Labels

Saturday, November 18, 2017

සදිසා වන්දනාව හා සහජීවනය

යහපත් ජීවිතයකට යහපත් සමාජ සම්බන්ධතා:

" යහපත් ජීවිත ගත කිරීමට නම් යහපත් වූ සමාජ සම්බන්ධතා අවශ්‍ය වේ. යහපත් සම්බන්ධතා ඇති කර ගැනීමට නම් තම තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරමින් අනෙකාට අලාභ නොවන සේ පැවැතීම අවශ්‍ය ය. ඒ සඳහා සදිසාව පදනම් කරගත් යුතුකම් ඉතා වැදගත් වේ."
ඔවුනොවුන් කෙරෙහි යුතුකම් ඉටුකිරීම පිළිබඳ ඉගැන්වීම සදිසා වන්දනය යි. වන්දනයන් අතර හරවත් වැඳීම මෙය බව සිඟාලෝවාද සූත්‍රයේ දී සිඟාග ගෘහපති පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මිනිසා සමාජ සත්වයෙකි. අනෙක් මිනිසුන්ගෙන් හුදෙකලාව සිටිය නොහැකි ය. යහපත් ජීවිත ගත කිරීමට නම් යහපත් වූ සමාජ සම්බන්ධතා අවශ්‍ය වේ. යහපත් සම්බන්ධතා ඇති කර ගැනීමට නම් තම තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරමින් අනෙකාට අලාභ නොවන සේ පැවැතීම අවශ්‍ය ය. ඒ සඳහා සදිසාව පදනම් කරගත් යුතුකම් ඉතා වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේ සදිසා වෙන්කර ඇත්තේ මෙලෙස ය.

නැගෙනහිර – මව්පියන්, දකුණ – ගුරුවරු, බටහිර – අඹුසැමි, උතුර – මිතුරෝ, යටදිසාව - සේවකයෝ, උඩ දිසාව - පැවිදි උතුමෝ යනුවෙනි.

අනවශ්‍ය විමසීම

බොහෝ සමාජ ප්‍රශ්නයන්ට මූලය තමන්ගේ කාර්ය ඉටු නොකොට අන්‍ය දෑ පිළිබඳ අනවශ්‍ය ලෙස සොයා බැලීමට යෑම ය. තමන්ට පැවරුණු කාර්ය නියමාකාරයෙන් ඉටු කරන්නේ නම් සමගිය සහජීවනය ආරක්ෂා වී අනවශ්‍ය ගැටුම් සිත් අමනාපකම් සිදු නොවේ. එය රටක්, ආයතනයක්, පවුලක් ලෙස යහපතකි. ජාති ආගම් භේදයකින් තොරව ඕනෑම සමාජයකට මෙම සදිසා වන්දනය යොදාගත හැකි වේ.

සමාජයෙහි අන්‍යෝන්‍ය සබඳතා පිළිබඳ සැලකීමේ දී මව්පියන් හා දරුවන් ඉතා වැදගත් ය. සහජීවනයේ පාඩම ආරම්භ කිරීම මවුපියන් හා දරුවන් අතරින් ආරම්භ කළ යුතු වේ. මවුපියන්ගේ යුතුකම් දරුවන්ගේ අයිතිවාසිකම් වන අතර දරුවන්ගේ යුතුකම් මවුපිය අයිතිවාසිකම් වේ. සෑම විටම අයිතිවාසිකම් පිළිබඳ පමණක් කතා කිරීම ඒ වෙනුවෙන් අරගල කිරීම සමාජ, සාමය බිඳ වැටීමට හේතුවකි. පුද්ගලයා සමාජගත කිරීමේ මූලික කාර්ය ඉටු කරනුයේ මවුපියන් ය. එසේ ම ආදරය, කරුණාව දැක්වීම මුලින් ම සිදු කරනුයේ මවුපියන් විසිනි. දරුවන්ගේ පූර්ව ආචාර්යවරුන් වන මවුපියන්ට එම අවශ්‍ය කාර්යන් ඉටු කිරීම දරුවන්ගේ යුතුකමකි. මවුපියන් හා දරුවන් අතර අසහනය අසමගිය ගොඩනැගීම සෝචනීය තත්ත්වයකි.
තමන්ගේ ශක්තිය මත මවුපියන් පෝෂණය කිරීම, තම පරම්පරාවට අගෞරව නො කිරීම මවුපියන්ගෙන් ලද දෑ විනාශ නොකර පවත්වාගැනීම දරුවන්ට අත්හළ නොහැකි ය. මවුපියන්ගේ මෙලොව පමණක් නොව පරලොව ජීවිතය ද සැපවත් කිරීම දරුවන් සිදු කිරීම අනිවාර්ය වේ. තමන් තමන්ගේ දෙමාපියන්ට නොකරන දෑ ඔවුන් මවුපියන් වූ විට බලාපොරොත්තු විය නො හැක. එය මහත් සමාජ ප්‍රශ්නයකි. මවුපියන් දරුවන් සකසනවිට, වැරැද්දෙන් මුදා යහපතෙහි යෙදවිය යුතු වේ. අධ්‍යාපනයක් ලබා දී සුදුසු කාලයේ දී තම වස්තු පවරා දී ආවාහ විවාහ කරදීම අවශ්‍ය ය. මෙම අවශ්‍යතා ඉටු නොවීම තුළ අනවශ්‍ය ප්‍රශ්න ඉසිලීමට සමාජයට සිදු වේ. දරුවන් නැණවත් මෙන් ම ගුණවත් කිරීම මවුපියන්ගේ යුතුකමකි. තරගකාරී අධ්‍යාපනය පමණක් ලබාදීම යෝග්‍යය, සුබ තත්ත්වයක් නොවේ. සමාජ අසහනයන් වැඩි වී ගැටුම් නිර්මාණය වන්නේ එවන් පරිසරයක දී ය. දරුවන්ට කියන දේ මෙන් ම තම හැසිරීම හා භාවිතයෙන් එය දැකගැනීමට අවස්ථාව සලසා දීම ඉතා වැදගත් වේ.

මනුෂ්‍යයෙක් නිර්මාණය කිරීම




මවුපියන් හැරුණුවිට සමාජය සැකසීම හා පුද්ගලයා සැකසීම පිළිබඳ ගුරුවරයාට මහත් වගකීමක් ඇත. සමාජ සබඳතා තුළ ගුරුවරයා දකුණු දිසාව නියෝජනය කරයි. බුදුදහමෙහි බුදුරදුන් ද ගුරුවරයෙකි. ‘සත්ථා වචනය ඊට නිදසුන් ය. ගුරුවරයා හා ශිෂ්‍යයා අතර තිබිය යුත්තේ පිය පුතු සබඳතාවය හා සමාන බැඳීමකි. ගුරුවරයා තුළ මෙන් ම ශිෂ්‍යයා තුළ මනා සබඳතාවක් සැලකීම අවශ්‍ය ය. දරුවකු පාසලට ඇතුළත් කරනවා යනු මැටි පිඬක් ලබාදීම හා සමාන ය. මැටි පිඬ යොදාගෙන දේව රූප, මනුෂ්‍ය රූප මෙන් ම තිරිසන් රූප සැකසිය හැකි ය. ශිෂ්‍යයාද මෙසේ දෙවියෙක් මනුෂ්‍යයෙක් තිරිසනෙක් බවට පත් කිරීමේ හැකියාව ඇත. ගුරුවරයා ඒ සඳහා යහපත් මඟ පෙන්වීම සිදු කළ යුතු වේ. සංවර, විනයගරුක ගැටුම්වලින් වියුක්ත සමාජයක් නිර්මාණය කිරීමට අධ්‍යාපනයට ඇත්තේ මහත් ශක්තියකි. එස සුළු කොට සැලකිය නො හැකි ය. ඕනෑම මෝඩයෙකු තම නිවසේ දී, ද ප්‍රභූවරයා ගමේ දී ද පාලකයා තම රටේ දී ද ගෞරවය ලබයි. එහෙත්, උගතා, විද්වතා සෑම තැනකදී ම ගෞරව ලබන බව සංස්කෘත සාහිත්‍යයේ දි දක්වනුයේ එහෙයිනි.
ශිෂ්‍යයා හුන් තැනින් නැගිට වතාවත් සිදුකොට උගන්වන දේ හොඳින් අවබෝධ කරගනිමින් ශිෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීම අනිවාර්ය වේ. ගුරුවරයා දරුවන් හික්මවමින් මුදල් පිළිබඳ නොසිතා ගුරු මුෂ්ටි රහිතව දරුවන් රැකෙන ලෙස අධ්‍යාපනය ලබාදීම අවශ්‍ය ය.

අධ්‍යාපනයේ ගුණාත්මක බවට



වර්තමාන අධ්‍යාපනයේ දී සමඟිය සහජීවනය සඳහා රාජ්‍ය ප්‍රතිපත්තීන් ද බොහෝ බලපෑමක් කරයි. අධ්‍යාපනය ගුණාත්මක ව පැවැතීමට නම් පාසල් ක්ෂේත්‍රයේ ගුරුවරුන් අවුරුදු අටකට වරක් හෝ වෙනත් පාසල්වලට මාරුකර යැවිය යුතු ය. එසේම නො වෙනස් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ. ඇමැතිවරයා වෙනස් වුව ද ප්‍රතිපත්ති වෙනස් නොවී පැවතීම අවශ්‍ය ය. මන්ද යත් අධ්‍යාපනයේ දී වඩා වැදගත් කණ්ඩායම දරුවන් බැවිනි. හෙට ලොව බාර ගැනීමට සිටින දරුවා යහපත් පුරවැසියන් කිරීම අනාගතයට මහත් ආයෝජනයකි. දෙමාපියන් ද ඉරිදා දිනට ද උපකාරක පන්තියට දරුවා නොයවා දහම් පාසලට යොමු කිරීම අවශ්‍ය වේ. සැලකිය යුතු වේ. ගුරු ශිෂ්‍ය සබඳතාව මෙසේ යහපත්වීම මත යහපත් සාමකාමී සමාජයක් සකසා ගැනීමට වඩා පහසුවේ. අ වැඩ කරන මිනිසුන් අතර මොළෙන් වැඩකරන මිනිසුන් වඩා වැදගත් ය. තීන්දු තීරණ ගැනීමේ දී මේ තත්ත්වය වඩා බලපෑම් සිදු කරනු ලබයි.

නොගැළපීම් – ගැළපීම

සමාජයේ මුල්ම ඒකකය පවුල යි. පවුල් ආරවුල් අනෙක් සෑම ක්ෂේත්‍රයකට ම මහත් බලපෑමක් සිදුවෙයි. පවුලේ සමගිය සහජීවනය නැතිවූ විට දරුවන්ගේ හෙට දවස අඳුරට ඇද වැටෙයි. එය මහත් සමාජ ප්‍රශ්නයකි. යුග දිවියක් යනු දෙදෙනෙකු එක්ව ගෙනයන ජීවිතය යි. එහි දී නොගැළපීම් ඇතිමුත් එය ගලපා ගත යුතු ය. එකිනෙකාට ගෞරව කරමින් ඔවුනගේ අදහස්වලට ඉඩ ලබා දෙමින් කටයුතු කළ යුතු වේ. එසේ නොවන විට ගැටුම් භේද භින්න වීම් ඇති වේ.
සම ජීවිකතා, උග්ගහ සූත්‍රයන්ට අනුකූල ආගමික ඉගැන්වීම්වලට අනුගතව පැවැතීම සමඟිය බැඳී මඇති කර ගැනීමට අවස්ථාවකි. සැමියාගේ හොඳ ම මිතුරිය බිරිඳ ය. ඒ බව අමතක කිරීම මහත් ඛේදනීය තත්ත්වයකි. එහෙයින් සැමියා විසින් ගෞරවයෙන් කතා කිරීම මෙන් ම පි‍්‍රය මනාපව කතා කිරීම වැදගත් ය. ඇයට ගෙදර අධිපතිත්වය දිය යුතු ය. බොහෝ සමාජ ප්‍රශ්න මිනීමැරුම් සිදුවනුයේ මෙම යුතුකම් ඉටු නොවීම තුළ ය. ගෙදර අසමගිය සමස්ත සමාජයටම මහත් හිසරදයකි.



සිරිකත කැඳවීම

ස්වාමියාගේ සැලකුම් ලබන බිරිඳ ඊට අනුරූපව යුතුකම් ඉටුකිරීම වැදගත් ය. සප්ත භාර්යාවන් අතර නරක භාර්යාවක් නො වීමට වග බලා ගත යුතු ය. නිවසට සිරිකත හෙවත් සීදේවිය කැඳවාගත යුත්තේ බිරිඳ ය. බිරිඳගේ මෙම වගකීම ඉටු නොවීම මත මූදේවියගේ ඇල්ම බැල්ම නිවසට වැටෙන කල ගෙදර මහත් යුද පිටියකි. ගෙදර කටයුතු මැනවින් ඉටු කිරීම ඉතා අවශ්‍ය වේ. තවද තමා සහ තම පවුල ඇසුරු කරන්නන්ට, දැසි දස්සන්ට සැලකීම භාර්යාවගේ කාර්යයකි. කම්මැළිකමින් තොරව, උදේ‍යීගයෙන් වැඩ කළ යුතු අතර, පර පුරුෂයන් කරා නොයා යුතු වේ. සැමියා හරිහම්බ කරන ලද ද මනාව ආරක්ෂා කළ යුතු වේ. මෙසේ දෙදෙනා ම අවංකභාවය මත කටයුතු කිරීම තුළ පවුල් සංස්ථාව තුළ සමඟිය සහජීවනය හා දියුණුව ඇති වේ. සංවාස සූත්‍රයට අනුව එවන් පවුල් දෙවියෙක් හා දෙවඟනක වෙසෙන පවුලකි. මළ මිනියක් හා මළ මිනියක වෙසෙන පවුල බුදුදහම අගය කර ඇත. නකුල මාතාව සහ නකුල පිතා අගයකොට සැලකුවේ ඔවුන්ගේ පවුල් සංස්ථාව ආදර්ශවත් බැවිනි.

එකිනෙකාගේ කාර්ය භාරය දෙදෙනා මැනවින්, හඳුනා ගැනීම තුළ දික්කසාදවීම් දරුවන් අනාථවීම් ජීවිත අහිමිවීම් වැනි සමාජ ප්‍රශ්න දුරු කර ගත හැකි වේ. හැඟීම්වලට පමණක් ඉඩ නොදී මෙම යුතුකම් තුළ එය ආධ්‍යාත්මික බැඳීමක් බවට පත්කරගත යුතු ය.


කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය 
කොලොන්නාව පුරාණ විහාරවාසී 
සියඹලාගොඩ ධම්මින්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ‍‍නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි


No comments:

Post a Comment