දානය සහ පරිත්‍යාගය යන වචන දෙක ම අපට ඉතා හුරු පුරුදු ය. දානයෙන් සහ පරිත්‍යාගයෙන් කෙරෙන්නේ එකම අදහසක් යැයි විටෙක අපට සිතෙනවා. බුද්ධ දේශනාව අනුව මහත්ඵල මහානිශංස ගෙන දෙන්නේ දානය ද? පරිත්‍යාගය ද?
දානය සහ පරිත්‍යාගය දෙකෙන් ම කෙරෙන්නේ අත හැරීම යි. දානය යනු අත්හැරීමේ ප්‍රාථමික අවස්ථාව යි. පරිත්‍යාගය අත හැරීමේ උපරිමය යි. නිවනට උපකාරි වන්නේ පරිත්‍යාගය යි. එනිසා වඩාත් ප්‍රබල වන්නේ පරිත්‍යාගය යි.
දන් දෙන්නට අප හැම දෙනා ම කැමැතියි. දන් දෙන්නේ සිංහල බෞද්ධයෝ පමණක් නොවේ. අන්‍යාගමික අබෞද්ධයෝ ද විවිධාකාරයෙන් දන් දෙනවා. නමුත් ඔවුන් දන් දෙන්නේ නිවන ඉලක්ක කරගෙන නොවේ. අසරණයන්ට පිහිට වෙන්න ඕනෑ කියන හැඟීමෙන්, අනුකම්පාවෙන්. සමහර පිරිසක් එසේ කිරීම මගේ වගකීමක් කියන හැඟීමෙන් දන් දෙනවා. සමහර පිරිස් “මෙසේ දන් දීම මගේ අනාගතයට හොඳ ආයෝජනයක්. මහා නිධානයක්. සංසාරයේ ම සැප ලබා ගන්න පුළුවන් ක්‍රමයක්” කියා දන් දෙනවා. නමුත් බෞද්ධයා මේ ආකාරයට දන් දී සෑහීමකට පත් නොවිය යුතුයි. බෞද්ධයාගේ මේ සෑම දෙයක ම අවසාන ඉලක්කය නිවන අවබෝධ ය යි.
දන් දීමෙන් අප අත හරින්නේ චීවර, සේනාසන, පිණ්ඩපාත සහ ගිලානප්‍රත්‍ය නම් වූ සිව් පසය යි. මේ හතර අතහරින්න බැරි පුද්ගලයාට නිවන් දැකීම ඉතා අසීරු යි. දානය දෙන ගමන් පරිත්‍යාග කරන්නත්, අප පුරුදු වෙන්න ඕන. පරිත්‍යාග කියන වචනය හැදුනේ මේ ආකාරයට යි. “පරි” කියන්නේ හාත්පසින් ම, වටෙන් ම, සම්පූර්ණයෙන්ම කියන අර්ථය යි. “ත්‍යාග“ කියන්නේ අතහැරීම යි. නිවනට උපකාරි වන්නේ ඒ පරිත්‍යාගය යි. චතුරාර්ය සත්‍ය දේශනාවේ දී දුක්ඛ නිරෝධය සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ “යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ. . .” යනුවෙන් වදාළේ එනිසා යි. මෙතැන දාන කියා වචනයක් නැහැ. මෙතැන තිබෙන්නේ චාග හෙවත් පරිත්‍යාගය පමණ යි.
ඉතා ප්‍රබල අත හැරීම යනු කුමක් ද? මෙතැන අත හරිනවා කියන්නේ ලෝකය අත හැරීම යි. අප ඉන්නේ ලෝකයට අයිති වස්තූන් අල්ලාගෙන යි. ලෝකයට අයත් දේ අල්ලාගෙන සිටින නිසා යි අප ලෝකයටම අයිති වෙලා තිබෙන්නේ. මෙතැන ලෝකය කියා අදහස් කරන්නේ රූප, ශබ්ද, ගන්ධ රස හා ස්පර්ශය යි. ඒ වගේ ම පඤ්චස්කන්ධය යි. ඇසට පෙනෙන, කනට ඇසෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට හැපෙන දෙයට යි. ලෝකය කියන්නේ. මෙම පඤ්චස්කන්ධ නමැති ලෝකයට පඤ්චකාම නමැති සම්පත්තියෙන් තිබෙන බැඳීම යමෙක් අතහැරියොත් ඒ පුද්ගලයා ලෝකයෙන් එතෙර වෙනවා. ලෝකෝත්තර වෙනවා. නිවන් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ තැනැත්තාට යි.
එනිසා සාමාන්‍ය කෑමබීම, ඇඳුම් පැළඳුම් යනාදියට තිබෙන කැමැත්ත, ආශාව අතහැර ගැනීමට දානය පුරුදු කළ යුතුයි. ඒ වගේ ම ඒ පඤ්ච ඉන්ද්‍රියයන්ට ගොදුරු වන පඤ්චකාම සම්පත්තිවලට තිබෙන ආශාව, බැඳීම අත හැරීම පරිත්‍යාගය ලෙස පුරුදු කළ යුතුයි. නමුත් අද අප පරිත්‍යාගය කියා පිළිගන්නේ ගිහියන් දෙන දේ්, සමිති සමාගම්ලට දෙන දෙයට යි. තථාගතයන් වහන්සේ හෝ පූජනීය උතුමන්ට දෙන දේ දානය ලෙස සලකනවා. නමුත් නියම ආකාරයට පූජනීය වන්නේ පරිත්‍යාගය යි. කෙනෙක් පූජනීය වීමට කරන අතහැරීම පරිත්‍යාගය යි.
අප බොහෝ විට අත අරින්නේ බැඳීම, අනුකම්පාව මුල් කරගෙන යි. මිනිසුන් විවිධ හේතු නිසා දන් දෙනවා. අනුකම්පා බුද්ධියෙන් දන් දෙනවා. අනුග්‍රහ බුද්ධියෙන් වගේ ම පූජා බුුද්ධියෙනුත් දන් දෙනවා. අනුකම්පා බුද්ධියෙන් දන් දෙන්නේ දුගී මගී යාචකාදීන්ට යි. අනුග්‍රහ බුද්ධියෙන් දන් දෙන්නේ සමිති සමාගම් වගේ ආයතනවලට යි. පූජා බුද්ධියෙන් දන් දෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ පූජනීය ලක්ෂණ බලා පිදිය යුතු යි යනුවෙන් සලකා යි. මේ බුද්ධි තුන ම ලෞකික යි. බැඳීමක්, පුද්ගලිකත්වයක් ඒ තුන තුළම තිබෙනවා.
දානයේ සහ පරිත්‍යාගයෙහි වෙනස දැන ගෙන අතහැරිය යුතු වෙයි. සිව්පසය අත හැරීමේ දී “මම මේ අත හැරීම තුළින් මා තුළ ඇති ලෝභය නැතිවෙනවා. ලෝභය නැතිකම නිසා නිවනට සමීප වන්නේ මම යි” යන සම්මා දිට්ඨිය පදනම් කරගෙන එය කළ යුතු යි.
දන් දී ලෞකික දේ ප්‍රාර්ථනා කරනවාට වඩා නිවන ප්‍රාර්ථනා කිරීම උතුම්. ප්‍රාර්ථනා කළ පමණින් නිවන අවබෝධ නොවේ. නිවන නම් අවබෝධයකින් යුතුව නිසි දැක්මක් ඇතිව ලබාගත යුතු දෙයක්. ජාති, ජරා, මරණ වලින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ පරිත්‍යාග තුළින් අතහරින දේ යි.
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 05 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment