Labels

Sunday, November 19, 2017

නුවණැත්තාගේ ස්වභාවය

බොරුවට ඇති කාලය අඩු ය. සත්‍ය කවදා හෝ ජය ගන්නේ ය. මේ නිසා නොකළ වරදකට නින්දා ලැබුණේ යැයි ජීවිතය ම කලකිරී සිත අවුල් කර ගැනීම සුදුසු නැත. නින්දා ලැබුණ ද ඒවා හැමදාම එකලෙස පවතින්නේ ද නැත. නින්දා පසුපසම ප්‍රශංසා ද පැමිණෙන්නේ ය. ඒ ලෝදහමේ ස්වභාවයයි."

“සෙළෝ යථා ඒකඝනෝ
වාතේන න සමීරතී
ඒවං නින්දා පසංසාසු
න සමිඤ්ඣන්ති පණ්ඩිතා”
මහා ගල්කුලක් මහා සැඬ සුළඟකින්වත් සෙළවිය නොහැකි ය. එමෙන් පණ්ඩිතයා ද කිසිම විටෙක නින්දා ප්‍රසංසාදියෙහි නොසැළෙන්නේ ය.
මෙලොව උපත ලද සියලු දෙනාට උරුම වන පොදු ධර්මතාවක් වන්නේ අටලෝ දහම ය. අටලෝ දහම නම් ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප, දුක ආදී කරුණු කිහිපයයි. මේ අතරින් බොහෝ දෙනා විඳින ලද මනෝභාවය නම් නින්දාවයි. මෙලොව කිසිදු පුද්ගලයෙකු නින්දා නොලැබුවේ යැයි කිව නොහැකි ය. අප තථාගත බුදුපියාණන් වහන්සේ ද ජීවමානව වැඩ විසූ සමයේ නින්දා ලැබූ සේක. එහෙත් උන්වහන්සේ ඒ සියල්ල උපේක්ෂාවෙන් ඉවසූ සේක. එසේ වුව ද පෘථග්ජනයාගේ ස්වභාවය වන්නේ නින්දා හමුවෙහි කණස්සල්ලෙන් හිත බිඳ ගැනීමයි. අටලෝ දහම සම සිතින් ඉවසූ උතුමන් වහන්සේ අප බුදුන් වහන්සේ ම ය.
එදිනෙදා ජීවිතය ගත කිරීමේ දී බොහෝ විට අනෙකාගෙන් දොස් අහන්නට සිදු වීම සාමාන්‍ය කරුණකි. තමා නිවැරදි වුව ද ඇතැම් අවස්ථාවල දී නිකරුණේ ඇනුම් බැණුම් අසන්නට ලැබේ. එබඳු අවස්ථා බොහෝ ප්‍රමාණයකින් ඔබේ ජීවිතයට ද අද්දැකීම් ලැබී ඇත. එවන් අවස්ථාවක දී ඔබ කළේ කුමක්දැයි නැවතත් සිතා බලන්න. ක්ෂණයකින් කෝපයක් උපදවාගෙන දොස් නැගූ පුද්ගලයාට දොස් නැගුවේ ද? එසේ නැති නම් නිහඬව සිටියේ ද? ඔහු කෙරෙහි වෛරී සිතක් පහළ කර ගත්තේ ද? සාමාන්‍ය මිනිසාගේ ලක්ෂණය මේවා හමුවෙහි කෝප වීමයි. රළු ස්වභාවයෙන් ක්‍රියා කිරීමයි.
නුවණැති අප එසේ කළ යුතුදැයි නැවත වරක් සිතා බැලීම නොවටින්නක් ද? නැත. අප නැවත වරක් සිතා බැලිය යුතු ය. අප එවැනි අවස්ථාවල නොසැළී සිටීමටයි වෙහෙස ගත යුත්තේ. එය උපමාවකින් පෙන්වා දෙන්නේ නම් මහා ඝන පර්වතයක් සැඩ සුළඟින් නොසැලී සිටින්නාක් මෙනි. අපටත් එසේ සිටිය නොහැකි නොවේ. ඒ සඳහා තිබිය යුතු වන්නේ මනා සිතකි. තම සිතින් ඕනෑම ව්‍යසනයක් ඉවසීමේ හැකියාව ඇත්නම් එය වැදගත් කොට සැළකිය හැකි ය. නින්දාවෙහි ගොළු වීමත්, ප්‍රසංසාවෙහි අධික පී‍්‍රතිය උපදවා ගැනීමත් සාමාන්‍ය මනුෂ්‍යයාගේ ලක්ෂණයි. එසේ වුවත් ප්‍රඥාවන්තයා එම අවස්ථා දෙක ම සමව විඳී. නින්දාවේ දී ගොළු වීමත්, සැපේ දී පී‍්‍රතියත් ඇති කර නොගනී.
බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා රත්නය දේශනා කොට වදාළේ ලකුණ්ඨක භද්ධිය තෙරුන් වහන්සේ මුල් කරගෙන ය. ලකුණ්ඨක භද්දිය හිමියෝ රහතන් වහන්සේ නමකි. උන්වහන්සේ පෙර ආත්මභවයක දී කළ අකුසල කර්මයක් නිසා ඉතා මිටි ශරීර ඇතිව මේ ආත්ම භවයේ ද උපත ලැබූහ. එසේ වුව ද උන්වහන්සේ ඉතා ගුණවත් ය. අපිස් ගුණයෙන් යුතු ය. ලකුණ්ඨක භද්ධිය හිමියන් කොතරම් ගුණ ගරුක වුවද ඒ පිළිබඳ තැකීමක් නොකළ ඇතැම් හිමිවරු ද සිටියහ. මිටි ශරීර ස්වභාව ඇති නිසා ඒ හිමිවරු උන්වහන්සේට කෙළි කවටකම් කරති. එහෙත් ලකුණ්ඨක භද්ධිය හිමියෝ ඒ සියලු කෙළි කවටකම්, නින්දා අපහාස සම සිතින් ඉවසාගෙන සිටියහ. කිසිවෙකු සමඟ උරණ නොවූහ. ප්‍රති උත්තර දෙන්නට ද නොගියහ. භික්ෂූන් වහන්සේ මේ ඉවසීම පිළිබඳව සාකච්ඡා කරන්නට වූහ. එවිට බුදුරජාණන් වහන්සේ, ලකුණ්ඨක භද්ධිය හිමියන් වෙත වූ ඉවසීමේ ගුණය පිළිබඳව ප්‍රශංසා කළ සේක. ඥානවන්තයාගේ ස්වභාවය විය යුතු වන්නේ ද නින්දාවෙහි නොසැළී සිටීම බව දේශනා කළ සේක.
අපගේ ජීවිත සාර්ථක කර ගන්නට මේ කතා පුවතෙන් ලැබෙන උපදෙස් මා හැඟිය. අප වරදක් කළ ද, නොකළ ද ඇතැම් අය දොස් කියති. වරදේ දී බොහෝවිට නිහඬ වුව නිවැරැදි මොහොතේ දොස් ඇසෙන විට කම්පා වීම සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය වන්නේ ය. එහෙත් කම්පාවීම නින්දාවට පිළිතුරක් නොවේ.
එවිට ව්‍යාකූල වන්නේ තමන්ගේ සිතම ය. ව්‍යාකූල මනසින් කරන කියන කාර්ය අසාර්ථක ය. ව්‍යාකූල ය. යම් පුද්ගලයෙක් නැති දොස් දක්වමින් තවත් කෙනකුට නින්දා කරන්නේ ඔහු සිත උපන් පහත් සිතිවිලි නිසා ය. තව කෙනකුට රිදවා සතුටු වීමේ ඇති බලවත් කැමැත්ත නිසා ය. යම් හෙයකින් ඒ නින්දා හමුවේ කම්පාවූයේ නම්, මානසිකව ඇද වැටුණේ නම්, සියලු වැඩ කටයුතු අවුල් කර ගත්තේ නම් තව තවත් කරදරයට වැටෙන්නේ තමන්ම ය. බලාපොරොත්තු ඉටු වන්නේ නින්දා කළ පුද්ගලයාගේ ම ය.
මේ නිසා නින්දා හමුවේ අනවශ්‍ය කලබලය නුසුදුසු ය. ශක්තිමත් සිතින් ඊට මුහුණ දිය යුතු ය. සැබැවින්ම කළ වරදකට නින්දා ලැබුණේ නම් ඒ වරද වහාම නිවැරැදි කරගත යුතු ය. නැවත වැරැදි නොවන ලෙස ජීවත් වීමට උත්සාහ කළ යුතු ය.
රහසින්වත් පව් නොකළ අපගේ තථාගත බුදුපියාණන් වහන්සේට පවා ඇතැම් පිරිස් නින්දා කළහ. එහෙත් උන්වහන්සේ නොසැළී සිටීමේ ගුණය ආදර්ශයෙන් ම පෙන්වා දුන්හ. උන්වහන්සේ තමන් වහන්සේට නින්දා කළ අයට පිළිතුරු දෙන්නට නොගියහ. තීර්ථකයින් විසින් සුන්දරී පරිබ්‍රාජිකාව මරා, බුදුහිමි වැඩ සිටි වෙහෙර සමීපයෙහි සඟවා තබා උන්වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා වහන්සේ විසින් එය සිදු කළේ යැයි අපමණ නින්දා කරනු ලැබී ය. එහෙත් උන්වහන්සේ ඒ ගැන කිසිදු ලෙසකින් හෝ කම්පා නොවූහ. එම ප්‍රදේශය හැර දමා වෙනත් ප්‍රදේශයකට වැඩම කරමු යැයි ආනන්ද හිමියන් විසින් ඉල්ලා සිටිය ද උන්වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.
ප්‍රශ්නයකින් පැන යාම ඊට පිළිතුරක් නොවේ. බොරුවට ඇති කාලය අඩු ය. සත්‍ය කවදා හෝ ජය ගන්නේ ය. මේ නිසා නොකළ වරදකට නින්දා ලැබුණේ යැයි ජීවිතය ම කලකිරී සිත අවුල් කර ගැනීම සුදුසු නැත. නින්දා ලැබුණ ද ඒවා හැමදාම එකලෙස පවතින්නේ ද නැත. නින්දා පසුපසම ප්‍රශංසා ද පැමිණෙන්නේ ය. ඒ ලෝදහමේ ස්වභාවයයි. ප්‍රශංසා හමුවේ ද බොහෝ දෙනෙක් සැලෙති. අධික ලෙස පී‍්‍රතිවෙති. එහෙත් එය ද ටික කාලයකි. ප්‍රශංසා සමව දරා නොගත්තේ නම් නින්දා දැරීම අසීරු ය. මේ නිසා නින්දාවෙහි නොසැළී, ප්‍රශංසාවෙහි සම සිත් උපදවා ජීවත් වීමට උත්සාහ ගනිමු.


පදියතලාවේ ඤාණවිමල හිමි 
මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ 
යල්කුඹුර – බිබිල


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 10 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment