Labels

Monday, November 20, 2017

බුදුරදුන් දවස බණ ඇසූ දෙවිවරු

බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙව්, බඹුන්ට ද නිවන් මඟ වදාළ අසම සම ආචාර්යවරයෙක් වූ සේක. ඒ නිසාම ‘සත්ථා දේවමනුස්සානං’ යනුවෙන් අපි උන්වහන්සේ හඳුන්වමු. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව පිරිනිවන් පාන මොහොත දක්වා ම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර, ධර්මාවබෝධය ලැබූ ප්‍රමාණය සූවිසි අසංඛ්‍යය නවකෝටි හැටලක්ෂයක් ලෙස සඳහන් වෙයි.


මේ පිරිසෙන් බහුලව ම ධර්මය අවබෝධ කළේ දෙව්, බඹුන් වෙයි. මනුලොව ඉතාම සුළු පිරිසක් ධර්මාවබෝධය ලැබූ බව ධම්ම චක්ක දේශනාවට අනුව පැහැදිලි වෙයි. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධත්වය ලබා පවත්වන ප්‍රථම ධර්ම දේශනය ධම්මචක්කපවත්වන සූත්‍රය යි. එය දේශනා කර වදාළේ මුවන්ට අභය දානය ලබාදුන් ඉසිපතන මිගදායේ සිට යි. ඒ සුමධුර සදහම් දෙසුම ශ්‍රවණය කළේ මනු ලොව මිනිසුන් පස් දෙනෙක් පමණ යි. ඒ අතුරින් කොණ්ඩඤ්ඤ තවුසා හැර අනෙක් සිව් දෙනාට ම බෝසතාණන් වහන්සේ ඇත්තට ම බුදු වුණාදැ’යි සැකයක් පහළ වුණා.
නමුත්, මේ දේශනාව බුදුන් වහන්සේ දේශනා කිරීමට සැරසෙන අසිරිමත් මොහොතේ භූමාටු දෙවියන්ගේ සිට ම අකනිටා බඹ ලොව දක්වා ම දෙව්, බඹුන් අහසේ අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගියා. සමහර දෙවිවරුන්ට අහසේ ඉඩ කඩ නැතිව ඉඳිකටු තුඩක් වැනි සියුම් දිව්‍ය ශරීර මවා ගත්තා. බුදුන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනාකර අවසානයේ දී මනුලොව සෝවාන් ඵලයට පත් වුණේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පමණ යි. නමුත් ඒ දේශනාවෙන් එදා රැස් වූ දහඅට කෝටියක් දෙවිවරු මාර්ග ඵල ලැබූ බව ධම්මචක්කපවත්වන සූත්‍රය සඳහන් අටුවා කථාවෙහි දැක්වෙයි. මේ අනුව අපට පෙනී යන්නේ මනු ලොව එක් අයෙක් සෝවාන් මඟ ඵල ලබද්දී දෙව්, බඹුන් දහ අට කෝටියක් මඟ ඵල ලැබූ බව යි.

දෙවිවරු මනු ලොවට


එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියෙන් වැඩ වෙසෙද්දී පින්බර දසුනක් දුටුවා. ඒ රාහුල හාමුදුරුවන්ට අරහත්වය උදෙසා හික්මවන්නට සුදුසු ඉන්ද්‍රිය ධර්මයන් වැඩී ඇති බව යි. බුදු පියාණන් හමුවූ රාහුල හාමුදුරුවෝ එදා බුදුරදුන් පසුපස ම අන්ධ වනයට වැඩම කළා.
මේ ගමන ආරම්භයේ දී ම භූමාටු දෙවියන්ගේ සිට අකනිටා බඹ ලොව දක්වා ම දෙවිවරු ප්‍රීති ඝෝෂා නැඟුවා. ඒ රාහුල තෙරුණුවන් රහත් වන පින්බර පුවත දැනගෙන යි.
එදා රාහුලෝවාද නම් වූ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න අන් කිසිදු මිනිසෙකු නැතත්, දෙවිවරු රැසක් ම සූදානම් වුණා. රාහුල තෙරණුවෝ උතුම් රහත් ඵලය ලබද්දී අන්ධ වනයට පැමිණි දෙවිවරු කෝටි ගණනක් උතුම් මාර්ගඵල ලැබුවා.
තව ද පළමු රහත් හැට නම අමතා ධර්ම ප්‍රචාරය කිරීමට චාරිකාවේ වඩින්නැ’යි බුදුන් වහන්සේ වදාළා. මහණෙනි, “චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතා ය, බහුජන සුඛාය – අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං” යනුවෙන් බොහෝ දෙව් මිනිසුන්ට හිත සුව පිණිස දහම් දෙසීමට, ගම් දනව්වල වඩින්නැ’යි ආරාධනා කළා. ආදි කල්‍යාණං, මජ්ජේ කල්‍යාණං, සාත්ථං සභ්‍යාංජනං - මුල , මැද, අග අර්ථ සහිතව, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් බුදුන් වහන්සේගේ ධර්මය දේශනා කරන්නැ’යි වදාළා. ඇතැම් විට ගමක දේශනා කරන බණ පදයට කණ යොමන්නේ මිනිසුන් ටික දෙනෙක් පමණක් විය හැකි යි. නමුත් එතැනට අපමණ දෙවියන් රැස් වෙන්නට පුළුවනි. ඒ නිසා, ‘අත්ථාය, හිතාය, සුඛාය දේව මනුස්සානං’ දෙව් මිනිස් ලෝකයාගේ ම යහපත පිණිස එක මඟකින් දෙනමක් වඩින්නේ නැතිව ගම් නියම් ගම් කරා වැඩම කරමින් දහම් දෙසන්නැ’යි වදාළා. ඒ ප්‍රදේශයට අධිගෘහිත දේවතාවන්, වෘක්ෂ දේවතාවන්, පර්වත දේවතාවන්, භූමාටු දෙවිවරුන්ගේ සිට ම අකනිටා බඹ ලොව දක්වා ම දෙවියන් ශී‍්‍ර සද්ධර්මය ශ්‍රවණය කරන්නට අහසේ පිරී ඉතිරී ගියා. ඒ අනුව අපට පෙනෙන්නේ මනු ලොව ධර්මය දේශනා කළ ද, ඒ දේශනා ශ්‍රවණය කරන්න දෙව් ලොව දෙවියන් මනු ලොවට වැඩම කළ බව යි.

වාද විවාද


බුදුන් වහන්සේගේ දින චර්යාවට අනුව රාතී‍්‍ර දහයට ගන්ධ කුටියට වැඩම කරනවා. එතැන් සිට මැදියම් යාමයේ දෙක වෙනතුරු දෙවිවරු සඳහා කාලය වෙන් වුණා. දෙවිවරු මුලු ජේතවනාරාමය ම බබළවාගෙන ගන්ධ කුටියේ වැඩ සිටින බුදුරදුන් සමඟ ධර්ම සාකච්ඡා පැවැත්වූවා. එක්තරා දේවතාවෙක් මෙවැනි පැනයක් විමසා දෙවියන්ගේ ධර්ම ගැටලු, නිවන් මඟ ගැන ආදිය බුදුන් වහන්සේගෙන් විමසා දැන ගත්තා. එය දේවතා සංයුක්තය, දේව පුත්ත සංයුක්තයේ මෙන්ම සූත්‍ර දේශනා දහස් ගණනාවකින් සඳහන් වෙනවා. එසේනම්, බුදුන් වහන්සේගේ දින චර්යාවේ දවසේ පැය ගණනාවක් දෙවියන්ට ධර්ම දේශනා කරන්නට වෙන් කළා.
ඇතැම් විට මිනිසුන්ගේ වාද විවාද ප්‍රශ්න ආදිය ද දෙවියන්ට මතු වුණා. මනු ලොව වෙසෙන බුදුන් වහන්සේ හමුවී ගැටලු විසඳාගන්න මිනිසුන්ට බුද්ධිය නැති වුණත්, දෙවිවරු මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් වුණා. මිනිසුන්ගේ යහපත වෙනුවෙන් බුදුන් වහන්සේ සමඟ කථා බහ කර ගැටලු විසඳා ගත්තා. මහා මංගල සූත්‍රය එවැනි දේශනාවක්. අවුරුදු දොළහක කාලයක් මංගල කාරණා මොනවාදැ’යි දෙව්, මිනිසුන් අතර වාද විවාද ඇති වුණා. කොටසක් දිට්ඨ මංගල යනුවෙන් ඇසෙන් දකින දේ පමණක් මංගල යැ’යි හැඳින්වූවා. තවත් කොටසක් සුත මංගල යනුවෙන් කනෙන් ඇසෙන සුබ, අසුබ වදන් පමණක් මංගල යැ’යි පැවසුවා.
තවත් පිරිසක් මුත මංගල යනුවෙන් දිව්‍යමය සුවඳක්, මල් සුවඳක් යනුවෙන් හැඳින්වූවා. මිනිසුන් අතර වසර දොළහක් ම පැන නැඟුණු මේ කරුණු දවසක් දෙවිවරු අතරින් සක්‍ර දෙවියන්ටත් පැන නැඟුණා. ඒ මොහොතේ සක්‍ර දෙවියන් මේ පැනය මනු ලොව වෙසෙන බුදුන් වහන්සේගෙන් විමසන්න’යි පැවසුවා. සක්‍ර දෙවියන් බුදුන් වහන්සේ වැඩ සිටින දිශාවට වැඳ නමස්කාර කර මෙලෙස පැවසුවා. “සූර්යයා පායා තිබියදී තරුවකට අන්ධකාරය දුරු කරන්න පුළුවන්ද?” බුදු කෙනෙක් මනු ලොව සිටිය දී දෙවියන්ට මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.
ඒ නිසා ඔබ බුදුන් වහන්සේ හමුවන්නැ’යි සක්‍ර දෙවියන් තවත් දෙවි කෙනෙකුට පැවරුවා. එදා ඒ දේවතාවා මුලු ජේතවනාරාමය ම බබළවාගෙන බුදුන් වහන්සේ හමුවට පැමිණ මෙසේ විමසුවා. “බහු දේවා මනුස්සාච, මංගලානි අචින්තයුං, ආකංඛමානා සොත්ථානං, බ්‍රෑහි මංගල මුත්තමං” බොහෝ දෙව්, මිනිස්සු මංගල කරුණු මොනවාදැ’යි වාද විවාද කරති. මේ මිනිසුන්, දෙවියන් ගැන අනුකම්පාවෙන් මංගල කරුණු මොනවාදැ’යි දේශනා කරන සේක්වා’යි බුදුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව බුදුන් වහන්සේ මහා මංගල සූත්‍රය දේශනා කළා. ඒ අනුව මිනිසුන්ට ප්‍රයෝජනවත් බොහෝ දේශනා දෙවිවරු මතු කර දුන්නා.
ඇත්තට ම, ඇතැමෙකුට මෙසේ සිතෙන්නට පුළුවනි. මේ දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ? කවුද දුටුවේ? යනුවෙනි. නමුත්, දිව්‍ය ලෝක පිහිටි පරාස ආදිය බුද්ධ දේශනාවල මෙසේ සඳහන් වෙයි. මනු ලොව ආශ්‍රිතව දිවි ගෙවන දේවතා කොටස් භූමාටු දෙවියෝ වෙති. ඒ අය පොළොව ආශි‍්‍රිතව වෘක්ෂ සහ පර්වත විමාන කර ගනිති. සීමාස්ථික දේවතාවෝ විශාල ප්‍රදේශ, කඳු වළලු ආදිය වාසස්ථාන කර ගනිති. නමුත්, මේ දෙවිවරු සදෙව් ලොව දෙවිවරු තරම් ම බලවත් නැත.

අරුම පුදුම සබඳතා


අටුවා දේශනාවලට අනුව, මනු ලොව සිට යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් චාතුර් මහා රාජිකය දිව්‍ය ලෝකය පිහිටා ඇත. (යොදුනක් යනු සැතපුම් දාසයකි.) ලෝකයේ සිව් දිසාව පාලනය කරන්නේ සතර වරම් දෙවිවරු යි. ඒ අය විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, ධ්‍රැථරාෂ්ට්‍ර, නම් වෙති. මේ අය බුද්ධ ශාසනය සමඟ බැඳුණු පින්වත් පිරිසකි. බෝසතාණන් මව් කුස පිළිසිඳ ගත් දා සිට ම සතර වරම් දෙවියන් සතර දෙනා බෝසත් මවගේ සිව් දෙසින් දරුවාටත්, මවටත් රැකවරණය පිණිස ගෞරව බහුමානයෙන් වැඩ සිටියා.
එසේ ම, එදා ලුම්බිණී සල් වනයේ දී බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙද්දී මුලින් ම මේ පින්බර කුමරු, සක්‍ර දෙවියන් රන් දැළකින් පිළි ගත්තා. ඉන්පසු සතරවරම් දෙවියන්ගේ අතට පිළිවෙළින් පත් කර, නැවත සක්‍ර දෙවියන් අතින් බෝසත් මවට ලබා දුන්නා. “බොහෝ පින්වත් කුමාරයෙක් ලොවට පහළ වී ඇති බව සක්‍ර දෙවියන් පැවසුවා. ඒ පින්බර කුමරු පොළොවට පාද තබන්න සූදානම් වෙද්දී ම පොළෝ තළයෙන් නෙළුම් මලක් විකසිත වී සත් පියුම් දක්වා පිපී ගියා.

එසේනම්, අපට පෙනෙන්නේ බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳ ගත් දා සිටම බුද්ධත්වය, පිරිනිවන් පෑම ආදිය සෑම අවස්ථාවකදී ම දෙවියන් හා අරුම පුදුම සම්බන්ධතාවක් බුද්ධ ශාසනය තුළ පැවැති බව යි.




අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක 
ගලිගමුවේ ඤාණදීප හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 10 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment