Labels

Monday, November 13, 2017

සම්බුදු ගුණමහිම: පාරමී දම් පුරන සමයේ...

සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 03



මේ අම්මා දිනපතා උපස්ථාන කළා. ස්වාමීන් වහන්සේ වස්සාන කාලය තුළ පධන් වීර්යය වඩලා සිව්පිළිසිඹියා ඤාණ ලාභීව මහා රහත් භාවය ලබා ගත්තා. වස් අවසානයේ දී සංඝස්ථවිරයාණන් වහන්සේගෙන් අවසර ලැබුණා. එළිවෙනකම් දායක පිරිසට වස් පවාරණය කරන පොහොය දවසේ ධර්ම දේශනා කරන්ට කියලා. ඔය පණිවුඩය ලැබුණා කාට ද? මේ අම්මාට, දැන් අම්මාත් ගියා බණ අහන්ට. අම්මා හිතනවා ‘මගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ මට දේශනා කළේ ‘සුඛිතා හෝතු දුක්ඛා මුච්චතු’ කියල විතරයි. නමුත් කොහොම ද එළිවෙනකම්ම බණ කියන්නේ ධර්මය දන්න කෙනෙක් ද’ කියලා බලන්ට තමයි මේ අම්මා ගියේ. පින්වතුනි, අර ධර්ම දේශනා කරන තැනම හිඳගෙන දැන් අම්මත් බණ අහනවා. බොහොම හොඳින් සිහිනුවණින් බණ අසනවා. මේ අම්මා දේශනාව කෙළවර දී සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කර ගත්තා. බලන්න මොනතරම් භාග්‍යයක් ද? වාසනාවක් ද?

ඒ වගේ ම ‘ඕහිතසෝතේ ධම්මං සුණාති’ යම් කිසි කෙනෙක් හස්ථ විකාර, මුඛ විකාර නොකර එහෙට මෙහෙට සෙල්ලම් කරන්නෙ දුවන්නෙ පනින්නේ නැතිව නිශ්ශබ්ද ව සමාධියකට සම වැදුනාක්මෙන් සිහි නුවණින් බණ අසනවා නම් ඒ ඇත්තන්ට පුදුමාකාර ධර්ම ශක්තියක් ජීවිතයට ලැබෙනවා.


පඤ්චිමානි භික්ඛවේ ආනිසංසා ධම්ම සවණේ’ මහණෙනි, ආනිසංස පහක් ලැබෙනවා ධර්ම ශ්‍රවණය කිරීමේ දී,
අස්සුතං සුණාති’ මීට කලින් අසන්ට නොලැබුණු බණ පද අසන්නට ලැබෙනවා.
‘සුතං පරියෝදපේති’ ඇසූ ධර්මයක් නම් වඩ වඩාත් පිරිසුදු කර ගන්නට ලැබෙනවා.
‘චිත්තමස්ස පසීදතී’ තමන්ගේ සිතේ ප්‍රසාදය, පැහැදීම ඉතාමත් බලවත් වෙනවා.
කංඛං විතරති’ බුද්ධාදී රත්නත්‍රය ගැන යම් සැකයක්, සාංකාවක්, විචිකිච්ඡාවක්, විමතියක් පවතිනව නම් ඒ සියල්ල නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා.
දිට්ඨිං උජුං කරෝතිං’ මේ බුද්ධ ශාසනය කෙරෙහි පවතින්නා වූ සම්මා දිට්ඨිය, යහපත් දැක්ම, තවතවත් බලවත් කරගන්නට ස්ථාවර කරගන්නට නොසැලෙන කණුවක් සේ ස්ථාපිත කරගන්නට පුළුවන්කම ලැබෙනවා.
එම නිසා පින්වතුනි, ධර්ම දේශනාව නිවන් දොරටුවක්, ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක්, ධර්මය සජ්ඣායනා කිරීම නිවන් දොරටුවක්, ධර්මය සම්මර්ශ්‍රණය කිරීම නිවන් දොරටුවක්, භාවනාව නිවන් දොරටුවක්, මේ කියන නිවන් දොරටු සියල්ලක් විවෘත වන අවස්ථාවක් තමයි අද දවස. හැබැයි පින්වතුනි, තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ අද කාලයේ නිවන් දකින්ට නම් ක්‍රම දෙකක්,
‘පරතෝ ඝොසප්පච්චයතා ධම්මානුධම්ම පටිපන්නතා’
පරතෝ ඝොසප්පච්චයතා කියන්නේ බණ ඇසීමෙන් නිවන් දකිනවා. ඒ කියන්නෙ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙන් හෝ සිව්පිළිසිඹියා ඤාණ ලාභි මහාරහතන් වහන්සේ නමක් ධර්මය දේශනා කරනව නම් ඒ දෙසුම් කෙළවර ශ්‍රාවකයන්ට නිවන් දකින්න පුළුවන්. ඒකත් අද කාලෙ බොහොම කලාතුරකින් ලැබෙන දෙයක්. නමුත් ‘ධම්මානු ධම්ම පටිපන්නතා’ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව ආරක්ෂා කරගෙන සීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කර ගනිමින් බණ අසනව නම්, ගුණ පිළිවෙත් වඩනවා නම් අන්න නිවන් දකින්ට පුළුවන් කම ලැබෙනවා. ඒක නිසා මේ පින්වතුන්ට නිවන් දැකීමේ උදාරතර අවස්ථාවක් නිවන් අවබෝධය පිණිසම වෙනකම්ම පින්කමක් තමයි බුදු ගුණ දේශනාව කියන එක. කවුරුත් සිහිනුවණින් මතක් කරගෙන අධිෂ්ඨාන කරගෙන අප පුළුවන් හැටියට ශක්ති ප්‍රමාණයෙන් බුදුගුණ දේශනාව දැන් අප ආරම්භ කරනවා.
බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්බන්ධයෙන් මාතෘකා කරගත්ත මාතෘකා පාඨයේ අදහස මෙහෙමයි.
බුදුරජාණන් වහන්සේ හා බුදු බව පිණිස

‘බුද්ධෙ අවෙච්චප්පසාදේන සමන්නාගතොම්හී’

‘මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙමි.’

බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා නම් ඒ ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනන්ත අප්‍රමාණ බුද්ධ ගුණයන් ගැන ‘ලභති අත්ථවේදං’ අර්ථ රසය මනාව විඳින්ට පුළුවන්කම ලැබෙනවා. ‘ලභති ධම්ම වේදං’ ධර්ම රසය මනාව විඳින්ට අත්දකින්ට පුළුවන්කම ලැබෙනවා. ‘ලභති ධම්මූපසංහිතා පාමොජ්ජං’ ඒ බුද්ධ ගුණයන් ගැන ඇති අර්ථ රසයත්, ධර්ම රසයත් නිසා ඇතිවෙනව තරුණ ප්‍රීතිය. ‘පමුදිතස්ස පීතිජායති’ මේ තරුණ ප්‍රීතිය නිසා ශරීරය තුළ පැතිරී යන ඉතාමත් බලසම්පන්න වූ ප්‍රීතිය පහළ වෙනවා. ඒවාගේ ම ‘පීතිමනස්ස කායෝ පස්සම්භති’ මේ ශරීරය තුළ පැතිරී යන මේ පරණ ප්‍රීතිය හේතුකරගෙන තමන්ගේ නාම කය, රූප කය, සියල්ලක් ම සංසිඳෙන්නට පටන් ගන්නවා. සංසිඳෙනවා. ‘පස්සද්ධ කායෝ සුඛං වේදෙති’ මෙන්න මේ නාම කයේ රූපකයේ සංසිඳීම නිසා පුදුමාකාර සැප වේදනාවක් සෝමනස්සයක් තමන්ගේ හිතේ බලසම්පන්න වෙනවා. ‘සුඛිනෝ චිත්තං සමාධියති’ ඒ සැප වේදනාව හේතු කරගෙන මනාව සිත සමාධිගත වෙනවා කියන එකයි. මේ මාතෘකා පාඨය තුළ පිහිටි සරල අදහස. දැන් මෙතන දී කියැවෙනවා බුදු රජාණන් වහන්සේ ගැන. අපේ ළඟ අචලප්‍රසාදය තියෙන්නේ කා කෙරෙහි ද?
බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? දැන් අපි හිතන්ට ඕන එනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා. පින්වතුනි, බුදු වෙනවා කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. බුදුවෙන්නට නම් සංසාරේ අතරක් නෑර පාරමී පුරන්නට ඕනෙ. මේ පාරමී පුරණ ගමනෙ. පාරමී පුරණ ජීවිතය කොහොමද කියනවා නම් අපි දැන් බුදුවෙන්නට යන ගමන් මඟ හොයල බලන්නට ඕනේ. මේ ලෝකයේ බුදු බව පතාගෙන යන මහ බෝසතාණන් වහන්සේලා තුන් දෙනෙක් ඉන්නවා.

උග්ඝටිතඥ මහා බෝසතාණන් වහන්සේ
විපචිතඥ මහා බෝසතාණන් වහන්සේ
නෙය්‍ය මහා බෝසතාණන් වහන්සේ

උග්ඝටිතඥ කියල කියන්නේ ප්‍රඥා අධික වූ මහා බෝසතාණන් වහන්සේට “ උග්ඝටිතඤ්ඤො බෝධි සත්තෝ පඤ්ඤාධිකෝ’ මේ උග්ඝටිතඥ්ඥ කියල කියන්නෙ වහාම හැකි ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මයන් පර උපදේශකයින් තොරව මාර පරාජය කරමින් බුද්ධත්වය අවබෝධ කර ගන්න පුළුවන් ප්‍රඥා අධික බෝසතාණන් වහන්සේට අපි කියන්නේ උග්ඝටිතඥ්ඥ මහ බෝසතාණන් වහන්සේ කියලා. එවැනි උතුමන් වහන්සේ නමක් නියත විවරණ ගැනීමට පෙර ඒකාන්තයෙන් ම අසංඛෙය්‍ය දහසයක් පාරමී පුරාගෙන එන්නට ඕන. අසංඛෙය්‍ය දහසයක් කියල කියන්නේ සිතින් බුදුබව පතනවා අසංඛෙය්‍ය හතක්, වචනයෙන් බුදු බව පතනවා අසංඛෙය්‍ය නවයක්, එසේ අසංඛ්‍යෙය දහසයක් පාරමී පුරා පැමිණියාට පස්සෙ තමයි බුද්ධ ශාසනයක දී නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් හමුවේ නියත විවරණ ලැබෙන්නේ. නියත විවරණය ලැබුණාට පස්සෙ උන්වහන්සේ අසංඛෙය්‍ය හතරකුත්, කල්ප ලක්ෂයක් හෙවත් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන අඛණ්ඩව පැමිණෙන්නට ඕනෙ.
‘විපචිතඤ්ඤො බෝධි සත්තෝ විරියාධිකො’
විපචිතඥ කියන බෝසතාණන් වහන්සේට අපි කියන්නෙ විර්ය අධික උතුමන් වහන්සේලා උන්වහන්සේත් නියත විවරණ ගන්ට මත්තෙන් අසංඛෙය්‍ය දහසයක් ඒ කියන්නේ සිතින් අසංඛෙය්‍ය හතක් වචනයෙන් අසංඛෙය්‍ය නවයක් අසංඛෙය්‍ය දහසයක් පාරමී පුරාගෙන පැමිණියට පස්සෙ බුදුරජාණන් වහන්සේ නමක් හමුවේ ලැබෙනවා නියත විවරණ. ඒ දවස පටන් අසංඛෙය්‍ය අටකුත් කල්ප ලක්ෂයක් එනම් අටාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් අඛණ්ඩව පාරමී පුරන්නට ඕනේ. ඒ තමයි වීර්ය අධික මහෝත්තමයාණන් වහන්සේ.





ත්‍රිපිටකාචාර්ය, 
අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි





No comments:

Post a Comment