Labels

Sunday, November 19, 2017

මහ බෝසත් උපතයි අසිරියේ සිරියයි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 06


අවසානයේ දී වනාන්තර ගතව තව්ස් දම් පුරාගෙන ඉන්න විට ජූජක බමුණා ට තමන්ගේ දරුවෝ දෙදෙනා පවා දන් දුන්නා. දරුවෝ දෙන්නා දන් දී උන්වහන්සේ හිතුවේ පැතුවේ මොනවාද? රජ සම්පත් නෙමෙයි, සිටු සම්පත් නෙමෙයි, දිව්‍ය සම්පත් නෙමෙයි, බ්‍රහ්ම සම්පත් නෙමෙයි.

උන්වහන්සේ හිතුවේ ලොව්තුරා බුදු බවයි. ඒ වගේ ම තමන්ගේ බිරිඳ දන් දුන්නා. රාජ්‍ය දන් දුන්නා. ඔය විදිහට දානය, අඹුදරුවන් ඒ වගේ ම අංග සියල්ලක් ම, පංච මහා පරිත්‍යාගයන් පරිත්‍යාග කළා. ඒ වගේ ම බෝසතාණන් වහන්සේගේ බෝසත් ගමනේ දී ‘ඤාතත්ථ චරියාව, ලෝකත්ථ චරියාව, බුද්ධත්ථ චරියාව කියන මේ චරියාවන් පුරුදු කළා. ඥාතීන්ට තමන්ගෙන් විය යුතු සංග්‍රහය නිවැරදිව ඉටුකළා, ඒවගේ ම ලෝකයාට කෙරෙන්න ඕන දානයෙන්, අර්ථයෙන්, සමානාත්මතාවයෙන්, ප්‍රියවචනයෙන් සංග්‍රහ කළා. ඒ වගේ ම බුද්ධත්ථ චරියාව බුදුවීම පිණිස පාරමී පුරාගෙන පැමිණියා.


උන්වහන්සේ පාරමී පුරාගෙන යන ගමනේ දී පුදුමාකාර අධිෂ්ඨාන හතරක් තිබුණා. පින්වතුනි, අප ළඟ මේවා පිහිටුවා ගන්න ටිකක් අමාරුයි. උන්වහන්සේ ‘සක්කච්චකාරී’ කියන්නේ සකස්කරල තමයි හැම පින් කමක් ම කළේ. හැම දෙයක් ම කළේ. ඒ වාගේ ම ‘සාතච්චකාරී’ නුවණින් හැම දෙයක් ම කළේ ‘අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු’ උන්වහන්සේ හැමදාම හැම දෙයක් ම කළේ, මට මදි, මට මදි කුසල් යන අදහසින් නොසෑහීමකට පත්වෙලා පින් රැස් කළේ. ඒවාගේ ම ‘අප්පට්වානිතාච පඨානසමිං’ පුදුමාකාර උත්සාහයකින් උනන්දුවකින් තමයි පාරමී පුරාගෙන ආවේ. එසේ පාරමී පුරාගෙන පැමිණි බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්මයේ දි මහ පොළව සත් වාරයක් කම්පා කරමින් දානාදී සමතිංසත් පාරමී ධර්මයන් මස්තකප්‍රාප්ත කරගෙන තුසිත බවනෙහි සංතුසිත (කේතුමතී) නමින් සිහිනුවණින් උප්පත්තිය ලැබුවා. ඒ වාගේ ම තුසිත දිව්‍ය ලෝකය පරම ආයුෂ වින්දනය කළා. ආයු කෙළවරදී දෙවියන් බ්‍රහ්මයන්ගේ ආරාධනාවෙන් කාලය, ද්වීපය, දේශය, කුලය, මවගේ ආයු ප්‍රමාණය යන පංච මහා විලෝකනයන් බලා කිඹුල්වත් නුවර සුදොවුන් මහ රජ්ජුරුවන් නිසා මහාමායා දේවියගේ කුස තුළ බෝසතාණන් වහන්සේ මෛත්‍රී පූර්වභාග පටිභාග නිමිත්ත හෙවත් මෛත්‍රී භාවනාවෙන් මෛත්‍රී ධ්‍යාන බවට පත්නොවන, මෛත්‍රී පරිකර්ම අවස්ථා ඉක්මවා ගිය, උපචාර චිත්තක්ෂණය වන, මෛත්‍රී උපචාර චිත්තක්ෂණ නමැති සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංකාරීය කුසලය මරණාසන්න වෙලාවේ මරණාසන්න ජවන් සිත මෙන් බෝසතුන් වහන්සේ ගෙන මහාමායා දේවියගේ කුස තුළ ප්‍රතිසන්ධි ලැබුවා. ඒ ප්‍රතිසන්ධි ලබන වේලාවේ ලෝකයේ පුදුමාකාර ආශ්චර්යවත් දේ සිද්ධ වුණා. මේ මහා බොල් පොළව කම්පා වුණා. ඒ වගේ ම දෙතිස් මහා පූර්ව නිමිති පහළ වුණා. පුදුමාකාර ආශ්චර්යයක් බවට පත් වුණා. එදවස පටන් මහාමායා දේවීන් වහන්සේ සිල්වත් මාතාවක් බවට පත් වුණා. ඒ වගේ ම ඒ මව්තුමිය තවත් පුරුෂයෙක් ගැන රාග සිතක්, නරක සිතක් පහළ කරගත්තේ නැහැ. නිතර නිතර දන් දෙන්න පුළුවන්. දන්දීමේ කුසල චේතනාව ඇති කරගත්ත මාතාවක් වුණා. ඒවාගේ ම එදවස පටන් සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාව ලැබුණා.
මේ බෝසත් මාතාවටත් දරුවටත්, ඒ වගේ ම හරියට වීදුරු කරඬුවක් ඇතුලේ යමක් අපට විනිවිඳ පෙනෙන්නා සේ මේ බෝසතාණන් වහන්සේ බද්ධ පරියංකයෙන් වාඩි වෙලා අම්මාගේ කුස තුළ වැඩෙන ආකාරය මේ අම්මාට පේනවා. එසේ දකිමින් බෝසතාණන් වහන්සේ දස මාසයක් ම මව් කුසේ වැඩුණා. ලුම්බිනි සල් උයනේ දී වෙසක්පුර පසළොස්වක පොහොය දවසක දී උප්පත්ති මංගල්‍යය සිද්ධ වුණා. මහ පොළොව කම්පා කරමින් දෙතිස් මහා පූර්ව නිමිති පළකරමින් පුදුමාකාර ආශ්චර්යමත් දේ මේ ලෝකයට ඉටුවෙමින් බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලබනවා. උප්පත්ති ලබන අවස්ථාවේ දී මහා බ්‍රහ්මයන් විසින් රන් දැලකින් පිළිගන්නවා. ඉන් අනතුරුව සතර වරම් දෙවියන් රිදී දැළකින් පිළිගන්නවා. ඊට පස්සෙ මනුස්සයන් විසින් පිළි අරගෙන පොළොවේ පිහිටන විට සත් පියුම් මත සත් පියවර තබමින් උන්වහන්සේ දස දිසා විලෝකනය කරමින් තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් උතුම් කෙනෙක් මේ ලෝකයේ නැතිබව එක ඇඟිල්ලක් ඔසවමින් ප්‍රතිඥා දෙනවා.

අග්ගෝ හමස්මි ලෝකස්ස

ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස

සෙට්ඨෝ හමස්මි ලෝකස්ස

අයමන්තිමා ජාති නත්ථිදානි 
පුනබ්භවෝ

‘මම මේ ලෝකයට අග්‍ර වෙමි

මම මේ ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙමි

මම මේ ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි

මේ මාගේ අවසාන උප්පත්තියයි’ කියා ප්‍රතිඥා දුන්නා. එසේ උන්වහන්සේගේ උප්පත්ති මංගල්‍යය සිදුවුණා.
පසුව අසිත තාපසතුමන් හෙවත් කාල දේවල තාපස තුමන් පැමිණියා, මාළිගාවට බෝසත් දරුවා දකින්නට. ඒ වේලාවේ දී බෝසතාණන් වහන්සේගේ ශ්‍රී පාදයන් මේ අසිත තාපසයාණන්ගේ නළලේ වැදීමෙන් කල්පනා කළා දේහ ලක්ෂණ බලා මතු බුදුවන උතුමන් වහන්සේ නමක් බව තේරුම් අරගෙන මුලින් සතුටුව සිනහ වෙලා දෙවනුව අඬන්න පටන් ගත්තා. මේ සුදොවුන් රජ්ජුරුවන් අසනවා ‘ගුරුතුමනි ඇයි මුලින් සතුටුවෙලා පසුව අඬන්නෙ’ කියලා. ‘මම මුලින් සතුටුවුනේ මතු අනාගතයේ දී බුදු වන උන්වහන්සේ නමක්, මම ඇඬුවේ උන්වහන්සේ බුදුවන දවසට මම මේ ලෝකයෙන් සමුගෙනයි. බුදුවුණත් මට මේ ජීවිතයේ මට දකින්නට ලැබෙන්නෙවත් නෑ. මම අරූපී බ්‍රහ්ම ලෝකයට යනවා’ කියලා. ඉතින් ඒ අනුව අසිත තාපසයන්ගේ වන්දනාව සිද්ධ වුණා.
බෝසතාණන් වහන්සේට ඒ මෙහොතේ දී සුදොවුන් මහ රජ්ජුරුවන් තාත්තා වුවත් වන්දනා කළා. ඉතින් දින හතකින් පස්සෙ මහාමායා දේවිය කළුරිය කර තව්තිසාවේ ඉපදුනා. ඊට පෙර නම් තැබීමේ උත්සවයක් ත්‍රිවේදයේ පරතෙරට පැමිණි බ්‍රාහ්මණයන් එකසිය අට දෙනෙක් ගෙන්නලා බෝසතාණන් වහන්සේගේ දේහ ලක්ෂණ බලා එයිනුත් අට දෙනෙක් තෝරාගෙන නමක් තීරණය කරනවා. ඒ වෙලාවේ එක බ්‍රාහ්මණයෙක් හැර අනෙක් හැම දෙනාම ඇඟිලි දෙකක් ඔසවා කියන්නේ ‘මේ දරුවා පින්වන්තයි, ගිහිගෙදර වාසය කළොත් සක්විති රජ වෙනවා. ගිහි ගෙදරින් නික්මුණොත් බුදු වෙනවා කියා.’ ඒ වේලාවේ කොණ්ඩඤ්ඤ කියන ලාබාලම බ්‍රාහ්මණතුමා එක ඇඟිල්ලක් ඔසවා ප්‍රකාශ කළේ ප්‍රතිඥා දුන්නේ ‘ඒකාන්තයෙන් ම මතු ලොව්තුරා බුදුවෙනවා’ කියන වගයි. ඒ වේලාවේ දී අනෙක් බ්‍රාහ්මණවරුන්ට උගන්වනවා ‘ආචාර්යවරුනි බලන්න මේ දරුවාගේ නළලේ පිහිටා තිබෙන ඌර්ණ රෝම ධාතුව සුදෝ සුදුවට බැබළෙනවා.
දකුණට කැරකී උඩට තමා හැරී පවතින්නේ. මේ තමයි බුදුවන උතුමන් වහන්සේ නමකගේ ලක්ෂණය. සක්විති රජ වෙනවානම් රන්වන් පැහැයට යටට හැරී තිබෙන්නට ඕනේ. ඒකනිසා තමයි මතු ලොව්තුරා බුදුවන්නේ’ කියලා ප්‍රතිඥා දෙනවා.


ත්‍රිපිටකාචාර්ය, 
අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 10 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි


වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 07

No comments:

Post a Comment