අප මහා බෝසතාණන් වහන්සේ සම්බුදු පදවිය පතා පාරමි පුරණා සමයේ එක් කලෙක වනගතව විසූ තවුස් පවුලක එකම දරුවා ලෙස ඉපදුණා. මේ පුංචි කුමාරයාගේ ශරීරය ඉතා මෘදුයි. සියුමැලි යි. රන්වන් පාට යි. රන්වන් සිරුරක් තිබූ නිසා ම ඔහුට “සාම” යන නම තැබුවා. සාම කුමාරයා ඉතාමත් කාරුණික යි. අන් අය සැපෙන් ඉන්නවාට කැමැති වුණා. යහපතට කැමැති වුණා.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
සාම කුමාරයා ඉතා කුඩා කාලයේ දී ම මව්පියන්ගේ ඇස් අන්ධ වුණ. එදා සිට මව්පියන් රැකබලා ගත්තේ, පෝෂණය කළේ මේ පුංචි සාම කුමාරයා යි. පුංචි වුණත් ඔහු මවුපියන්ට සැලකීම තමන්ට ලොකු පින්කමක් කර ගන්නට ලැබුණ අවස්ථාව යැයි සිතා ඉතාමත් සතුටින්, ඕනෑකමින් ඒ කටයුත්ත සිදු කළා.
ඉතාමත් අහිංසක මේ පුංචි කුමාරයා කිසිම සතෙකුට හිංසාවක් කළේ නෑ. කිසිවෙකු බියට, ත්‍රාසයට පත් කළෙත් නෑ. සෑම සතෙකුටම කරුණාව දැක්වූවා. මෛත්‍රිය කළා. ඒ නිසාම කැලේ සිටි ලොකු, කුඩා සියලු සතුන් කුමාරයාගේ හොඳ යාළුවෝ වුණා. සිංහයා, කොටියා වගේ දරුණු සතුන්ගෙන් පවා කුමාරයාට කිසිදු දිනක කිසිදු අනතුරක් සිදු වුණේ නෑ.
දවසක් කමාරයා මුවෙකුගේ පිට උඩ නැගලා මව්පියන්ට පැන් ගෙන ඒමට විලට ගියා. මේ වෙලාවේ බරණැස් නුවර රජතුමා මුව දඩයමේ යමින් සිටියේ. මුවන් සමඟ දියට බසින කුමාරයා රජතුමා දුටුවා. මේ වනාන්තරයේ මෙසේ සිටින්නේ කවුදැයි දැන ගැනීමට ඇති වූ බලවත් ආශාව නිසාම රජතුමා හීයක් විද්දා. පයට විද්ද හීය වැදුනේ කුමාරයාගේ ශරීරයට යි. කුමාරයා වේදනාවෙන් එතැනම ඇදගෙන වැටුණා. අසල සිටි මුවෝ බියට පත්ව පැන ගියා.
වේදනාවෙන් වැටී සිටින කුමාරයා “මම කිසි කෙනෙකුªට කවදාවත් කරදරයක්, පීඩාවක් කළේ නැහැ. ඉතින් කවුද මට මෙහෙම හීයකින් විද්දේ. දැන් මම කොහොමද අන්ධ මව්පියන්ට ඇප උපස්ථාන කරන්නේ. කවුරුන් ද ඔවුන් රැකබලා ගන්නේ” කියමින් හඬන්නට පටන් ගත්තා.
කුමාරයාගේ විලාපය ඇසුණු රජතුමාට ඔහු පිළිබඳ විශාල දුකක් ඇතිවුණා. රජතුමා වතුර කළයක් අරගෙන සාම කුමාරයාගේ මව්පියන් වෙත ගොස් සිදු වූ විපත විස්තර කර කියා සිටියා. අන්ධ මව්පියන් බොහෝ සේ දුක් වුණා. රජතුමාගේ උදව්වෙන් මව්පිය දෙදෙනා කුමාරයා වැටී සිටි තැනට ආවා. හීය වැදුණ වේදනාවෙන් කුමාරයා සිහිය නැතිව වැටී සිටියා. මව්පියන් කුමාරයාගේ අසළට පැමිණ ඔහුගේ ගුණ කියන්නට පටන් ගත්තා. කුමාරයාගේ අහිංසකකම, මෛත්‍රිය, කරුණා, මුදිතාව ආදි ගුණ කියමින් සත්‍ය ක්‍රියාවක් සිදුකළා. තම පුංචි පුතා මේ ගුණයන්ගෙන් යුතු බව සත්‍ය නම්, ඒ බලයෙන් ඔහු සුවපත් වේවායි කියා අධිෂ්ඨාන කළා. ඒ මොහාතේම, ඒ සත්‍ය ක්‍රියාවේ බලයෙන් පුංචි සාම කුමාරයා සුවපත් වුණා. මව්පියන්ගෙත් දෙනෙත් සුව වුණා. අන්ධබව නැති වී පෙනීම ලැබුණා.
බෝසත් අවධියේ පටන් අපේ බුදුපියාණන් වහන්සේ සියලු සතුන්ට මෛත්‍රිය, කරුණාව, මුදිතාව පැතිරු ආකාරය මෙම ජාතක කතාවෙන් පැහැදිලි වෙනවා. මෛත්‍රීය කියන්නේ මිතුරුකම යි. සියලු දෙනාට වෙනසක් නැතුව තමාට මෙන්ම අන් අයගේ ද හිතසුව පැතීම මෛත්‍රිය යි. තමන් වහන්සේට ලබාගත හැකිව තිබූ නිවන් අවබෝධය සෑම අවස්ථාවකම අත්හැර සංසාර ගමන දිගු කර ගත්තේ මතු බුදුබව ලබා ගන්නට යි. බුදු බව ලබා ලෝ සතුන් දුකින් මුදවා ගැනීමට යි.
සාමණේර අත්පොත ඇසුරිනි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment