මරණ සති භාවනාව යනු මරණයේ සිහිය පිහිටුවීම යි. එය දියුණු කර ගැනීම තුළින් හැඬීම, වැළපීම ආදිය සියලු දුක්ඛ දෝමනස්සයන් දුරු කර ගැනීමට සමත් වෙයි. මරණානුස්සති භාවනාව දියුණු කිරීමෙන් සත්ත්වයන්ගේ සිත පිරිසුදුවීම ප්‍රධානම ආනිශංසය යි.
මිනිසාගේ සිතේ පවතින ලෝභ, ද්වේශ, මෝහ, මද මාන්න, ඊර්ෂ්‍යා ආදිය අකුසලයන් සංසිඳවා ගැනීමට මරණානුස්සති භාවනාව විශේෂයෙන් මහෝපකාරී වෙයි. කෙනෙකු මිය ගිය විට දැඩි ලෙස කම්පාවට පත්ව, අඬා, දොඩා වැළපීම්, කෑකෝ ගැසීම් සිදු වන්නේ මරණානුස්සති භාවනාව දියුණු නො කළ නිස යි. එනම්, සිත දියුණු නො කළ නිස යි.
සිත දියුණු කිරීම යනු නීවරණයන්ගෙන් සිත බැහැර කිරීම යි. ඒ සිත පිවිතුරු, දියුණු තත්ත්වයකට පත් වෙයි. දෙවන සහ තුන්වන ආනිශංසය වන්නේ හැඬීම වැළපීම සංසිඳීම යි. කරදර කම්කටොළු බාධක ව්‍යවසනයන් පැමිණීමේ දී බොහෝ දෙනාගේ ස්වභාවය වන්නේ හැඬීම සහ වැළපීම යි.
මරණානුස්සති භාවනාව තුළ හැඬීම වැළපීම බොහෝ සේ දුරු කර ගන්නට සමත් වෙයි.
රහතන් වහන්සේ, ලෝකයක් විනාශ වුව ද හඬන්නේ, වැළපෙන්නේ නැති තත්ත්වයට සිත දියුණු කර තිබෙනවා. එවැනි තත්ත්වයකට මේ සිත සකසා ගන්න කොයි කාටත් පුළුවනි. සම්මා සම්බුද්ධ දේශනය නිවැරැදිව ක්‍රියා කර පිහිටුවනවා නම්, ඒ පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරනවා නම් හැඬීම , වැළපීම ධර්මතා දෙක දුරු කරගන්නට පුළුවන් වෙයි.
කායික සහ මානසික දුක දෙක ම සංසිඳුවා ගන්නට , දුරු කරන්නට මරණානුස්සති භාවනාව ප්‍රයෝජනවත් වෙයි. මෙය පොදු ධර්මතාවක් බව වටහාගෙන, සියලු සත්ත්වයන්ගේ මරණය වටහා ගන්නට පුළුවන් වෙයි. ඒ තත්ත්වයට සිත සකසා ගැනීම ඉතාමත් ම දියුණු තත්ත්වයක්.
කායික මානසික දුක් සත්ත්වයන්ට ලැබීම සීමාවක් නැහැ. මෙසේ අසීමිතව ලැබෙන්නා වූ දුක් කරදර බාධක කම්කටොළු ජයග්‍රහණය කිරීමට සිත සකසා ගැනීමට නම්, සිත පාලනය කළ යුතු යි. ඒ සිතට නිර්වාණ මාර්ගයට පිවිසිය හැකි යි.
සම්මා දිට්ඨි , සම්මා සංකප්ප, සම්මා වාචා , සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, ආදිය නිවන් මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්න මේ භාවනා ක්‍රමය ඉවහල් වෙයි. ‘ජීවිතය අනියත යි මරණය නියත යි’ යනුවෙන් සිතිය යුත්තේ සිහි කල්පනාව ඇතිව යි. එය මෙනෙහි කිරීම නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කර ගන්නට පුළුවන් වෙයි.
මරණ සති භාවනාව දියුණු කරන්න හොඳ නුවණක් අවශ්‍යය යි. එය සම්මා දිට්ඨිය යි. හොඳ අදහස් සිතිවිලි අවශ්‍ය බව සම්මා සංකප්ප යි. හොඳ වචන භාවිතය සම්මා වාචා වෙයි. යහපත් වැඩ කටයුතු සිදු කිරීම සම්මා කම්මන්ත යි. නිවැරැදි දිවි පෙවතක් ගත කිරීම සම්මා ආජීවය යි. හොඳ උත්සාහය සම්මා වායාම යි. එය මෙනෙහි කරන සිහි කල්පනාව සම්මා සතිය යි. මෙලෙස ලැබෙන චිත්ත සමාධිය සම්මා සතිය යි.
’ජීවිතය අනියත යි මරණය නියත යි’ යනුවෙන් මෙනෙහි කරද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වන බව තථාගත ධර්මයේ සඳහන් වෙයි. කුමන පුණ්‍ය කර්මයක් සිදු කළ ද සිහි නුවණින් කටයුතු කරද්දී නිවන් මාර්ගය දියුණු කර ගැනීමට හොඳින් පුළුවන් වෙයි.
නිවන් අවබෝධ කර ගැනීමට සමත් මරණානුස්සති භාවනාව දෙව්ලොවට සහ බඹලොවට පමණක් සාධාරණ නො වෙයි. එය තථාගත ධර්මයේ නිවන් සම්පත් සලසා දෙන භාවනා ක්‍රමයක් ලෙස මෙසේ පෙන්වා දෙයි. ‘මහණෙනි, එක ධර්මයක් තිබෙනවා. එය මෙනෙහි කිරීමෙන් සංසාරය ගැන කළකිරෙනවා. ලෝභ , ද්වේශ, මෝහ ආදී පාපයන් නිරුද්ධ කර දමනවා, සංසිඳුවනවා. ඒ විශිෂ්ඨතා ඥානයෙන් දුක්ඛ සත්‍ය , සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධයෙන් සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් මාර්ග ඵල පිළිවෙළින් නිවන් පසක් කර ගන්නා බවට දේශනා කර වදාළා. ඒ ධර්මය මරණානුස්සති භාවනාව යි. එය නිවන් පසක් කරන භාවනාවක් ලෙසින් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ද සඳහන් වෙයි.
මේ භාවනාව දියුණුවෙන් විපාක ලැබෙන්නේ අනුන්ට නෙවෙයි. තමන්ටම යි. තම සංසාර විමුක්තිය සලසා ගැනීමට මෙය ඉතාමත්ම වැදගත් භාවනා ක්‍රමයකි. තථාගත දේශනා, අට්ඨ කථා ආදියෙහි මරණානුස්සති භාවනාව පිළිබඳ සඳහන් වෙයි. විශේෂයෙන් විශුද්ධි මාර්ග ග්‍රන්ථයේ ද මරණ සතිය පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි වෙයි.
නොඇලී, නොගැටී වාසය සඳහා තණ්හාව, තරහව , මෝහය , මාන්නය, උඬඟු බව , පාපය දුරැර ඉතාමත් ම පිවිතුරු සිතකින් වාසය කර ගැනීමට මරණානුස්සති භාවනා ක්‍රමය කාටත් මහෝපකාරී වෙයි.
කෙනෙක් මරණයට පත් වූ විට ඒ අසළට පිවිසී මේ මෘත ශරීරය දෙස බලා මාත් මෙවැනි තත්ත්වයට පත් වන බව සිතන්න. ‘ජීවිතය අනියත යි මරණය නියත යි’ යනුවෙන් නිබඳව ම මෙනෙහි කරන්න. මේ ශරීරය අනිත්‍යය යි, දුක්ඛ යි , අනාත්ම යි යනුවෙන් සිතා මෙනෙහි කරන්න. එය සුවිශේෂී ම අවධානයක් වෙයි. ඇතැමෙක් මරණයට බිය වන්නේ පින් මදි නිස යි. පින ඇති නම්, සිත දියුණු නම්, කුමන මොහොතක හෝ සිදු වන මරණයට බිය විය යුතු නැහැ.
බුද්ධ දේශනාවට අනුව මරණය ගැන මෙසේ සඳහන් වෙයි. ආහාර ගනිද්දී, ආශ්වාස කරද්දී, යන එන විටදී , නොයෙක් ආබාධ වලින් මරණය සිදු වෙයි. එය හොඳින් කල්පනාවෙන්, මෙනෙහි කර කටයුතු කිරීමෙන් මරණානුස්සති භාවනාව හොඳට වටහා ගන්නට පුළුවන් වෙයි. බස් රියේ දී, ගමනක් බිමනක් යද්දී, රැකියාවට යද්දී, පාසලට යද්දී, කඩයට යද්දී, නිවසේ වැඩ කටයුතු කරද්දී සෑම මොහොතක දී ම ‘ජීවිතය අනියත යි මරණය නියත යි’ යනුවෙන් මෙනෙහි කරන්නට පුරුදු වන්න.
බුද්ධ ශාසනය චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ම නැඹුරු වන ශාසනයක්. එසේනම්, මරණානුස්සති භාවනාව චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ම අවශ්‍ය භාවනා ක්‍රමයක්. බොහොම නිවැරැදිව මෙනෙහි කරමින් මේ භාවනාව ඉදිරියට දියුණු කරන්නට සමත් වෙයි. තමා ලබා ගන්නා දැනුම බොහෝ දෙනා අතරට පත්කර , ඒ සත්පුරුෂකම දියුණු තියුණුවෙන් කටයුතු කිරීම කොයි කාගෙත් යුතුකමක් වේවි.
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඉල් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 17 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment