Labels

Wednesday, November 15, 2017

බුදු ඇසින් දුටු ලෝ දහම (ආර්ය පර්යේෂණ සූත්‍රය)

"තෘෂ්ණාවෙන් මුසපත්වන මනුෂ්‍යයාට තමාගේ මරණ ස්වභාවය පිළිබඳව ද ඇති අමතකවීම ය. එනම් මරණ ස්වභාවය මෙනෙහි නොකිරීම ය. මරණය උරුමකොට ඇත්තෙකුට මරණය උරුම කොට ඇත්තෙකුගෙන් සනාථනික පිළියම, පිළිතුරක් සොයා ගැනීම කළ නොහැකි ය."

භාග්‍යවතුන් වහන්සේ විසින් පරමාර්ථ ධර්ම කතාවෙහි දී ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස පරිළාහ යනුවෙන් දුක් ස්වභාවය විස්තර කොට දේශනා කළහ.


උපන් සත්ත්වයා දිරාගෙන යෑමත්, ලෙඩදුක්වලට ගොදුරුවීමත් උරුම කොට ඇත. ඉන් ගැලවීමක් කිසිසේත් ම නැත. දිරාගෙන යෑමෙන් හා ලෙඩදුක් ආදියෙන් තමාටත් සැනසීමක්, පිහිටක් නොමැති ව පංචකාම ගුණයන්ට හසුවන සත්වයෝ, ඒ පංචකාම ගුණයන්ගෙන් සිත ඔසවා තබමින් සොයන්නේ ව්‍යාධි ධර්මයට ම උරුම වූ අඹු දරුවන් ය. දැසි දස්සන් ය. එළු බැටළු ආදී සත්වයන් ය. මුතු මැණික්, කහවනු ආදී සම්පත් ය. මේවාට තෘෂ්ණාවෙන් ගැටගැසී, මුසපත් වූ සිතින් ජීවිත පවත්වන බව මේ දහම් කතාවෙහි පැහැදිලි කරයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ දහම් පෙළ තමා තමාට ම ගළපා ගනිමින් මනසිකාරය කළ යුතුයි. එනම් මෙනෙහි කිරීම අවශ්‍යයයි. මේ පෙන්වා දෙන්නේ, සසරෙහි භයානක බව තේරුම් කොට දුකින් පිරුණු සසරෙන් එතෙරවීම නම් වූ නිවන් මඟයි. ආර්ය පර්යේෂණය යනු මෙහි මූලික කතාවයි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරති. මහණෙනි, මරණ ධර්මය යැයි කියන්නේ කුමක් ද?
පුත්‍ර භාර්යාවෝ එනම්, අඹු දරුවෝ මරණ ධර්මයෝ යි. දැසි දස්සෝ මරණ ධර්මයෝ යි. එළු බැටළුවෝ මරණ ධර්මයෝ යි. කුකුළන් හා ඌරන් මරණ ධර්මයෝ යි. ඇත්, අස්, ගව, වෙළඹ ආදීහු මරණ ධර්මයෝ යි. මහණෙනි, පංචකාමයන්ගෙන් යුතු උපදීන් හු මරණ ධර්මයෝ යි. මේ ලෝවැසියෝ තෘෂ්ණාවෙන් මේවාට හසු වී මුසපත් ව ඒවායෙහි බැසගෙන තෙමේත් මරණ ස්වභාවය උරුම කොටගනිති. මරණ ධර්මයක් ම සොයති. උපතින් ම මරණය රැගෙන පැමිණි මනුස්සයෝ මරණයට උරුමකම් කියන තවත් පුද්ගලයන් ම සොයා යති. මරණයෙන් තමාට ගැලවීමක් නැත්තේ මරණයෙන් ගැලවීමක් නැති පුද්ගලයන් ම සොයා යති.
නුවණින් කල්පනා කරන විට පැහැදිලි වන්නේ, තෘෂ්ණාවෙන් මුසපත්වන මනුෂ්‍යයාට තමාගේ මරණ ස්වභාවය පිළිබඳව ද ඇති අමතකවීම ය. එනම් මරණ ස්වභාවය මෙනෙහි නොකිරීම ය. මරණය උරුමකොට ඇත්තෙකුට මරණය උරුම කොට ඇත්තෙකුගෙන් සනාථනික පිළියම, පිළිතුරක් සොයා ගැනීම කළ නොහැකිය.
භාග්‍යවතුන් වහන්සේ විසින් අපට පරම සුවය නම් වූ නිවන දේශනා කරනු ලැබූවේ අරහත් බෝධියෙන් යුතුව මරණ ධර්මය නැති කිරීමෙනි. එහෙත් ආශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා තෘෂ්ණාවෙන් මුසපත්වීම නිසා මරණ ධර්මයෙන් යුතු පුද්ගලයන් ම සතුට පිණිස, සුවය පිණිස සොයා යයි. ඔහුට සැබෑ සුවයක්, සතුටක් නො ලැබෙන අතර ඉතිරි වන්නේ ශෝකය, දුක, සන්තාපය පමණි. මරණයට උරුම ඇත්තෝ මරණයට උරුම අය වෙතින් සතුට සොයාගොස් මරණ ධර්මයට මුහුණපාන ඒ අය කෙරෙහි බැඳී ඔවුන්ගේ වෙන්වීම නිසා ප්‍ර‍්‍රිය විප්‍රයෝගයෙන් හඬා වැළපෙන ආකාරය තම තමන්ගේ ම ජීවිත අත්දැකීම්වලින් මෙනෙහි කොට බලන්න. එය සම්මා සමාධිය ඇති කර ගැනීමට හේතුවක් වෙයි.
භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරති. මහණෙනි, ශෝක ධර්මයෝ යැයි කියන්නේ කුමක් ද?
මහණෙනි, පුත්‍ර භාර්යාවෝ ශෝක ධර්මයෝ යි. දැසි දස්සෝ ශෝක ධර්මයෝ යි. එළු, බැටළු ශෝක ධර්මයෝ යි. කුකුළන් හා ඌරන් ශෝක ධර්මයෝ යි. ඇත්, ගව, අස්, වෙළඹ ආදීහු ශෝක ධර්මයෝ යි. මහණෙනි, මේ සියල්ල ම පංචකාම ගුණයන්ගෙන් යුක්ත උපදීන් ය. මේ ලෝ වැසි සත්ත්වයා උපදීන්හි, කෙලෙස්වල වෙළී මුසපත් ව ඒවායෙහි බැසගෙන තමාත් ශෝක ස්වභාවය උරුමකොටගෙන ශෝක ධර්මයම සොයති. මෙහි දී තේරුම්ගත යුතු කරුණක් තිබේ. එනම් ශෝකයෙන් යුක්ත කෙනෙක් සැනසිල්ලක් සෙවිය යුත්තේ ශෝකයක් නැති පුද්ගලයකුගෙනි. ශෝකයක් නැති වස්තුවක් වෙතිනි. එහෙත් ශෝකය උරුම කොට සිටින අයෙක් ශෝකය උරුමකොට පවතින පුද්ගලයෙකුගෙන් හා වස්තුවකින් නිවීමක් සෙවීම සම්මා දිට්ඨියට අයත් නොවන කරුණකි. නුවණින් සිහිපත් කරන පුද්ගලයෙක් විසින් ශෝකය නිවා ගන්නට නම් ශෝකය සකස් නොවන වස්තුවක් ම අරමුණු කළ යුතු ය.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහි දේශනා කරන්නේ ශෝකය උරුම කොට සිටින පුද්ගලයන් විසින් ශෝකයෙන් යුක්ත පුද්ගලයන් හෝ ශෝකය හදා දෙන වස්තූන් ම ශෝකයෙන් ගැලවීම පිණිස සොයා යන බව ය. මෙය අනාර්ය පර්යේෂණයේ ස්වභාවය බව මෙයින් මතුකොට දක්වයි.
මෙහි දී මේ එළු බැටළුවන් ගැන සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දවස බොහෝ මනුෂ්‍යයන් ජීවත්වීම පිණිස වෘත්තීන් වශයෙන් එනම් රැකියාවන් වශයෙන් ධනය ඉපයීම පිණීස ඒවා සොයා යෑම යි. වර්තමානයේ මිල මුදල්, මහා මන්දිර, යාන වාහන, වටිනා ඇඳුම් පැළඳුම්, ආභරණ ආදිය සොයා යාම මෙනි.
භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරති. මහණෙනි, සංක්ලේශ ධර්ම යැයි කියන්නේ කුමක් ද?
අඹු දරුවෝ සංක්ලේශ ධර්මයෝ යි. දැසි දස්සෝ සංක්ලේශ ධර්මයෝ යි. එළු බැටළුවෝ සංක්ලේශ ධර්මයෝයි. කුකුළන් හා ඌරන් සංක්ලේශ ධර්මයෝ යි. ඇත්, ගව, අස්, වෙළඹ ආදී හු සංක්ලේශ ධර්මයෝයි. රන්, රිදී, සංක්ලේශ ධර්මයෝයි.
මහණෙනි, උපදීහු සංක්ලේශ ධර්මයෝ වෙත්. එනම් ඉහත සඳහන් කළ “ඉටු වඩන, මන වඩන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඇලුම් කරන ආරම්මණ සංක්ලේශ ධර්මයෝ යි. මේ ලෝ වැසි මනුෂ්‍යයෝ තෘෂ්ණාවෙන් මේවාට ගැටී මුසපත් වී ඒ වායේ ම බැසගෙන සංක්ලේශ ධර්මයක් ම උරුම ව සංක්ලේශ ධර්මයන් ම සොයා යති. එනම් ක්ලේශවලින් යුතුව ක්ලේශවලින් ම පටලැවුණු පුද්ගලයන් හා වස්තූන් සැනසිල්ල සොයා මුලාවට පත්ව ගමන් කරන බවයි.
මෙය සරල නිදසුනකින් දැක්වුවොත්, ගිලන් ව සිටින්නකු ඒ ගිලන් බවෙන් නිදහස් වන්නට මගක් නොදැක සිටින ව්‍යාධි පුද්ගලයෙකුගේ ව්‍යාධියෙන් ගැලවෙන්නට එවැනි ම රෝගයකින් ගැළවෙන්නට මාර්ගයක් සොයන්නාක් මෙනි. තමාත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන්ගෙන් වෙලී එසේ ම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගෙන් වෙළුණු පුද්ගලයන් වෙතින් සැනසිල්ල සොයාගෙන යෑමයි. ඉන් සිදු වන්නේ තවත් අවුලෙන් අවුලට පත්වීමයි. සන්තාපයෙන් සන්තාපයට පත්වීමයි. සැනසිල්ලක් නම් නොවේ. එසේ භාග්‍යවතුන් වහන්සේ අනාර්ය පර්යේෂණය විස්තර කොට දේශනා කළහ.
ඉහත සඳහන් කළ අනාර්ය පර්යේෂණ දහම් කතාව වර්තමාන පරිසරයට ගළපාගෙන විවරණයක් ඇති කර ගනිමු. වර්තමාන පරිසරයේ ද බොහෝ මනුෂ්‍යයෝ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව ආදී දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරී ඒවා සියල්ල අමතක කොට බාහිර වස්තූන් කෙරේ මුසපත්ව පස්පව් දස අකුසල් කරමින් ගමන් කරනවා නොවේ ද? උපත හා සමගින් ම ලෙඩදුක්, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, තමන් කැමැති දෑ එසේ ඉටුකරගන්න නොහැකිවීම ආදී දුක්ඛ දෝමනස්සයන්ගෙන් යුක්ත වූයේ ඒ සියල්ල අමතක කොට ධන ධාන්‍යය, මිල මුදල්, තනතුරු, කීර්ති ප්‍රශංසා ආදී වශයෙන් සොයා යමින් තෘෂ්ණාවෙන් මුසපත්ව කටයුතු කරනවා නොවේ ද?
බොහෝ කෙනෙක් මෙසේ තෘෂ්ණාවෙන් මුසපත් ව ක්ලේශ ධර්මයන් ම සොයා යන්නේ බොහෝ ධන ධාන්‍යය එකතු කරති. මෙලොව ජීවිතය ම බොහෝ දුක් විඳ ක්ලේශවලින් පිරී එකතුකොට ගත් ධනය සියල්ල මෙලොව තබා මිය පරලොව යති.
ක්ලේශ ධර්මවලින් පිරී මිල මුදල්, ධන ධාන්‍යය ආදී බොහෝ වස්තූන් සොයා ගිය ඔවුහු ජීවිතයේ වැඩිපුර කාලයක් ගත කළේ සැකය, බිය, තරහව, වෛරය, පළිගැනීම්, අමනාපය, වැනි සිතිවිලි සමගින් ය.

අතෘප්තිකර ආශාවන්ගෙන් පිරිපුන් ව ජීවත්වන ඔවුහු සිතෙන් ක්ලේශවලින් බැඳී මට මෙපමණ ධනයක් තිබේ යැයි සතුටක් සොයන්නට උත්සාහ කරති. එහෙත් ඒ සොයන සතුටෙහි සැබෑ සතුටක් මතු නොවන්නේ අනාර්ය පර්යේෂණයක් බඳු වැරැදි ආකාරයෙන් සැනසිල්ල සෙවීම නිසා ය. ඒ සෙවීම තුළ තරහව ද, වෛරය ද, වංචාව ද, සැකය ද, භය ද බොහෝ සෙයින් පිරී පවතින නිසා ය.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment