Labels

Saturday, November 18, 2017

අවධානයෙන් රැකගත යුතු නිදානය


 අගහිගකම් ඇති අයෙකුට යම් මිතුරෙකු විසින් මේ නිධානයේ වගතුග කියා එය ලබා ගන්නා ආකාරය හිතවත් ව කියා දුන්විට ඒ අහිංසක දුප්පතා එම නිධානය ලබා ගෙන මහත් වූ සැපතකට පත්ව තමන්ගේ අගහිගකම් සපුරා ගන්නවා."

පුහුදුන් අප කා අතිනුත් වැරැදි සිදු වෙනවා. එහි මහත් බව හෝ කුඩා බව එක්වර ම නො වැටහෙන්ට පුළුවනි. එය හොඳීන් වැටහෙන්නේ අප දෙස බලාගෙන බැහැරින් සිටින අයට යි. වරද නිවරද, හොඳ නරක, උසස් පහත්, හොඳ නො හොඳ, යන මේවා සමාජයෙන් සමාජයට වෙනස් වන්නටත් පුළුවනි. මේවාට කියනවා “ආචාර ධර්ම” කියලා. හොඳ නරක වෙනස අපේ සමාජයේ මුල් බැහැලා තියෙන්නේ බෞද්ධ ඉගැන්වීම් අනුව යි.


බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව යමක් හෝ හොඳ හෝ නරක වශයෙන් බෙදා තිබෙන්නේ තමන්ටත්, අනුන්ටත් එයින් සිදු වෙන සැපත හෝ විපත අනුව යි. තමන්ටත් අනුන්ටත් විපතක් අයහපතක් වන දෙයක් නම් එය “නරක” කියා කියන්න සිදු වෙනවා. මේ හොඳ නරක දෙකේ ප්‍රමාණය තීරණය වන්නේ එහි ප්‍රතිඵලය අනුව යි. සමාජයේ ජීවත් වන විට අප අතින් සිදු වන මේ හොඳ නරක බාහිරව සිටින අය දකින වා. දැක අපට එය කියා දෙනවා. දරුවෝ, පුතේ, දුවේ, අයියේ, අක්කේ, අම්මේ තාත්තේ, ඔබ කරන වැඩේ නම් හොඳ නැහැ. ඔබ ඔය විදියට කථා කරන හැටි හොඳ නැහැ. එහෙම කරන්නට එපා කියලා නොයෙක් අය අප කරන වැඩ, කරන කථාබහ දිහා බලා කියා දෙනවා. අපේ වැදගත් ම, යුතුකම වන්නේ තමන් මේ කී දේ හරිද? යි යුක්ති ගරුක ව කල්පනා කිරීමයි. එවැනි අවස්ථාවල අප බුද්ධිමත්ව ක්‍රියා කළ හොත් අපට ම වැටහෙනවා එහි සත්‍යතාව. එය උතුම් ම චරිත ලක්ෂණයක් ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දී තිබෙනවා.
දවසක් සැරියුත් මහරහතන් වහන්සේ තමන්වහන්සේ වැඩ වාසය කරන අරාමයෙන් බැහැරට වඩින්නට සූදානම්ව සිවුරු හැඳ පෙරව සැර සෙද්දී වයස අවුරුදු හතක වැනි දහර සාමණේරයන් වහන්සේ නමක් උන්වහන්සේ මේ ආකාරයෙන් පිටත් වන විට ඒ දැක උන්වහන්සේගේ සිවුරු පෙරවීමේ අඩුපාඩුවක් දුටුවා. එක සිවුරු කොණක් එක් අතකට පහත් වී එල්ලී තිබුණා. එය දැක මහත් ගෞරවයෙන්, සැකයෙන්, භයෙන් සැරියුත් මහරහතන් වහන්සේට කථා කරලා කියනවා “ස්වාමීනි, බැහැරක් වඩින්නට සූදානම් වුණත් පුංචි අඩුපාඩුවක් නම් තිබෙනවා. අර සිවුරේ කොණක් පහතට ඇදිලා. එය පෙනුමෙන් නම් ප්‍රසන්න නැහැ.” කියලා. සැරියුත් හාමුදුරුවෝ ඉතා නිහතමානී ව එම අඩුපාඩුව පිළිගත්තා. නිවැරැදි කර ගත්තා. සාමණේරයන් වහන්සේට ප්‍රශංසා කළා. ඒ අඩුපාඩුව පෙන්වා දීම ගැන. උන්වහන්සේ මෙහි දී ප්‍රකාශ කරනවා “වයසින් දහර ව සිටින මේ සත් හැවිරිදි සාමණේරයන් වහන්සේ වුණත් අඩුපාඩුවක් වරදක් මට පෙන්වා දෙනවානම් මම ඉහළින් ම එය අගය කරනවා. හිස් මුදුනින් අඩුපාඩුව පිළිගන්නවා” කියලා. අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ අප විසින් යම් බඳු සුළු වරදක් හෝ සිදු කරන කල කෙනෙක් එහි බරපතලකම පෙන්වා දෙමින් කරුණු සහිතව එය කියලා දෙනවා නම්, එම වරදෙහි නුසුදුසු බව නිග්‍රහ කොට එහෙම නැතිනම් ඊට ගැලපෙන දඬුවමක් හෝ කර පෙන්වා දෙනවා නම්, එසේ පෙන්වා දෙන පුද්ගලයා නිධානයක් පෙන්වන අයෙක ලෙස සැලකිය යුතු බව යි.
නිධානයක් කියන්නේ රන්, රිදි, මසු, කහවනු ආදී වටිනා දේ තැන්පත් කොට සඟවා තිබෙන තැනක්. ඉතින් අගහිගකම් ඇති අයෙකුට යම් මිතරෙකු විසින් මේ නිධානයේ වගතුග කියා එය ලබා ගන්නා ආකාරය හිතවත් ව කියා දුන්විට ඒ අහිංසක දුප්පතා එම නිධානය ලබා ගෙන මහත් වූ සැපතකට පත්ව තමන්ගේ අගහිගකම් සපුරා ගන්නවා. මහත් සැනසීමක් ලබනවා. ඒ වගේ තමා කෙනෙකුගේ ජීවිතයේ සිදුවන අඩුපාඩුව ඒ පුද්ගලයාට බොහෝ අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නට පුළුවන්. විශාල අලාභ හානි වන්නටත් ඉඩ තිබෙනවා. ඒ අඩුපාඩුව ඉවත් කර ගන්නට ලැබෙන්නේ තමන්ගේ ඒ අඩුපාඩුව පෙන්වා දෙන කල්‍යාණ මිත්‍රයා නිසා යි. අඩුපාඩු පෙන්වා දෙන අය කල්‍යාණ මිත්‍රයන් කොට සැලකිය යුතු බව බුද්ධ දේශනාව වෙනවා.
දුකට පත් පුද්ගලයාට නිධානය පෙන්වා එය ලබා ගැනුමට ඉඩකඩ සැලසීමෙන් ඒ පුද්ගලයාට වන්නේ ලාභයක් නම් ඒ ලාභය ලබා දීමෙන් තමනට උදව් කළේ තමන්ගේ කල්‍යාණ මිත්‍රයෙකු බව තමන්ට ම වැටහෙනවා වාගේ ම වරද පෙන්වීමෙන් වරද නිවැරදි කර ගත්විට ඊටත් වඩා ලාභයක් ප්‍රයෝජනයක් තමන්ට මුළුමහත් සමාජයෙන් ම සැලසෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මෙම උපමාව මෙහි දී යොදා ගෙන ඇත්තේ. වරද පෙන්වා දීමේ ක්‍රම දෙකක් ඇති බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඇතුළත් වෙනවා. කිසියම් ශිෂ්‍යයෙකුගේ අඩුපාඩුවක් දකින ගුරුවරයා නිරන්තරයෙන් තම ශිෂ්‍යයාගේ අඩුපාඩුවක්, ප්‍රමාදයක් දකිනු රිසියෙන් ඉඳ ඔහු සමාජයේ පිරිහෙළීමට, අගෞරවයට පත් කිරීමේ අරමුණෙන් නොසරුප් ලෙස බැණවදිමින් ශිෂ්‍යයාට නින්දාවට, අපහාසයට ලක්වන ආකාරයෙන් ක්‍රියා කරමින් අඩුපාඩුව පෙන්වා කථා කරනවා නම් එය නිධානය පෙන්වා දීමක් හා සමාන වන්නේ නැහැ.
එසේ නොව, එම ශිෂ්‍යයා කිසියම් අඩුපාඩුවක් ඇතිව ක්‍රියා කරන විට, එය නො දැනීම නිසා සිදුවෙන්නක් කොට හෝ සලකා ඔහු කෙරෙහි මහත් අනුකම්පාවක් ඇතිව අඩුපාඩු නැති අයෙකු බවට පත් කර තම ශිෂ්‍යයාගේ අනාගත දියුණුව ම අපේක්ෂා කරමින් ඔහු නගා සිටුවීමට ඔහුට දොස් පවරමින් හෝ සුළු වුව ද වරදේ හැටියට දඬුවමක් වුව ලබා දෙමින් අනුකම්පාවෙන් ශිෂ්‍යයා පිළිබඳ ක්‍රියා කරමින් කටයුතු කිරීම නිධානයක් පෙන්වන අවස්ථාව හා සමාන බව බව බුද්ධ දේශනාවෙහි සඳහන් වෙනවා. මෙහි දී වැදගත් වන්නේ වරද පෙන්වා දෙන අයගේ සිත් හි ක්‍රියාත්මක වන චේතනාවේ ස්වභාවය යි. එවැනි අවස්ථාවල දී වරදෙහි බැඳෙන තැනැත්තා කෙරෙහි එහි දොස් දකින්නාගේ සිත තුළ ඇති වන්නේ වරද කරන තැනත්තා වරදින් මුදවා සුමඟට ගැනීමේ කරුණාන්විත හැඟීම නිසා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වලා දෙන්නේ වරද කරන තැනැත්තාට නින්දා කර, තර්ජනය කර වරදට ගැලපෙන දණ්ඩනයක් වුවද සුදුසු පරිදි ලබා දී වරද කරන තැනැත්තා එයින් මුදවා ගැනිම සුදුසු බවයි.
බුදුරජාණන් වහන්සේ මේ අදහස පැහැදිලි කරන්නේ සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ රාධ නම් තෙරුන් වහන්සේ නිමිති කර ගෙනයි. “රාධ” කියා කියන්නේ සැවැත් නුවර වාසය කළ තරුණ බමුණෙක්. මොහුගේ පියාට මුලදී මහත් වස්තුවක් හිමි ව තිබුණා. කලක් යනවිට කුමක් හෝ හේතු වෙන් මොහු ධනයෙන් ඉසුරෙන් පිරිහුණා. එහෙම වුණත් මේ තාත්තා තමාගේ පුතාට, නැතිනම් රාධට බොහොම අමාරුකම් මැද වුණත් තරමක් දුරට ශබ්ද ශාස්ත්‍රය ඉගැන්නුවා. තමන් යම් පමණකට දැනඋගත්කමක් ලබා සිටීම නිසා රාධ ලෝකයේ ජීවත් වෙනහැටි, සමාජයේ ජීවත්වන හැටි ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඉතින් ඒ නිසා කවදාවත් අනෙක් අයට තමන්ගේ ලොකු මහත්කම් තත්ත්ව පෙන්වා උඩඟුකමක් දැක් වූයේ නැහැ. අනුන්ගේ අඩුපාඩු දකින්නේ හෝ ඒවා ගැන කථා කරන්නේ නැහැ. කම්මැලි ජීවිතයක් ගත කළෙත් නැහැ.
රාධගේ තරුණ කාලයේ දී ම දෙමාපියෝ මිය ගියා. ඉතින් තවත් දුගී බවට පත් වුණු රාධ පස්සේ විහාරයට ගිහින් මළුපෙත්මං ඇමද, තෙරුවන් හි වතාවත් කරමින් කාලය ගත කළා. පැවිදි වීමට ද ඔහුට කැමැත්තක් ඇති වුණත් මේ අසරණ දුප්පතා මහණ කරන්නට කවුරුත් හිමි නමක් ඉදිරිපත් වුණෙත් නැහැ. එහෙම වුණත් බුදුරජාණන් වහන්සේ රාධට සසර ගිනි නසා රහත් වීමට හේතු සම්පත් ඇති බව දුටුවා. ඉතින් රාධගෙන් තොරතුරු විමසා රාධ මහණ වීමට බලවත් කැමැත්තෙන් සිටින බව දැන අනෙකුත් හාමුදුරුවරුන්ගෙන් රාධ පැවිදි කරන්නට කැමැති අයෙකු ඉන්නවා දැයි බුදුරජාණන් වහන්සේ විමසා සිටියත් කවුරුවත් කැමැත්තක් දැක් වුයේ නැහැ. එහෙත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් පිණ්ඩපාතය සඳහා වඩින අවස්ථාවක තමන්වහන්සේට රාධ පිණ්ඩපාතය පිළිගැන් වූ අවස්ථාවක් සිහිපත් වී ඒ ගැන කළගුණ සැලකීමක් ලෙස සිතා වදාරා රාධව පැවිදි කරන්නට කැමැති වුණා. රාධ පැවිදි වුණා. මේ රාධ ඉතා කීකරුව සුවචව, ලබා දෙන දැනමිතිකම් පිළිගෙන අවවාද අනුශාසනා මහත් ගෞරවයෙන් පිළි ගෙන ක්‍රිය කර විදසුන් වඩා රහත් බවට පත් වුණා.
බුදුරජාණන් වහන්සේ අන්න ඒ කාරණය දැන වදාරා තමන්ගේ වරද පෙන්වා දෙන යම් කෙනෙක් වෙයි නම් ඒ පෙන්වා දෙන තැනැත්තා තමන්ට නිධානයක් පෙන්වා දෙන අයෙකු ලෙස සැලකීමේ වැදගත් කම පැහැදිලි කර වදාළා. ඉතින් රාධ හොඳීන් ගුරු හිමිවරුන්, වැඩිහිටි තෙරවරුන් ලබා දුන් අවවාද අනුශාසනා නිස යි මෙවැනි උත්තරීතර තත්වයකට පත් වුණේ. ඒ කාරණයෙන් පෙනෙී යන්නේ අප කෙරෙහි දයාවෙන්, සෙනහසින් අපේ ගුරු දෙගුරුන් වැඩිහිටියන් අපට ලබා දෙන අවවාද අනුශාසනා පිළිපැදීමෙන් අපත් මහත් සැපතකට පත් වෙනවා.

මහනුවර අස්ගිරි මහාවිහාරීය කාරක සංඝ සභික, 
උපාධ්‍යාය, 
වාරියපොල රාජමහා විහාරාධිපති, 
මහාචාර්ය 
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ‍‍නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment