Labels

Wednesday, November 22, 2017

අත්වැලක් නොමැතිව ඉහළට එන්න අධිෂ්ඨාන කරගන්න


යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චා සෝ නපය මජ්ජති සෝ ඉමං ලෝකං පබාසේති අබ්භා මුත්තෝච චන්දිමා 
මේ බුදුපියාණන් වහන්සේ වදාළ ජීවිතයක පසුතැවීමයි. අතෘප්තිකර භාවයයි. ජීවිතයක් තුළ විවිධ හේතුත්පාදක නිසාවෙන් අතෘප්තිය ඇති වෙන්නට පුළුවන්.
ඇතැම් විට තමන්ගෙ අපේක්ෂාවන් බලාපොරොත්තු තමන්ටම සපල කරගත නොහැකි නම් පළිගැනීමට හිතෙනවා.
පළිගැනීමේ සිතිවිල්ල
එසේත් නැති නම් යමෙක් එම බලාපොරොත්තු පූර්ණය කර දෙන්නේ නැති නම් පළිගැනීමේ සිතිවිල්ල හිතට එනවා. අපි හිතමු යමෙක් තව කෙනෙකුගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා කියලා. මාපිය ආදරය දරුවෝ බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ ආදරය මාපියෝ බලාපොරොත්තු වෙනවා. පෙම්වතා පෙම්වතිය, යහළු යෙහෙළියන් මේ වගේ විවිධ සමාජ සම්බන්ධතා ඇතුළේ කිසිවකු කිසිවක් බලාපොරොත්තු වෙනවා.

මෙවැනි අවස්ථාවන්හිදී තමන් හිතන පතන දේ නොලැබුණ විට දී යම්කිසි පළිගැනීමේ ස්වභාවයක් මනසට ඇතුළු වෙනවා. ඔවුන් බොහෝ දුරට පළිගන්නේ තමන් තමන්ගෙන්මයි. එහෙත් ඔවුන් හිතන්නේ අනුන්ගෙන් පළිගන්නවා කියලයි.
නිතර බලාගත්තු අතේ බලාගෙන ජීවිතයේ සියලුම ප්‍රාර්ථනා බිඳ වැටුණ මානසිකත්වයෙන් කටයුතු කරයි. බලන්න, එක බලාපොරොත්තුවක බිඳ වැටීමම ඇති ඔවුන්ට මෙලෙස බොහෝම පීඩාවකින් හැසිරීමට. මේක තමයි අතෘප්තිකර භාවය, ඇත්තෙන්ම මෙය කලකිරීමක් නොවේ.
තෘප්තිමත් නොවේ
එසේම කරන කිසිම දෙයකින් මේ අය තෘප්තිමත් වන්නේ නැහැ. ඔවුන්ගේ ලෝකයේ අතෘප්තිය රජයනවා. කිසිම ප්‍රබෝධවත් බවක් නැහැ. සැබැවින්ම සසරක් නෑ වගේ කාලය ගත කරනවා. දරුවනේ මේකට කරන්න පුළුවන් හොඳම පිළියම තමයි මානසික ප්‍රතිශෝධනයක් ඇති කිරීම.
මුලින්ම සොයාගත යුත්තේ ඔහුගේ / ඇයගේ බලාපොරොත්තු බිඳ වැටුණ තැන කොතැනද? ඒ බිඳවැටීමත් සමඟම තවදුරටත් තැවීම මඟින් ඔවුන්ගේ අනාගතයට මොනවගේ බලපෑමක් ඇතිකරයිද යන්න සොයා බලන්නට ඕනේ. මේ වැටහීම හරිම වැදගත්. එසේ නොවන තාක්කල් ඔවුන් අතෘප්තිකර ස්වභාවයෙන් කල්ගත කරනවා.
ඇත්තෙන්ම බුදු දහමට අනුව ‘සංසාරේ එපාවෙලා’ යන මේ සිතිවිල්ල බොහොම හොඳ දෙයක්. ඒත් ඉතිං අපේ ඇත්තන් සසර කලකිරිලා කියලා කියන්නේ අවබෝධයකින් නම් නෙමෙයි. සැබෑවටම සංසාරේ එපා වුණ පුද්ගලයෙක් නිර්වාණාවබෝධය ලබන්නට ඕනේ.
මේ විදිහට මිනිස්සු හරිම ඉක්මනින් අතෘප්තියට පත්වන්නේත්, ප්‍රබෝධවත් ස්වභාවය අත්හරින්නේත් ඔවුන් කිසියම් දෙයක් ආරම්භයේ පටන් අවසානය දක්වාම නිසි පිළිවෙතින් කටයුතු නොකරන නිසයි. මානසික වශයෙන් යමක් ආරම්භ කිරීමට ‘ආරම්භ ධාතු’ අවශ්‍යයි. එය එම කාර්යයට විශාල මානසික ශක්තියක් ගෙන දෙනවා. දෙවැනුව යම්කිසි බලාපොරොත්තුවක් ඉදිරියට ගෙන යන්නට ‘නික්ඛම ධාතුව‘ ක්‍රියාවට නැංවිය යුතුයි. තමන්ගේ අධිෂ්ඨානය කරා නොසැළී ගමන් කිරීම ඉන් අර්ථවත් කෙරේ.
ජයං වේරං පසවතී
දුක්ඛං සේති පරාජිතෝ
උපසන්තෝ සුඛං සේති
හිත්වා ජය පරාජයං
යම්කිසි කෙනෙක් ජීවිත බලාපොරොත්තු ජයග්‍රහණය කළවිට ඔහුට වෛරකාරයෝ රැස්වෙනවා. අර්ධ ජයග්‍රහණයේදී ඔවුන්ට අභියෝග එනවා. එවිට අභියෝග සමඟ ගැටෙනවා. ජයග්‍රාහී මාවත තමා විසින්ම අසුරා ගන්නා අවස්ථාත් වෙනවා. වෙන අයගේ ඊර්ෂ්‍යා නිසා යම් යම් පළිබෝධ ඇති කරනවා. ඒවා ළඟ ජීවිතය නවතනවා.
බොහෝ අයගේ ජීවිත, ඉලක්ක, අභියෝග හමුවේ නවතින්නේ මේ නිසයි. ඔවුන් තුළ ‘නික්ඛම ධාතු’ ව ඇත්තේම නැහැ. ඕනෑම ප්‍රශ්නයක් ඒමේදී අරමුණු, බාධා එන්න එන්න ඒවා මැඩ පවත්වාගෙන ඉදිරියට යා යුතුයි. මෙය නැති කළ ඔබට ජයග්‍රහණයේ සතුට හිමි නොවේ. නිරන්තරයෙන් අතෘප්තියක් පමණක් හිමි වේ.
පරාජිත බව
සමහර අය ජීවිතයේ බොහෝ දුක් කම්කටොළු මැදින් බාධක ජයගෙන අරමුණ කරා ගමන් කරනවා. ඔවුන්ගේ ඉලක්කයට යනවා. සමාජ වපසරියේ ඉන්නා සෙසු අය මේ පුද්ගලයාට නිරන්තරයෙන් ඊර්ෂ්‍යා කරනවා. අනෙකාගේ ඊර්ෂ්‍යා දෝෂාරෝපණ හමුවේ පෙර කී පුද්ගලයා මානසික බිඳවැටීමකට ලක් වෙනවා. ඔහු ජයග්‍රහණය ලබලත් ජයග්‍රහණයේ නිසි සතුට භුක්ති විඳින්නට නොහැකි වෙනවා. එහිදී පරාජිත බවක් තමයි උරුම වන්නේ. එවැනි දිවි පෙවෙතක් ගත කරන අය විශාල මානසික ආතතියකට පත්වෙනවා.
මේ මානසික ආතතියෙන් ගොඩ වෙන්න නම් කළ යුතු එකම දෙය උද්‍යෝගිමත් පුද්ගලයන් ඇසුරු කිරීම, සමාජයේ තියෙන අභියෝග ජයගත් පූජිත ජීවිත අධ්‍යයනය කිරීම. උදාහරණයක් ලෙස ගත් කළ ‘සිල්මාතා කායෝ’ ග්‍රන්ථය කියවීමෙන් ඔබට අභියෝග හමුවේ නොසැළී ඉන්නට හැකිබව අවබෝධ කරගත හැකියි. ඇය බොහෝ කරදර මැද්දේ රහත්භාවයට පත් උත්තමාවකි. එය කාන්තා ඔබට සැබෑම පරමාදර්ශී චරිතයකි. එවැනි ග්‍රන්ථ ඇසුරු කරන්න ජීවිතයට ප්‍රබෝධවත් ස්වරූපයක් ගෙන එනවා. ඒකාන්තයි.ඒබ්‍රහම් ලින්කන්, ශ්‍රී ජවහලාල් නේරු තුමා, මහත්මා ගාන්ධි මේ අය ගැන කියවීමෙන් ජීවිත විජයග්‍රහණය සඳහා කොයිතරම් අභියෝග ජයගත යුතුදැයි කියන කාරණාව ඔබටම අවබෝධ වේවි.
අභියෝග ජයගන්න
සම්බුද්ධ ශාසනයේ ප්‍රගතියට කැපවීම් කළ චරිත කෙතරම් අප අසා තිබේද? අපි හැම විටම සතුටින් අභියෝග ජය ගත යුතු වෙනවා. එහිදී ජීවිතයට අතෘප්තිය ළඟා වෙන්නේ නැහැ. ප්‍රසන්න විදිහටයි නිරන්තරයෙන් සියල්ලට මුහුණ දෙන්නේ. පරාදීනත්වයෙන් මිදෙන්නට නිරතුරු සිහියට ගත යුතුයි.
විශේෂයෙන් කාන්තා ඔබ අත්වැලක් නොමැතිව ඉහළට එන්නට අධිෂ්ඨාන කරගත යුතුයි.
යම් කාරණාවකදී ඔබ අසාර්ථක වූයේ නම්, බිඳ වැටුණේ නම් අත්වැලක් නොමැතිව යළි නැගිටින්නට හැකියි යන ආත්ම ශක්තිය ඇතිකර ගැනීම වැදගත්. අපේ මනස ඇතුළේ ඉතාම අලස අක්‍රීය පුද්ගලයකු ඉන්නවා. ඒ වගේමයි ඉතාම උද්‍යෝගිමත් සක්‍රීය පුද්ගලයකු ද සිටිනවා. අපි උත්සාහ ගත යුත්තේ උද්‍යෝගිමත් පුද්ගලයා තව තවත් ප්‍රබෝධවත් කිරීමටයි. නිරතුරු ස්වභාවිකවම සිදුවන්නේ අලස මන්ද මානසික තත්ත්ව ඉලිප්පී ප්‍රබෝධවත් පුද්ගලයා නිදි ගැන්වීමයි.
එකැස් ඇඳ දුබල නෙත
තව තවත් ඇඳිරි වේ
නිදා සිටි ඇඟෙහි මත
එතැන යළි ඇස් ලබයි
ගුණදාස අමරසේකර ශූරීන් රචිත නිර්මාණයකි මේ. යම්කිසිවකු නැහැ, බැහැ කියලා පරාජිතවම සිතුවේ නම් එතැනම රැඳෙන්නට සිදුවේ. එහෙත් ප්‍රශ්නයත් ආ කල එය අභියෝගයක්, ආත්ම ශක්තියක් කරගෙන නැගී සිටී නම් අතෘප්තිකර බව ජීවිතයට ළඟා වන්නේ නැහැ. එපා වීම ප්‍රබෝධමත් නොවීම, ප්‍රසන්න බවෙන් මිදීම, සමාජයට වෛර කිරීම මේ සියල්ල තමාටම නැතිකර ගත හැකියි. එසේම අපි අප වටා සිටිනාවුවන්ට ද මෙවැනි තත්ත්වයෙන් මිදීමට අත්වැල් සැපයිය යුතුයි.
බලන්න, පසුගියදා වයස අවු. 10 ගැහැනු දරුවකු සියදිවි නසා ගත්තා. ඒ ඇයට ලෝක අපවාදවලට මුහුණ දීමේ ශක්තියක් නොවූ නිසයි. ගුරුවරිය තම භූමිකාවේදී මීට වඩා සාර්ථක වූවා නම් එම දියණියට මෙවන් ඉරණමක් අත්නොවේවි.
පරාජිත වෙන්න එපා
ඊට ඉහත දී ජනප්‍රිය නළුවකු සිය දිවි නසා ගත්තා. අනුන්ට පාඩමක් උගන්වන්න අපි කිසිදා පරාජිකත්වය භාර ගත යුතු නැහැ. අනුන්ට පාඩමක් ඉගැන්විය හැකි හොඳම මඟ තමන්ට එන ඕනෑම අභියෝගයක් භාරගෙන එයට සාර්ථකව මුහුණදීම.
හැකි නම් තමන් වට්ටන්නට උත්සාහ කළ වූවන්ට ද ජීවිතය දිනන්නට අත දෙන්න. එවිට ඔවුන්ම යම් දිනක ඔබට ආශිර්වාදයක් වේවි.
තමා ළඟ ධර්මය, යුක්තිය, සාර්ථකත්වය ඇත්නම් සියල්ල දිනනු ඇත. ජීවිතය ගැන කිසිදා කම්පනයක් ඇතිකර ගත යුතු නොවේ.
භාවනාවට යොමුවෙන්න
මානසික ප්‍රතිශෝධනාත්මක භාවනා වැඩසටහනකට යොමු වන්න. එය ඔබ සාර්ථක කරාවි. එසේම සෑම විටම අවදානමට සූදානම තිබිය යුතුයි.
අචින්ති තම්පි භවති
චින්ති තම්පි විනස්සති
නොසිතු දේ සිදුවේ. සිතු දේ නොසිදුවේ. ලොව දම කැරකේ. එසේ නම් මේ ලෝක ස්වභාවය තේරුම් ගත යුතුවේ. බලාගත්තු අත බලාගෙන ජීවිතයට ජීවත් වෙන්න ඉඩ නොදී ජීවිතය ජීවත් කරවන්න ඔබ ප්‍රබෝධවත්ව සිටිය යුතුයි.
අතීතය ගැන සිතා ශෝක නොවන්න. අනාගතය ගැනත් එතරම් නොසිතන්න. පසුතැවීම් නොවන්න. එවිට ඔබට හැකියි අව පක්ෂයේ සිට පුරපක්ෂයේ එන සඳ වගේ ජීවිත අන්ධකාරයන් ජයගෙන ආලෝකය ඇතිකර ගන්න. එවිට තමන්ටත් සමාජයටත් පුන්සඳක් වන්නට හැකියි.
  අනුශාසනාව කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ
2017.11.22  තරුණි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment