Labels

Thursday, November 16, 2017

ජීවිතය අපායක් කර ගන්නේ ඇයි?

එක් ගමක ප්‍රාතිහාර්යය පාන්නට සමත් ගුරුවරයෙක් සිටියේ ය. දිනක් ගෝලයෙක් ඔහුගෙන් මෙසේ ඇසුවේ ය.
“ගුරුතුමනි, ඔබට ප්‍රාතිහාර්යපාන්නට පුළුවන් කියන කතාව ඇත්තක් ද?”
“ඔව් මට පුළුවනි.” ගුරුතුමා පිළිතුරු දුන්නේ ය.
“එහෙම නම් ගුරුතුමනි, දිව්‍ය ලෝකයත්, අපායත් මවා පෙන්වනු මැනවි” යි ගෝලයා ඉල්ලීමක් කළේ ය. ගුරුතුමා ටික වේලාවක් නිහඬව සිටියේ ය. මොහොතකින් ඉදිරිපිට විශාල මේසයක් මැවුණි. එහි ඉතා රසවත්, සුවඳවත් බොජුන් පිරී තිබුණි. ඒ වටා මිනිසුන් පිරිසකි. වෙනස ඔවුන්ගේ අත් වැලමිට ළඟින් නමන්නට නොහැකිවීම ය. මේ නිසා ආහාර මුව අසළට ගන්නට අසීරු ය. ඔවුහු බොහෝ උත්සාහ කළහ. එහෙත් ආහාර ස්වල්පයක් හෝ ගන්නට නොහැකි විය. දැන් ඔවුන් බොහෝ තරහින් ය. පාලනයක් නැති කෝපය නිසා ඔවුහු මේසය මත වූ ආහාර ඒ මේ අත විසිර වූහ. කෑ කෝ ගැසූහ. නරක වචන කීහ. කලබල කළහ. ගුරුතුමා, ගෝලයා අමතා ‘දරුව, මේ තමයි අපාය’ යැයි කීවේ ය.
‘එහෙම නම් ගුරුතුමනි, දිව්‍ය ලෝකය මවා පෙන්වන්න’ යි ගෝලයා කීවේ ය.
පෙර පරිදිම රස බොජුන් පිරි මේසයක් මැවුණේ ය. මිනිසුන් ද විය. එහෙත් කලබලයක් නැත. ඔවුහු සිනාසෙමින්, සතුටින් කල්පනා කළහ. ටික වේලාවක් ගෙවුණි. එක් මිනිසෙක් අසළ මිනිසාට ආහාර කැව්වේ ය. ඔහු ද පෙරළා ඒ මිනිසාට ආහාර කැව්වේ ය. සියල්ලෝ ම එලෙස ආහාර අනුභව කළහ. කිසිදු ප්‍රශ්නයක් නැත. සුහදව බෙදා හදා ගත්හ. එය පෙන්වා “මේ තමයි දිව්‍ය ලෝකය” යැයි ගුරුතුමා කීවේ ය.

මේ ඉන්දියාවේ සහ චීනයේ නිතර ඇසෙන ජන කතාවකි. මතුපිටින් සරල වුව එහි අරුත් ගැඹුරු ය. පවුලේ, ගමේ, ආයතනයේ, සමාජයේ දී එකිනෙකා වෙනුවෙන් අපගේ යුතුකම්, වගකීම් කෙසේ ඉටු විය යුතු ද යන්න ගැන පැහැදිලි කරන්නකි. දුර්වලතා මඟ හරවාගෙන ප්‍රශ්නයක් විසඳා ගන්නා සැටි, අනුන් ගැන සිතන සැටි, කලබලවීමෙන් කිසිවක් යහපත් ලෙස විසඳා ගන්නට නොහැකිවනවා සේ ම අලුත් ගැටලු ඇතිවන සැටි, පරිසරයම දුර්ගන්ධවත් වන සැටි කියා දෙයි.
අනුන්ට උදවු උපකාර කිරීම, පිහිට වීම, උතුම් ගුණයක් බව බුදු දහමේ සඳහන් ය. අපේ බුදුරජාණන් වහන්සේ වැඩි කාලයක් අනුන්ට උදව් කළ උතුම් ශාස්තෘවරයෙකි.
උරුවෙල් දනව්වේ බමුණු ගෙදරක දාසියක් වූවා ය. බමුණාගේ ලේලිය මේ දාසියට බොහෝ නපුරුකම් කළා ය. වරදක් නැතත් කෙස් වැටියෙන් අල්ලා පහර දුන්නා ය. වේදනාව ඉවසනු නොහැකිව ඇය කෙස්වැටිය මුලින් ම කපා හිස බූ ගෑවා ය. ඒ දුටු ලේලිය තවත් කෝප වී ගෙලෙහි ලණුවක් ගැට ගසා එයින් අල්ලාගෙන ඇයට පහර දුන්නා ය. මල් දමක් සේ ගෙලෙහි එල්ලෙන රැහැන නිසා ඒ දාසිය රජ්ජුමාලා නමින් ප්‍රසිද්ධ වූවා ය.
තාඩන පීඩන ඉවසා සිටිනු නොහැකි දාසිය දිනක් ජලය ගෙන එන්නට යන බව හඟවමින් නිවසින් පිට විය. කැළයට ගොස් ‘අනේ, මට මෙලෙස ජීවත් වීමෙන් ඇති ඵලය කුමක්ද? ජීවිතය නැති කරගනිම් යි සිතා මළ පුඩුවක් සාදා ගෙලට දමා ගන්නට සූදානම් වුණි. කිසිවෙක් වේ දැයි අවට විපරම් කර බැලුවා ය. රන්පැහැති සිරුරින් බබළමින් ගසක් මුල වැඩ සිටින බුදුහිමියන් දැක උන්වහන්සේ දෙස ඇසිපිය නොගසා බලා සිටියා ය. දෑස් ඉවතට නොගෙනම බලා සිටියා ය. බුදු හිමියෝ ඇයට කතා කළහ. ‘දුවණියනි, මිය යන්නට එපා. මා වෙත පැමිණෙන්න.’ උන්වහන්සේගේ කරුණාබර ආමන්ත්‍රණය සමඟ ම ඇයට සියලු වේදනා අමතක වුණි. මහත් සැනසීමක් ලැබුණි. බුදු රදුන් වෙත පැමිණ වැඳ වැටුණි. දහම් අසා සෝවාන් වුණි.
එහිදී බුදුරජාණන් වහන්සේ රජ්ජුමාලාට අවවාද කළේ සතුරන්ට වුවද, තමන්ට තාඩන පීඩන කරන අයට වුවද, මරා දමන්නට උත්සාහ කරන අයට වුවද කරුණාව හා මෛත්‍රීය දක්වන ලෙස ය. ‘මට පහර දුන්නත් කමක් නෑ. මරා දැමුවත් කමක් නෑ. මගේ දුවණියකට මෙන් මම ඇයට සලකමි. මෛත්‍රී කරමි.’ ඇය අධිෂ්ඨාන කර ගත්තා ය. වතුර කළයත් පුරවාගෙන මෛත්‍රී සිතින් නිවසට ගියා ය.
වෙනදාට වඩා ප්‍රසන්න මුහුණින් නිවස දෙසට එන රජ්ජුමාලා ගේ දසුන බමුණාගේ පුදුමයට හේතු විය. ‘දුව, වතුර ගෙන එන්නට ගොස් මෙතරම් ප්‍රමාද වූයේ ඇයි, අද ඔබගේ මුහුණ බබළනවා.
වෙනදා වගේ නොවෙයි. කරුණාවෙන්, ආදරයෙන් කටයුතු කරන බව පෙනෙනවා. මේ වෙනස කුමක් නිසාද? යි බමුණා ඇසුවේ ය.
“අද මම බුදුහිමි සරණ ගියෙමි. තුනුරුවන්ට මාගේ ජීවිතය පුජා කළෙමි. බමුණ මෙතෙක් මගෙන් වරදක් වී නම් සමාවනු මැනවි.”
මේ ඇසූ බමුණා ඇය ගැන පැහැදුණේ ය. තම ලේලියට කතා කර මින් පසු රජ්ජුමාලාට කිසිදු හිංසාවක් නොකරන ලෙස කීවේ ය. සියල්ලෝම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දහම් ඇසූහ. උන්වහන්සේ සෑම දෙනාගේ ම සිත් සැදූහ. අනුන්ගේ සිත් රිදෙන, වේදනා ගෙන දෙන අසහනකාරී වදනින් පමණක් නොව කායික හිංසා පීඩාවලින් ද වළකින ලෙස උන්වහන්සේ දේශනා කළහ.
ඒ දහම් ඇසූ බමුණාගේ ලේලිය “අද පටන් මම රජ්ජුමාලාට මගේ කුසින් ඉපැදුණු දරුවෙකුට සේ සලකමි. එසේ නැතිනම් එක කුස උපන් සහෝදරියකට සේ සලකමි” යි පොරොන්දු වූවා ය.
ඔවුනොවුන්ගේ ක්‍රියාකාරීත්වය මත අපි ජීවිතය අපායක් කර ගනිමු. ඒ තමන් ගැන පමණක් ම සිතීමෙනි. අනුන් ගැන නොසිතීමෙනි. නිවෙසක අපමණ වැඩ කටයුතු අතර අපගේ අම්මා මොන තරම්, වෙහෙස වෙනවා ද? තාත්තා, සහෝදර සහෝදරියන් මොනතරම් වෙහෙස වෙනවා ද? සුළු උපකාරයක් හෝ ඔවුනොවුන් වෙනුවෙන් ඉටු කරන්නට තරම් නැමෙන සිතක් තිබෙනවා නම් ඒ ගෙදර පරිසරය මොන තරම් සුවදායී වේ ද? නැති බැරි කෙනෙකුට, අසරණයෙකුට උපකාරයක් වන්නට, බස්රියේ දී දුම්රියේ දී තමන්ගේ අසුන තවත් කෙනෙකුට පිරිනමන්නට නැමෙන සිත මොනතරම් සමාජ හිතකාමී ද?
සියලු සත්ත්වයන් වෙනුවෙන් මෛත්‍රී සිතින් කරන උපකාරය පමණක් නොව, යහපතක් වේවායි සිතන සිතිවිල්ල පවා තමන්ටම සුවය සදන්නේ ය. ප්‍රායෝගිකව අත්හදා බැලීමෙන් එය වටහා ගැන්ම අසීරු නැත. සංස්කෘත පොතක එන පාඨකයක මෙසේ කියැවේ.
“ජගදූප කෘති රෙව බුද්ධ පූජා”

බුද්ධ පූජාව යනු, එනම් බුදුරජාණන් වහන්සේ වෙත කරන වන්දනාව, පූජාව යනු ලෝකයට උදවු උපකාර කිරීමය, යනුවෙනි. එවන් සිතිවිලි අවංකව උපදවා ගත හැකි වන්නේ මෛත්‍රී සිතින් ලෝකය දකින පුද්ගලයාටය.


බළන්ගොඩ 
ශ්‍රී ධර්මානන්ද විහාරාධිපති 
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment