ලෝකයේ පහළ වුණ ශ්‍රේෂ්ඨ මහා සම්බුදුවරයෙකුගේ සම්බුද්ධත්වය අධ්‍යාත්මිකව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් පුරා කරන ලද මහඟු පරිත්‍යාගවල , පුහුණු කිරීම්වල , අත්දැකීම්වල, දැනුම් සම්භාරයක මහා ප්‍රතිඵලය යි.
එවැනි උතුම් බුද්ධත්වයක් ලබන උතුමෙකුට සංසාරය පුරාම ඒ වෙනුවෙන් දිරිය දෙමින්, වෙහෙස වෙමින්,කැප වෙමින්, ළඟින් සිට දුකසැප බෙදාගනිමින් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු සිටියා නම්, ඒ එකම කාන්තාරත්නය යශෝධරාවයි. යශෝධරාවෝ සංසාරය පුරාම උප උපන් හැම භවයකදීම ඒ උතුම් කාර්යභාරය වෙනුවෙන් ගැහැනියක ලෙස ඇප කැපවූ කාන්තාවයි. . බුදුබව පතනා සිදුහත් බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි නියත විවරණ ලබාගත් දවසේ සිටම එම ස්ථානයේ සිටි යමිකිසි කාන්තාවක් විසින් බුදු බව පතනා උතුමන් වෙනුවෙන් සසර පුරා කැපවන බවට කළ අධිෂ්ඨානය ආරම්භය ලෙස සදහන් කළ හැකියි.
බුදුවන්නට පාරමී දම් පුරණ උතුªමන්ගේ බිරිඳවන්නට, ඒ වෙනුවෙන් සසරපුරා කැපවන්නට යශෝධරාවන්ද, පාරමී දම් පුරා තිබෙන ආකාරය ජාතක කතා තුළින් පැහැදිලි කරගත හැකියි.
යශෝධරාවෝ එම උතුම් කාර්යයභාරය ඉෂ්ට කරන්නට යෙදුනේ හුදෙක් මනුෂ්‍ය ආත්මභාවයක උප්පත්තිය ලැබූ කාලයේ පමණක් නොවෙයි. බෝසතාණන් වහන්සේ තිරිසන් යෝනිවල උප්පත්තිය ලබන කාලවලදී ද කවරාකාරයකින් හෝ යශෝධරාවන් ද තිරිසන් ආත්මභවයක ඉපිද ඒ ජීවිතයට ධෛර්ය ලබාදුන් ආකාරය කලන්දක ජාතකයෙන් හා සඳකිඳුරු ජාතකයෙන් ඉතාම පැහැදිලිව දැක ගත හැකියි.
කලන්දක ජාතකයේ දී බෝධිසත්වයන් වහන්සේ ලෙහෙනෙකු ලෙසත්, යශෝධරාවෝ ලෙහෙනියක ලෙසත් ඉපදෙමින් බෝසතාණන් වහන්සේ ගිය ගමනට දිරිය දුන් ආකාරයත්, වීර්ය වඩපු ආකාරයත්, කලන්දක ජාතකය පුරාවටම දැක ගත හැකියි.සඳකිඳුරු ජාතකයේ දී බෝසතාණන් වහන්සේ සඳ කිඳුරා වෙමින් යශෝධරාවෝ සඳකිඳුරිය වෙමින් සඳකිඳුරාට බරණැස් රජතුමා හී පහරවල් විද්දාට පසුව ඒ හී පහරවලින් විනාශ වීමට ඉඩ නොදී කිඳුරිය ලෙස ඉපිද සිටි යශෝධරාවෝ ද, ධෛර්ය ලබාදෙමින් සත්‍ය ක්‍රියාකළ ආකාරය අපට දැකගත හැකියි.
මෙයට අමතරව අප්‍රමාණ ජතක කතා රාශියක තිරිසන් යෝනිවල ඉපදෙමින්, මනුෂ්‍යයන් ලෙස ඉපදෙමින් කටයුතු කළ ආකාරය ප්‍රශංසනීයයි. අවසාන ආත්මභවය වූ වෙස්සන්තර ්ජාතකයේ දී මන්ද්‍රී දේවිය වෙමින් වෙසතුරු රජතුමා තවුස් දම් පුරන්නට වංග ගිරියට යන අවස්ථාවේදී ද රජතුමා අතනොහැරම කැලයකට ගොස් බෝසතාණන් වහන්සේට අවශ්‍ය පලවැල රැගෙනවිත් පෝෂණය කරමින් ,අවශ්‍ය පහසුකම් ලබාදෙමින් රැකවරණය , ලබාදීමට වෙහෙස වී ඇත.
යශෝධරාවෝ අතීත භවයන්හි ගතකළ ජීවිතය පිළිබඳ විස්තර ජාතක කතා පොතේ අප්‍රමාණ ජාතක කතා ප්‍රමාණයකින් සොයාගත හැකියි. එවැනි සුවිශේෂී ශ්‍රේෂ්ඨ චරිතයක් බෝසතාණන් වහන්සේට යශෝධරාව ලෙසින් හමුවෙයි. බෝසතාණන් වහන්සේ අවුරුදු දහතුනක කාලයක් යශෝධරාව සමඟ යුග ජීවිතය ගෙවන කාලය පුරාවට ඇය ද සිදුහත් බෝසතාණන් වහන්සේගේ ගමනට අවශ්‍ය පරිසරය පසුබිම සියල්ල නිර්මාණය කළා මිස, කිසි විටෙකත් සිදුහත් කුමාරා ගිහිගෙදර රඳවා තබා ගැනීමට උපක්‍රම යෙදුවේ නැත. සිදුහත් කුමරා අභින්ෂ්ක්‍රමණය කළ අවස්ථාවන් වැළැක්වීමට අවශ්‍ය උපක්‍රම සංවිධානය කළේ නැත. සිදුහත් කුමරාගේ ගමන වළක්වන කිසිදු ආකාරයේ උත්සාහයක් දරා නැත . ඒ වගේම රාජ පුරුෂයන් යොදවා ගනිමින් සිදුහත් කුමරා යන එන ගමන් බිමන් සොයා බලමින් මංපෙත් ඇහිරීම් කළේ නැත. සිද්ධාර්ථ කුමරා සුවිශේෂී උතුම් පුද්ගලයෙක් ය යන කාරණාව පිළිබඳ අවබෝධය යුග ජීවිතය තුළදී පවා යශෝධරාව තුළ දක්නට ලැබුණ ලක්ෂණයක් විය. සිද්ධාර්ථ කුමරා තුළ මහා පුරුෂ ලක්ෂණ තිබුණ බවත්, එම සියල්ලම හොඳින් නිරීක්ෂණය කළ එකම කාන්තාරත්නය යශෝධරාවයි. මේ ලෝකයේ අසහාය මනුෂ්‍යයෙකු බවත්, අසහාය පුරුෂයෙකු බවත් මහා ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික මිනිසෙකු බවත්, යශෝධරාවෝ දැන සිටි කාරණාවක්. එවැනි උතුම් මිනිසෙකු ගිහිදිවියේ තබාගැනීමට කරවාකාරයක හෝ ප්‍රයත්නයක යෙදුන බවට යශෝධරාවන්ගේ චරිත කතා ප්‍රවෘත්තීන්හි කිසිදු ස්ථානයක හමුවන්නේ නැත. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෙස බුද්ධත්වය ලබා මහා මාලිගාවට වැඩම කළ අවස්ථාෙවි සියලු සිහිපත් කිරීම් සිදුකරනු ලැබුවේ තමන්ගේ ගමනට යශෝධරාවන්ගෙන් ලැබුණ ධෛර්ය හා කැපවීමයි. මේ ලෝකයේ ස්වාමිපුරුෂයෙකුට භාර්යාවක විසින් ලබාදුන් ධෛර්ය, සහහෝගය පමණක් නොවෙයි, මේ ලෝකයේ උතුම් මහා ශ්‍රේෂ්ඨ උතුමෙකු නිර්මාණය කිරීමට කාන්තාවක විසින් ලබාදුන් මහා වීර්යක් හැටියට එය සැලකිය හැකියි.
බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළාට පසුව ද, ඇය හරිම ශ්‍රේෂ්ඨ උතුම් ජීවිතයක් ගත කළ කාන්තාවක්. ඇය හඩාවැටුණේ නැත. වර්තමානයේ අම්මා කෙනෙකු දරුවෙක් සමඟ තනිවූ විට හෝ ස්වාමිපුරුෂයෙකු අහිමි වූවිට කෙතරම් අපහසුතාවයකට පත්විය හැකිද? ඒ අම්මා වෛර කරන්නේ නැද්ද? යුක්තිය පසිඳලීමට අධිකරණයට යන්නේ නැද්ද? දරුවාට හිමිකම් ඉල්ලා සිටින්නේ නැද්ද? වර්තමානයෙහි දරුවෙක් සමඟ තනිවූ අම්මා කෙනෙකු විසින් සිදුකරනු ලබන කිසිවක් කිරීමට යශෝධරාවන් පෙළඹුනේ නැත.හිමිදිරි පාන්දර අවදිවෙමින් යහනේ සිටි ස්වාමියා නැති බවට ප්‍රකාශ කරමින් යශෝධරවන් හඩා වැළපුණේ නැත. ඇය එම ජීවිතයට මුහුණ දුන්නා. කුමරා කෙරෙහි තිබූ අප්‍රමාණ භක්තිය හා ගෞරවය නිසාම කුමරා ගියේ කොහේද ? කුමන ස්ථානයකට ගියද ? කවුරුන් සමඟ ගියද? යන කාරණාවන් පිළිබඳ සොයා බලයි.
හිමයේ ගොසින් මල් යහනක නිදනවද
කොමල අනගි සිරිපා දෙක රිදෙනවද
හිගේ නැතිව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් ්රජුනි හිමි අද කොතැනකද
කොමල අනගි සිරිපා දෙක රිදෙනවද
හිගේ නැතිව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් ්රජුනි හිමි අද කොතැනකද
ඒ යශෝධරාව තුළ පැවැති අප්‍රමාණ භක්තියයි. සිදුහත් කමරා කුමන ආකාරයේ ජීවිතයක් ගත කරනවාද ? යනුවෙන් සොයා බැලූ ආකාරයයි. මන්ද්‍රී දේවිය ලෙස සිටි ආත්මභවයෙහි දී දරුවන් සමඟ වනගත වූවාක් මෙන්, මේ භවයෙහිදීත් රාහුල කුමරා රැගෙන වනගත වූ වා නම්, කළ හැකි හොඳම දෙය වුවත්,එසේ කළ නොහැකි වීම ඇයට තිබුණ ලොකුම දුකයි. එම නිසාම කුමරා කේශ කලාපය කපා දැමූ බව දැනගත් යශෝධරාවෝ තමාගේ කේශ කලාපයද කපා දැමීම, කසාවත පොරවාගත් බවට දැනගත් පසු ඇයද කසාවත පොරවා ගැනීම, ඉතාම රළු ආහාරයෙන් යැපෙන බව දැනගත් පසු ඇය රාජ භෝජනයෙන් ඉවත්ව ඉතාම රළු ආහාරවලට හුරුපුරුදු වීම ගල් පර්වත ගස් යට නිදන බවට ආරංචි වීමත් සමඟ ඈ සිරියහනෙන් බිමට බැස බිම නිදාගැනීමට ක්‍රියා කිරීම යන සිදුවීම් තුළින් බිරිඳක් ස්වාමිපුරුෂයාගේ ගමනට දිරි දුන්න ආකාරය කෙතරම් උත්තරීතරද? යන වග පැහැදිලි වෙයි. යශෝධරාවත කාව්‍ය නිර්මාණය කිරීමෙන් නුවර යුගයේ කවියා බලාපොරොත්තු වුණේ ම තත්කාලීන සමාජයේ ස්වාමි භාර්යාවන්ගේ ජීවිතවලට කිසියම් ආකාරයක සාහිත්‍ය උපදේශයක් ලබාදීමයි. ආගමික උපදේශයක් සම්පාදනය කිරීමයි. දැහැමි පවුල් ජීවිතයකට අවශ්‍ය වන මග පෙන්වීෙමිදී ස්වාමිපුරුෂයාට වඩා භාර්යාවකට විශාල වගකිමක් තිබෙන බව යශෝධරාවතින් ප්‍රකට වෙයි. ස්වාමිපුරුෂයන්ට වදක භාර්යාවක් බවට පත් නොවී ස්වාමිපුරුෂයාගේ මඟ යමින් ස්වාමිපුරුෂයා අදහන ස්වාමිපුරුෂයාගේ ඇති හැකිකම් හොඳින් හඳුනාගෙන සෙත් පතන ආශිර්වාද කරන භාර්යාවක් වීමට යශෝධරාවත ජන කාව්‍යයෙන් එදා කවියා උපදෙස් ලබාදෙයි. වර්තමානයෙහි විවාහ ජීවිත ඉතාම ඉක්මනින් අසාර්ථක වන සමාජ වටපිටාවක විවාහ පත්වන සෑම භාර්යාවකගේම අතට යශෝධරාවත ජනකාව්‍ය ලබාදෙනවා නම්, කිසියම් ආකාරයකින් ඔවුනගේ යුග ජීවිතය අවබෝධයෙන් ගෙවීමට ඉතාම හොඳ අවස්ථාවක් වෙයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඉල් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 17 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment