Labels

Tuesday, November 21, 2017

සක් දෙවිඳුන්ගේ මුනිගුණ වැයුම්...

අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ, මිනිසුන්ගේ පමණක් නොව දෙව්බඹුන්ගේ ද ශාස්තෘන් වහන්සේ වෙති. බුදුරජාණන් වහන්සේට “සත්ථා දේව මනුස්සානං” කියන්නේ එහෙයිනි.

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන අවස්ථාවේ මිනිස් ලොව ඒ සදහම් ශ්‍රවණය කළේ පස්වග තවුසන් වහන්සේලා පමණ යි. එහෙත් භූමාටු දෙව්ලොව පටන් අකනිඨා බඹලොව දක්වා ඒ දෙසුමට සවන් දුන් කෝටි සංඛ්‍යාත දෙවියන්, බ්‍රහ්මයන් මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් බවට පත්වුණා. රතන සූත්‍රය, රාහුලෝවාද සූත්‍රය ආදී දේශනාවන් සිදු කරද්දීත් දහස් ගණනින්, ලක්ෂ ගණනින් දෙවියන්, බ්‍රහ්මයන් ධර්මාවබෝධ කළා. චාතුම්මහාරාජික, තාවතිංස දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් ද මහත් වූ දිව්‍ය පිරිසක් සමඟින් පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසා සෝතාපන්න ශ්‍රාවකයෙකු වූ අයුරු සක්කපඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා. දෙවියන්, බ්‍රහ්මයන් හා දහම් පිළිසඳරේ යෙදෙමින් පුන් පොහෝ දින දහමේ හැසිරෙන ආකාරය ගැන විස්තරයක් දීඝ නිකායේ ‘මහා ගෝවින්ද’ සූත්‍රයේ සඳහන් වෙනවා.


සම්බුදු ගුණ


භාග්‍යවතුන් වහන්සේ ගිජුකුළුපව්වේ වැඩ සිටියදී පංචසිඛ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා විසිනුයි මේ විස්තරය හෙළි කරනු ලබන්නේ. පංචසිඛ භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, වස් පවාරණය කළ පසළොස්වක පොහොය දිනක රාත්‍රියේ තව්තිසා දෙව්ලොව සුදම් සභාවට බොහෝ දිව්‍ය පිරිසක් එකතුවුණා. විරූඪ, විරූපාක්ෂ, ධ්‍රැතරාෂ්ඨ, වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරුන් පෙරටු කරගෙන සක් දෙවිඳුන් වාඩි වී සිටියා. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, යම් දෙවි කෙනෙක් මිනිස් ලොවේ දී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පිළිවෙත් පුරා දෙව්ලොව උපත ලැබුවා ද, ඒ දෙවිවරු ශරීර සෝබාවෙනුත්, යසසිනුත් අනෙක් දෙවිවරු අභිබවා බබළනවා.
ඒ අවස්ථාවේ තව්තිසා වැසි දෙවිවරු, භවත්, දිව්‍ය පිරිස වැඩිවෙනවා, අසුර පිරිස අඩුවෙනවා කියා මහත් වූ සතුටින් උදම් ඇනුවා. එතකොට දේවානමින් ද වූ සක්දෙවිඳුන් තෙරුවන් කෙරෙහි පහන් සිත් ඇති දිව්‍ය පිරිස අමතා මේ ගාථා පැවසුවා.
භවත් දෙවියෙනි, ඉන්ද්‍රයා සහිත වූ තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද, ශ්‍රී සද්ධර්මයේ සුධර්මත්වයට ද නමස්කාර කරති.
සුගතයන් වහන්සේගේ ශාසනයේ බඹසර හැසිරී දෙව්ලොව උපන් පැහැපත් වූ යසස් ඇති අලුත් දෙවිවරු දකිම්න් සතුටු වෙනවා.
මහා ප්‍රඥාවන්ත බුදුරදුන්ගේ ශ්‍රාවක වූ මගඵලලාභී ඒ දෙවිවරු පැහැයෙනුත්, යසසිනුත්, ආයුෂයෙනුත් අනිත් දෙවිවරු අභිබවා බබළනවා.
ඉන්ද්‍රයා සහිත තාවතිංස දෙවියෝ මේ දැක තථාගතයන් වහන්සේට ද, ශ්‍රි සද්ධර්මයේ සුධර්මත්වයට ද වන්දනා කරති.
භාග්‍යවතුන් වහන්ස, ඒ ගාථා ඇසූ දෙවිවරු වඩ වඩාත් සතුටු වෙමින් දිව්‍ය පිරිස වැඩිවෙනවා. අසුර පිරිස අඩුවෙනවා යැයි උදම් අනන මොහොතේ සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ ලෙසම පවතින සම්බුදු ගුණ අටක් දෙවිවරුන්ට පැවසුවා.

නො ඇලීම


තව්තිසා දෙවිවරුනි, ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ගේ සැපය පිණිස, යහපත පිණිස, හිතසුව පිණිස පිළිපන් සේක. මේ අංගයන්ගෙන් සමත්විත වෙනත් ශාස්තෘවරයෙකු භාග්‍යවතුන් වහන්සේ හැර තුන් කල්හි ම අපි නො දකිමු.
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කරන ලද්දේ ය. මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි නිසා සන්දිට්ඨික වන සේක. ඕනෑම කාලයක දී අවබෝධ කළ හැකි නිසා අකාලික වන සේක. ඇවිත් බලන්න යැයි කිය හැකි නිසා ඒහිපස්සික වන සේක. තමා තුළට පමුණුවා ගතහැකි නිසා ඕපනයික වන සේක. බුද්ධිමත් මිනිසුන් විසින් තම තමන් නැණ පමණින් අවබෝධ කරගත යුතු නිසා “පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි” වන සේක. මෙසේ තමා තුළට පුමුණුවා ගත හැකි දහමක් දෙසන වෙනත් ශාස්තෘවරයෙකු භාග්‍යවතුන් වහන්සේ හැර තුන් කල්හි ම අපි නො දකිමු.
භාග්‍යවතුන් වහන්සේ කුසල් අකුසල් ද, වැරැදි සහිත දේ ද, නිවැරැදි දේ ද, පුරුදු කළ යුතු දේ ද, අත්හළ යුතු දේ ද, ලාමක දේ ද , ශ්‍රේෂ්ඨ දේ ද, අයහපත් දේ ද, යහපත් දේ ද, ඉතාමත් මැනවින් පෙන්වා වදාළ සේක. ඒ අයුරින් පෙන්වා දෙන වෙනත් ශාස්තෘවරයෙක් නම් භාග්‍යවතුන් වහන්සේ හැර තුන්කල්හි ම අපි නො දකිමු.
භාග්‍යවතුන් වහන්සේ විසින් සිව්වනක් ශ්‍රාවක පිරිසට නිර්වාණගාමී ප්‍රතිපදාව මැනවින් දේශනා කළ සේක. ගංගා නදියේ දිය, යමුනා නදියේ දිය හා සැසඳෙන්නා සේ නිවන් මග ද, ඒ අමා මහ නිවන ද, මනාකොට සැසඳෙයි. මෙවැනි දහමක් දෙසන වෙනත් ශාස්තෘවරයෙක් නම් භාග්‍යවතුන් වහන්සේ හැර තුන්කල්හිම අපි නො දකිමු.
භාග්‍යවතුන් වහන්සේට බොහෝ සෙයින් ම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසය ලැබේ. රජවරුන්ගේ පටන් සියලු මනුෂ්‍යයෝ ද, දෙවියෝ ද භාග්‍යවතුන් වහන්සේට පැහැදී සිටිති. භාග්‍යවතුන් වහන්සේ ආහාර වළඳන්නේ මද, ප්‍රමාදයෙන් තොරවම ය. මෙවැනි පිවිතුරු ශාස්තෘත්වයක් නම් භාග්‍යවතුන් හැර තුන්කල්හි ම අපි නො දකිමු.
භාග්‍යවතුන් වහන්සේගේ සරණ ලැබූ අරහත් මුනිවරු ද, මගඵල ලාභී ශ්‍රාවක සංඝයා ද පිරිවරා වැඩ සිටින සේක. එනමුත් භාග්‍යවතුන් වහන්සේ පිරිසේ නො ඇලී විමුක්ති සුව විඳිමින් ඒ මහා ශ්‍රාවක පිරිස මැද දී ද හුදෙකලාවේ වසන සේක. මෙවන් නො ඇලෙන ගුණයෙන් යුතු ශාස්තෘන් වහන්සේ නමක් නම් භාග්‍යවතුන් වහන්සේ හැර තුන් කල්හි ම අපි නො දකිමු.
භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ ද ඒ ආකාරයෙන් ම කටයුතු කරන සේක. යම් ආකාරයකින් කටයුතු කරන්නේ ද එයම ප්‍රකාශ කරන සේක. මේ ආකාරයෙන් යමක් පවසන්නේ ද එයම කරන සේක, යමක් කරන්නේ ද එයම පවසන සේක.මෙසේ යථාවාදී තථාකාරි, යථාකාරී තථාවාදි වූ ධම්මානුධම්මපටිපන්න ශාස්තෘන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ හැර තුන් කල්හි ම අපි නො දකිමු.
භාග්‍යවතුන් වහන්සේ ආර්ය මාර්ගය ප්‍රගුණ කොට සියලු සැක දුරු කොට කෙසේද. . . කෙසේද? යන විමති දුරුකොට පරිපූර්ණ වූ මමෝරථය ඇති සේක. මෙවන් ශාස්තෘන් වහන්සේ නමක් නම් භාග්‍යවතුන් වහන්සේ හැර තුන් කල්හිම අපි නො දකිමු.


දෙව් මිනිසුන්ට යහපත


භාග්‍යවතුන් වහන්සේගේ, මේ සම්බුදු ගුණ ඇසු තව්තිසා වැසි දෙවිවරු බොහෝ සෙයින් ප්‍රමුදිත වූහ. සතුටින් ඉපිල ගොස් මෙසේ කීහ. “ අප භාග්‍යවතුන් වහන්සේ මෙන් දහම් දෙසන බුදුවරුන් හතරනමක් හෝ තුන්නමක් හෝ දෙනමක් හෝ පහළ වන්නේ නම් දෙව් මිනිස් ලෝකයාට කෙතරම් යහපතක්” ද? එවිට සක් දෙවිඳුන් පවසනවා, “පින්වත් දෙවිවරුනි, එක් ලෝක ධාතුවක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකවර පහළවීම සිදු නො වන කරුණකි. එමනිසා භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් නිදුක් නිරෝගී ව වැඩ සිටින්නේ නම් එය බොහෝ දෙවි මිනිසුන්ට යහපත පිණිස පවතිනවා”.
ඉන්පසු උතුරු පැත්තෙන් දේවානුභාවය ඉක්මවා ගිය මහත් වූ ආලෝකයක් විහිදුවාගෙන සනංකුමාර බ්‍රහ්මරාජයා පැමිණියේ ය. ඒ සම්බුදු ගුණ අසා බ්‍රහ්මරාජයා ද බොහෝ සෙයින්ම සතුටට පත්වූ අතර භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ත්ව අවධියේ දී ත් මහා ගෝවින්ද නමින් තාපසයෙක්ව සිටි කාලයේ දහස් ගණන් ශ්‍රාවකයන්ට සතර බ්‍රහ්ම විහරණ භාවනාවෙන් බඹලොව උපතට මග පෙන්වු බව පැවසීය.
පංචසිඛ දිව්‍ය පුත්‍රයා මේ අසිරිමත් විස්තරය කළපසු තුන් ලෝකාග්‍ර අප මුනිරදුන් මෙසේ වදාළ සේක. පින්වත් පංචසිඛ, එදා මම මහාගෝවින්ද තාපසයාව සිටියදී මග කිවුවේ බඹලොව උපත පිණිස පමණි. නමුත් තථාගතයන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය ඒකාන්තයෙන්ම අවබෝධයෙන් ම සසර කල කිරීම පිණිස, නො ඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, කෙලෙස් සංසිඳවීම පිණිස, විශේෂ අවබෝධ ඤාණය පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, අමා මහ නිවන් පිණිස පවතින්නේ ය. පංචසිඛ, මේ ශාසනයේ උතුම් පැවිදි බව හිස් වූවක් නො වන්නේ ම ය. ඵල සහිත වූ අභිවෘද්ධියක් උදා කර දෙන්නක්ම ය.

එනිසා අපත් දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ශාස්තෘත්වයේ පිහිට පිළිසරණ ලබාගෙන, තුණුරුවන කෙරෙහි චිත්තප්‍රසාදය ඇතිකර ගෙන, අපේ ජීවිතයට ගෞතම බුදු සසුනේ රැකවරණය උදා කරගන්නට උත්සාහවන්ත වෙමු.

පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 17 වන  සිකුරාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment