුනාගත හැකිවන ලෙස සාටකයක්, උඩුකය ආවරණයක් භාවිතයට පුරුදුව ඇත. මුල් කාලවල ඒ සඳහා කොළ අතු, ගස්වල පොතු වර්ග, මළ මිනී, රෙදිපිළි ආදිය යොදාගන්නට ඇත. එය උඩුකය ආවරණයක් ලෙස පරිහරණය කර ඇති බව ආගමික වාර්තාවන්හි සඳහන් වෙයි. ආගමික ක්‍රියාවන්හි හා යාතු කර්මවලදී සාමාන්‍ය ජනයා ද උඩුකය ආවරණ වස්ත්‍රයක් ඇඳ ඇති අතර සිල්සමාදන්වීමේ දී පොරවනු ලබන උතුරු සලුව එහි අවශේෂයක් විය හැක. සිදුහත් බෝසතාණන් වහන්සේ මහා බ්‍රහ්මයා පිරිනැමූ තවුස් පිරිකරක් පැළඳ අභිෂ්ක්‍රමණය කළ පුවත ප්‍රකට ය.
බුදු සසුනෙහි සමාරම්භයත් සමඟම පෙර පැවැති සාටකය භික්ෂූන් වහන්සේට ම අනන්‍ය වූවක් ලෙස සිවුරක් බවට පත්කරගෙන පරිහරණයට ගෙන ඇත. එය බෞද්ධ භික්ෂූන්ට සුවිශේෂ වූවක් වූයේ මගධ ක්ෂේත්‍රයෙහි හැඩය ඊට එක් කිරීමත් සමඟ ය. කාලයත් සමඟ භික්ෂු ජීවිතයට අදාළ වූ පිරිකර අටක් අට පිරිකර නමින් පැමිණියේ ය. දෙපොට සිවුර, තනිපොට සිවුර, අඳන සිවුර, පටිය, පාත්‍රය, දැළි පිහිය, පෙරහන, ඉදිකටු නූල් යනාදීය ඊට අයත් ය. සසර අටපිරිකර පූජාකර තිබීම, ඒහි භික්ෂු මහණ උපසම්පදාව ලැබීමට හේතුවක් ලෙස දක්වා තිබේ. මෙම අට පිරිකර පැවිදි ජීවිතයෙහි අපිස් බව හොඳින් කියා පායි.
ගිහි පැවිදි සම්බන්ධතාවයෙහි වටිනාකම හොඳින් ප්‍රකටවන අවස්ථාවක් චීවර පූජාවෙන් ප්‍රකට වෙයි. භික්ෂූන්වහන්සේලා උදෙසා සිව්පසය පූජා කිරීම දායකයන් සතු කාර්යයක් බව ඈත අතීතයේ පටන් සමාජ සම්මතව පැවතුණි. ඒ අතරින් තුන් සිවුරු පූජාකිරීම මහත් කුසලයක් ලෙස පිළිගැනිණි. එහි වටිනාකම කොතෙක්ද යත් සිවුරු පූජා කිරීම සඳහා වෙන ම කාලයක් චීවර මාසය යනුවෙන් නම්කර තිබීමෙන් පෙනෙයි. කඨින පින්කම් කාලය ලෙස ගැනෙන එම කාලය වප් පුර පසළොස්වක දිනෙන් ආරම්භ වී ඉල් පුරපසළොස්වක දක්වා පවතී.
ථෙරවාදී බෞද්ධ රටවල කඨින පූජෝත්සවය සඳහා විශේෂ සැලකිල්ලක් දක්වයි. මේ සඳහා බෞද්ධයන් පෙළ ගැසෙන්නේ ඇසළ පුර පසළොස්වක පොහොය දින සිට ය. එදින විහාරස්ථානවලට රැස්වන දායක දායිකාවෝ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට වෙන වෙනම දැහැත් ගොටු පිරිනමා ආරාධනාවක් කරති. දායක පිරිස නියෝජනය කරමින් එක් අයෙකු ස්වාමීනි, අප විහාරස්ථානයෙහි වස් තුන් මාසය නැතහොත් සාර මාසය අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වස් වසන සේක්වා, එම කාල සීමාව තුළ සිව්පසයෙන් ඇප උපස්ථාන කිරීමට අපි බැඳී සිටිමු යනුවෙන් ප්‍රකාශ කෙරෙයි. භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දතාවයෙන් එය පිළිගනිති. එදා සිටි දායක පිරිසත්, භික්ෂූන්වහන්සේලාත් අතර ඉතා සමීප සබඳතාවක් ගොඩනැගී නිතර පින් දහම් කටයුතුවල නිරත වෙති. භික්ෂූන් වහන්සේත් බාහිර ගමන් බිමන් වලින් වැළකී විහාරස්ථානයෙහි රැඳී සිටිමින් මහජනයාට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරති.
කඨින චීවර පූජාව මහජනයා පූජා කරන්නේ වස් වස්වාගත් භික්ෂූන් වහන්සේට පෞද්ගලිකව නොවේ. දායකයන් එය පූජා කළ යුත්තේ මහා සංඝ රත්නයටය. මහා සංඝයා විනය සීමාවට රැස්ව එම විහාරස්ථානයෙහි වස් විසූ කඨිනය ඇතිරීමට ප්‍රතිබල සම්පන්න ස්වාමීන් වහන්සේ නමකට පවරනු ලබයි. එය කෙරෙන්නේ විනය කර්මයකිනි. එම කාර්ය සඳහා අවම වශයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස්නමකට වැඩියෙන් සිටිය යුතු ය.
කඨින වස්ත්‍රය ලද භික්ෂුව එම දිනය තුළ පහත සඳහන් කටයුතු ද ඉටු කළ යුතු ය.
පස්කඩයකට වඩා කඩකපා සිවුරක් ලෙස මැසීම, පඬු පෙවීම, මහා සංඝයා විසින් පවරා දෙන ලද අලුත් සිවුර අධිෂ්ඨාන කර ගැනීම, මහා සංඝයා වෙත වෙන ම ගොස් කඨිනානිශංස අනුමෝදන් කිරීම ආදිය යයි.
ඇතැම් විහාරස්ථානවල චීවරය ලද භික්ෂූන් වහන්සේ එම සිවුර පොරවාගෙන මහජනයාට ධර්ම දේශනා කරන සිරිතක් ද ඇත. එය බුද්ධ නියමයක් නොවුණත් මහජනයාගේ ශ්‍රද්ධාව වර්ධනයට එය හේතු වන්නකි. කඨින චීවරය පූජාවට සමගාමී දානමය පින්කමක් ද පැවැත්වෙයි. කප්රුක් පූජාව, කඨින පෙරහර එහි ජනපි‍්‍රය අංග වේ.
කඨින චීවර පූජාව ලබන භික්ෂුවට වප් පුර පසළොස්වක පොහෝ දින සිට මැදින් පොහොය දින දක්වා පස් මසක කාලය විශේෂ ආනිශංස පහක් ගෙන දෙන බව දහමෙහි සඳහන් ය.
අනාමන්තචාර හෙවත් අධිෂ්ඨාන කළ යම් සිවුරක් අත්පසින් බැහැරව තිබීම ඇවැත්නි මිදීම
ඝන භොජනං හෙවත් (අධිෂ්ඨාන කරගත් තුන්සිවුරට අමතර ව සිවුරු තබා ගැනීමෙන් වන ඇවතින් මිදීම.
යොච තත්ථ චීවරුප්පාදෙ සො නෙසං භවිස්සති හෙවත් මෙම පස් මාසය තුළ විහාරස්ථානයට ලැබෙන සිවුරු පිරිකරවල හිමිකාරීත්වය කඨිනය ලද භික්ෂුවට හිමිවීම යනුවෙනි.
කඨින චීවර පූජා පින්කම කරන්නාවූ දායක පින්වතුන්ටත් විශේෂ ආනිශංස හිමි වෙයි. උපනූපන් ආත්මභාවවල මනුෂ්‍ය සම්පත්, දිව්‍ය සම්පත්, පරිවාර සම්පත්, උපභෝග පරිභෝග සම්පත්, ගරු බුහුමන්, ආරක්ෂා සම්පත්, රජසිටු සම්පත් ලබාගැනීමට හැකි වෙයි. මනුෂ්‍යයකුට ලද හැකි චක්‍රවර්ති සම්පත්තිය ද මේ මඟින් ලබාගත හැකි බව නාගිතාපදානය පෙන්වා දෙයි. කිසිදිනක අපාගාමී නොවීමේ විශේෂ ආනිශංසයක් මෙයට ඇතුළත් ය. දිව්‍ය සම්පත් මෙන් ම බ්‍රහ්ම සම්පත් සාධනයට හේතුවන ධ්‍යාන ලබා ගැනීමටත් මෙය උදව්වන බව පෙනේ. එමෙන් ම කඨින චීවර පූජා පින්කම නිවන් සම්පත් උදාකරගැනීමට ද ඉවහල් වන්නකි.
හාපිටිගම, කල්එළිය ජයසුමනාරාම
මූල මහා විහාරයේ,
මක්කානිගොඩ අස්සජි හිමි
මූල මහා විහාරයේ,
මක්කානිගොඩ අස්සජි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඉල් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment