Labels

Monday, November 27, 2017

හටගත් සැණින් දුරුකළ යුතු ක්‍රෝධය


" රජතුමාගේ සිත ඒ නාටක ස්ත්‍රිය වෙත ඇදී ගියා. ඔබ ඇය කෙරෙහි වෛර බැඳ ගත්තා. ඇයට ඊර්ෂ්‍යා කළා. ඇයට දුකක්, වේදනාවක් දීමට සිතා ඔබ කහඹිලියා ගෙඩි ගෙනැවිත් කුඩු කොට ක්‍රීඩා කරන විලසින් ඇයගේ ඇඟේ තැවරුවා. හොර රහසේ ම ඈ සැතපෙන යහනේ කහඹිලියා තැවරුවා. ඒ නාටක ස්ත්‍රියගේ සිරුරේ කහඹිලියා කුඩු වැදුණ විගස කසන්නට පටන් ගත්තා."


බුදුරජාණන් වහන්සේ අපගේ සිත දියෙන් ගොඩ දැමූ මාළුවෙකුට උපමා කළා. ඒ සිත නිරන්තරයෙන් අරමුණුවල ඇලෙමින් සහ ගැටෙමින් පවතින නිසයි.

එවන් ස්වභාවයෙන් යුතු අපේ සිත් තුළ විවිධාකාර සිතිවිලි හට ගනී. කුසලයත්, අකුසලයත් හට ගනී. කුසල් සිතක් හටගත් විට අපි පින් රැස් කර ගනිමින් බොහෝ යහපත් දේ කරමු. අකුසල් හට ගත් විට අයහපත් දේ කරමින් බෙහෝ පව් රැස් කරමු. මේ සංසාර ගමනේ අප කුසල්, අකුසල් දෙකම සිදුකර ඇත. කුසලයේ විපාක ලෙස සැපත්, අකුසල් විපාක ලෙස දුකත් උරුම වේ. ඒ ආකාරයට කළ අකුසල විපාක ඉස්මතු වී බොහෝ දුක් විඳි කුමාරිකාවක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ ජීවත් වුණා.


දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේ පන්සියයක් භික්ෂුන්වහන්සේ සමඟ කිඹුල්වත් නුවරට වැඩම කළ සේක. උන්වහන්සේගේ වැඩම කිරීම ගිහි කළ ඥාති පිරිසට ආරංචි වුණා. සියලු දෙනා උන්වහන්සේ වන්දනා කිරීමට පැමිණියා. නමුත් ඒ පිරිස අතරේ අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ ගිහි කල නැගණිය සිටියේ නැහැ. අනුරුද්ධ මහරහතන් වහන්සේ විමසනවා,

”පින්වත් ඤාතිවරුනි, අපේ රෝහිණී නැගෙණිය කෝ? ඇය වෙන නගරයකට ගිහින්වත් ද?”

”ස්වාමිනි, ඇය නිවසේම යි සිටින්නේ. ඇයට ඔබ වහන්සේ වන්දනා කිරීමට පැමිණීමට අපහසුයි. ස්වාමිනි, ඇය දරුණු කුෂ්ඨ රෝගයකින් දුක් විඳිනවා. මුළු ශරීරය පුරා ම එය පැතිරී ගොස් මහත් වේදනාවකින් ඇය පෙළෙනවා. මුලු දවස පුරාම ඇය නිවසේ ම යි වාසය කරන්නේ”.

”ඥාතිවරුනි, ඇය මා අසළට කැඳවාගෙන එන්න”.

එවිට රෝහිණී කුමාරිය මුළු ශරීරයම රෙද්දකින් වසාගෙන තෙරුන් වහන්සේ වෙත පැමිණියේ ය. වන්දනා කොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉදිරියේ හඬන්නට වුණි.

”අනේ ස්වාමිනි, මට හරිම අපහසුයි. මේ කුෂ්ඨ රෝගය නිසා මුළු ඇඟම දනවා. කසනවා. කිසි පහසුවක් නැහැ. එළියට බසින්න අපහසුයි.”

”නැගෙණියනි, ඔබ මේ සඳහා පින් කිරීමට උත්සාහ කළ යුතුයි නේද?”

”ස්වාමිනි, මම මොන වගේ පින්කමක් ද කළ යුත්තේ?”

”නැගෙණියෙනි, ඔබ පළඳින කන කර ආභරණ තිබෙනවා ද?’’

”රන් කහවණු දස දහසක් පමණ වටින ආභරණ මා සතුව තිබෙනවා.”

”එසේනම් ඔබ ඒ ආභරණ විකුණන්න. සංඝයා උදෙසා ආසන ශාලාවක් කරන්න. මේ කාලය තුළ මමත් මේ නගරයේ ම වැඩ වාසය කරමින් ඔබට උදව් කරන්නම්. ඔබ දෙමහල් ශාලාවක් කරවන්න. එහි උඩුමහල තැනූ පසු ඔබ උඩුමහලට ගොස් නිතර බිම අමදින්න. සංඝයා උදෙසා අසුන් පනවන්න. නිතර පැන් කළ තබන්න. උපස්ථාන කරන්න.”

”එසේය ස්වාමිනි”, කියා රෝහිණී කුමරිය තම ආභරණ විකුණා දෙමහල් ශාලාවක් ඉදි කරවූවා. එහි යට මහලට නිතර නිතර ගොස් බිම ඇමදුවා. ආසන පැනෙව්වා. භික්ෂුන් වහන්සේලා ඒ ආසනවල වැඩ සිටියා. ඇය තම ශ්‍රමය යොදා ඒ ශාලාව අමදින විට සමේ රෝගය මැළ වී ගියා. ආසන ශාලාව නිමවා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කොට ශාලාවෙහි වඩාහිඳුවා දන් පැන් පූජා කළා. බුදුරජාණන් වහන්සේ අනුරුද්ධයන් වහන්සේ දෙස බලා,

”අනුරුද්ධය, මේ කවරෙකුගේ දානයක් ද?”

”ස්වාමිනි, මේ මාගේ නැගෙණිය වන රෝහිණි විසින් පූජා කරන දානයක්. ඇය සමේ රෝගයකින් බොහෝ සේ පීඩා විඳිමින් සිටින්නේ”

”පින්වත් අනුරුද්ධ නැගෙණියට එන්න කියන්න.”

එවිට රෝහිණී කුමරිය ශාස්තෘන් වහන්සේ අසළට පැමිණ වැඳ නමස්කාර කොට එකත්පස සිටියා.

”රෝහිණි, ඔබ දන්නවා ද? මෙසේ සමේ රෝගයක් හට ගත්තේ ඇයි? කියා.

”අනේ නැහැ ස්වාමිනි, එහෙම හේතුවක් සොයා ගන්නට නැහැ. ආහාර පානාදියෙන් වස විෂක් වුණෙත් නැහැ. වෙනත් විශේෂ ආහාරයක් ගත්තෙත් නැහැ. හේතුවක් නැතිව කැසීමට පටන් ගෙන මුළු ශරීරය පුරා පැතිරුණා. බෙහෙත් කළ ද ගුණයක් නම් ලැබුණේ නැහැ. ඒ නිසා මෙයට හේතුවක් මම නො දනිමි.”

”රෝහිණි, ඔබගේ රෝගයට හේතුවක් තිබෙනවා. පෙර ආත්මයක ඔබේ සිතේ හටගත් ක්‍රෝධය යි එයට හේතුව. පෙර ආත්මයක දී ඔබ බරණැස් රජුගේ අග්‍ර මහේෂිකාව වී සිටියා. එදා එරට ඉතා රූපවත් නාට්‍යාංගනාවක් සිටියා. රජතුමාගේ සිත ඒ නාටක ස්ත්‍රිය වෙත ඇදී ගියා. ඔබ ඇය කෙරෙහි වෛර බැඳ ගත්තා. ඇයට ඊර්ෂ්‍යා කළා. ඇයට දුකක්, වේදනාවක් දීමට සිතා ඔබ කහඹිලියා ගෙඩි ගෙනැවිත් කුඩු කොට ක්‍රීඩා කරන විලසින් ඇයගේ ඇඟේ තැවරුවා. හොර රහසේ ම ඈ සැතපෙන යහනේ කහඹිලියා තැවරුවා. ඒ නාටක ස්ත්‍රියගේ සිරුරේ කහඹිලියා කුඩු වැදුණ විගස කසන්නට පටන් ගත්තා. මුළු සිරුර පුරා පළු දැම්මා. ඇය හඬ හඬා ගොස් යහනේ වැතිරුණා. යහනේ තවරා තිබු කහඹිලියා නිසා ඇයගේ අසනීපය තව තවත් වැඩිවුණා. ඈ බොහෝ සේ දුක් වින්ඳා.”

”රෝහිණි, එදා අගමෙහෙසිය වශයෙන් සිට ඔබ, කළ දේ ඔබට බොහෝ විපාක ගෙන දෙමින් බොහෝ දුක් වින්ඳා. එහි අවසන් විපාකය යි මෙසේ විඳින්නේ. මෙය ඔබ විසින් ම කරගත් දෙයක්. එනිසා අද පටන් අල්පමාත්‍ර වූ ක්‍රෝධයක් ඉරිසියාවක් හෝ වෛරයක් හටගත් විගස එය වහා දුරු කිරීමට වීර්යය කරන්නැයි” අවවාද කරමින් බුදුරජාණන් වහන්සේ ඉතා මධුර ස්වරයෙන් මේ ගාථාව වදාළා.

කෝධං ජහේ විප්පජභෙය්‍ය මානං
සඤ්ඤෝජනං සබ්බමතික්කමෙය්‍ය
තං නාමරූපස්මිං අසජ්ජමානං
අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා

ක්‍රෝධය දුරු කරන්නට ඕනෑ. විශේෂයෙන් මානය දුරුකළ යුතු දෙයක්. සංසාර බන්ධන සියල්ලම ඉක්මවා යන්නට ඕන. නාමරූප දෙකේ නො ඇලෙන, නිකෙලෙස් පුද්ගලයා පිටුපසින් දුක හඹාගෙන එන්නේ නැහැ.

ඒ මොහොතේ ක්‍රෝධ නො කිරීම, නිහතමානීව සිටීම, මෙත්සිත පැතිරවීම ආදියෙහි වටිනාකම සියලුදෙනාටම වැටහුණා. මේ කෙලෙස් බන්ධන නිසා සංසාරයෙහි නොයෙක් දුක් විඳින්නට සිදුවන බව තේරුණා. කිසිවකට නො ඇලී, නො බැඳී සිටීමේ වටිනාකම තේරුණා. දේශනාව අවසානයේ බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලයන් ලබා ගත්තා. රෝහිණී කුමාරියත් සෝවාන් ඵලයට පත්වුණා. ඒ මොහොතේ ම ඇයගේ ශරීරයේ සියලු රෝග කැළැල් නැතිවුණා. රන්වන් පාටින් දිළිසුණා. ඇය දිගටම මෛත්‍රී භාවනාව පුරුදු කළා. දයාව, කරුණාව පැතිරුවා. මිනිස් ලොවින් චුත වී තව්තිසා දෙව්ලොව උපන්නා.

එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට අපගේ සිතට අකුසල් ඇතුලුවීමට නොදී ඉතා හොඳින් ආරක්ෂිතව සංවිධානය කළ නගරයක් වගේ ආරක්ෂා කරගත යුතුයි. සිත කිලුටු වුණොත් කිලුටු සිතින් කියන, කරන දේ කරත්තේ බැඳි ගොනා පසුපස එන රෝදය වගේ ඒ පුද්ගලයාගේ පසු පස්සේ එනවා. ඒ වගේම පිරිසුදු වූ කුසල් සිතින් කරන කියන දේ තමා හැර නො යන සෙවනැල්ල සේ පසුපසින් පැමිණ ජීවිතයට සැපය, යහපත සැනසිල්ල සලසා දෙනවා.


ඒ නිසා අකුසල්වලින් සිත වළකාගෙන ජීවිතය සැපවත් කරන උතුම් කුසල් නිතර නිතර රැස් කිරීම අප හැම දෙනා විසින් නො පමාව කළයුතු වෙනවා.



පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍උඳුවප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 26 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment