Labels

Saturday, November 18, 2017

මහත්ඵල මහානිශංස උපෝසථ සීලය

අපගේ ශාස්තෘන් වහන්සේ අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස ගමන් කළ යුතු මාර්ගය ලෙස වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මෙය සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවෙන් යුතු වේ. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා මුලින් ම හික්මෙන්නේ සීලය තුළ යි. නිති පන්සිල් සුරකින ඔහු පොහොය දිනට අංග අටකින් යුතු උපෝසථ සීලය සමාදන් වෙනවා.


සීලයේ අනුසස්


උපෝසථ සීලයේ අනුසස් පිළිබඳව අංගුත්තර නිකායේ සඳහන් “විශාඛා උපෝසථ සූත්‍රයේ” දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.
පින්වත් විශාඛාවෙනි, අංග අටකින් යුතු උපෝසථ සීලය සමාදන්වීම මහත්ඵල ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබළීම් ඇත්තේ වෙයි. මහත් යහපත ඇත්තේ වෙයි.

විශාඛාවෙනි, ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් විමසනවා. රහතන් වහන්සේ දිවි ඇති තෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වැළකුණු සේ්ක. දඬු මුගුරු අත්හැර අවි ආයුධ අත්හැර, ලජ්ජා ඇතිව, දයාවෙන් යුතුව සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පිතව වසන සේක. මමත් අද දින සතුන් මැරීම අත්හැර, දඬු මුගුªරු අත්හැර, අවි ආයුධ අත්හැර, ලජ්ජා ඇතිව, දයාවෙන් යුතුව සියලු ප්‍රාණයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරමි. මම මේ අංග සමාදන් වී රහතන් වහන්සේ අනුව යමි” කියා මේ පළමු අංගයන්ගෙන් සමන්විත වෙයි.
ආර්ය ශ්‍රාවකයා, උතුම් රහතන් වහන්සේ දිවි ඇති තෙක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටි අයුරු සිහිපත් කරනවා. සොරකමින් වැළකී, බ්‍රහ්මචාරීව වාසය කරමින්, බොරු කීමෙන් වැළකී, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටි අයුරු සිහි කරනවා. ඒ වගේම රාත්‍රි භෝජනයෙන් තොර ව විකාලයේ ආහාර ගැනීමෙන් වැළකී සිටි අයුරු, නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දේ නැරඹීම, මල් සුවඳ විලවුන් දැරීම, විසිතුරු වටිනා සුඛෝපභෝගි ආසන වලින් වැළකී සැතපුණු අයුරු සිහිකරමින් පොහෝය දින අෂ්ටාංග උපෝසථ සීලය රකිනවා.

රජ සැපතට - වැඩි සැපත


විශාඛාවෙනි, මේ අංග අටකින් යුතු උපෝසථ සීලය කොපමණ මහත්ඵල වෙයි ද? කොපමණ මහානිශංස වෙයි ද? කොපමණ මහා බැබළීම් ඇත්තේ වෙයි ද? කොපමණ මහා පැතිරීම් ඇත්තේ වෙයි ද?
විශාඛාවෙනි, යමෙක් මේ අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේතිය, වංග, කුරු, පංචාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ යන සොළොස් මහා ජනපදයන්හි බොහෝ සත්රුවන් ඇතිව ඉසුරුමත් බව, අධිපති බව ඇතිව රාජ්‍ය කරවන්නේ වෙයි ද, මෙය අෂ්ටාංග උපෝසථය සමාදන් වීමෙන් ලැබෙන විපාකයෙහි දහසයෙන් එක් පංගුවක්වත් නො වටියි. ඒ මක් නිසා ද යත් මිනිස් ලොව රජ සැප දිව්‍ය සැප හා සසඳා බලද්දී ඉතා දිළිඳු නිසාවෙනි.

චාතුම්මහාරාජිකය


විශාඛාවෙනි, මිනිස් ආයුෂයෙන් පනස් වසරක්, චාතුම්මහාරාජික දෙවියන්ගේ එක් රාත්‍රි දවාලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුෂ වෙයි. මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අෂ්ටාංග උපෝසථ සිල් ආරක්ෂා කොට කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙව්ලොවෙහි උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි. දිව්‍ය සැප හා සසඳා බලද්දී මිනිස් ලොව රජ සැප ඉතා දිළිඳු ය.

තව්තිසාව


විශාඛාවෙනි, මිනිස් ආයුෂයෙන් වසර සියයක් තව්තිසා දෙවියන්ගේ එක් රාත්‍රී දවාලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසක් තව්තිසා දෙවියන්ගේ ආයුෂ වෙයි. මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අෂ්ටාංග උපෝසථ සිල් ආරක්ෂා කොට කය බිඳී මරණින් මතු තව්තිසා දෙව්ලොවෙහි උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි. විශාඛාවෙනි, දිව්‍ය සැප හා සසඳා බලද්දී මිනිස් ලොව රජ සැප ඉතා දිළිඳු ය.

යාමය


විශාඛාවෙනි, මිනිස් අයුෂයෙන් දෙසිය වසරක් යාම දෙවියන්ගේ එක් රාත්‍රී දවාලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ, දෙදහසක් යාම දෙවියන්ගේ ආයුෂ වෙයි.

තුසිතය


මිනිස් ආයුෂයෙන් හාරසිය වසරක්, තුසිත දෙවියන්ගේ එක් රාත්‍රි දවාලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මාසයක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ හාරදහසක් තුසිත දෙවියන්ගේ ආයුෂ වෙයි.

නිම්මාණරතිය


විශාඛාවෙනි, මිනිස් ආයුෂයෙන් වසර අටසියයක් නිම්මාණරති දෙවියන්ගේ එක් රාත්‍රි දවාලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ අටදහසක් නිම්මාණරති දෙවියන්ගේ ආයුෂ වෙයි.

පරනිම්මිතවසවත්තිය


විශාඛාවෙනි, මිනිස් ආයුෂයෙන් එක්දහස් හයසිය වසරක් පරනිම්මිත වසවත්තී දෙවියන්ගේ එක් රාත්‍රි දවාලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසය දහසක් පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ ආයුෂ වෙයි. විශාඛාවෙනි, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අෂ්ටාංග උපෝසථ සිල් ආරක්ෂා කොට, කය බිඳී මරණින් මතු පරනිම්මිත වසවත්ති දෙව්ලොවෙහි උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි. මේ කරුණ පවසන ලද්දේ දිව්‍ය සැප හා සසඳා බලද්දී මිනිස් ලොව රජ සැප ඉතා දිළිඳු නිසා ය.
සඳත්, හිරුත් යන දෙදෙනා සොඳුරු දැකුම් ඇතිව යම්තාක් දිලෙමින් හැසිරෙත් ද, එසේ හැසිරෙන, අඳුර දුරලන ඒ සඳ, හිරු දෙදෙන දිශා බබුළුවමින් අහසෙහි දිලිසෙයි. මේ සඳ හිරු අතර ලෝකයෙහි මුතු, මැණික්, වෛරෝඩි, සොඳුරු ස්වර්ණ කාංචන යනාදී යම් ධනයක් වේද, හටක නම් රත්‍රන් ආකරයක් වේද, ඒ සියල්ල අෂ්ටාංග උපෝසථ සිල් සුරකින තැනැත්තාට ලැබෙන විපාකයෙන් දහසයෙන් පංගුවක් තරම්වත් නො වටියි.
එහෙයින්, සිල්වත් වූ ස්ත්‍රියක් වෙයි ද, පුරුෂයෙක් වෙයි ද, අංග අටකින් යුක්ත වූ උපෝසථ සිල් මැනවින් ආරක්ෂා කොට සැප උපදවාගෙන පින් කර ස්වර්ගයට යන්නාහු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
වරක් වාසෙට්ඨ උපාසකට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “පින්වත් වාසෙට්ඨයෙනි, සියලු ක්ෂත්‍රියයෝ ත්, මේ අෂ්ටාංග උපෝසථය සමාදන් ව රකිත් නම්, එය සියලුම ක්ෂත්‍රියයන් හට ද, බොහෝ කල් හිත සුව පිණිස වන්නේ ය. වාසෙට්ඨයෙනි, සියලුම බ්‍රාහ්මණයෝත්, සියලුම වෛශ්‍යයෝත්, සියලුම ශුද්‍රයන්හට ද බොහෝ කල් හිතසුව පිණිස වන්නේ ය. වාසටේඨයෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ, දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු සියලු ලෝකයේ මේ අෂ්ටාංග උපෝසථය සමාදන්ව රකිත් නම්, එය දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුත් සියලු ලෝකයාට බොහෝ කල් හිත සුව පිණිස වන්නේ ය.
එනිසා මේ සා අනුසස් ඇති, බැබළීමක් ඇති අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වන්නටත්, සමාදන් වූ සීලය ආරක්ෂා කර ගන්නටත්, අප සැමට ධෛර්යය ලැබේවා.


පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ 
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ‍‍නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment