භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ විසූ දවස පැවැතුණු උපමාගෙන ධර්මය දේශනා කළත්, වර්තමාන පරිසරයේත් බොහෝ කෙනෙක් නිදි නැතිව මෙන් ආශ්වාස, ප්‍රශ්වාසයට පවා අවස්ථාවක් නැතැයි කියන සංකේතයන් මතුකොට දක්වමින් උදේ සිට හවස් යාමය දක්වා ම මේ වෙහෙසෙන්නේ අනාර්ය පර්යේෂණයකට නොවේ දැයි නුවණින් මෙනෙහි කොට බලන්න.
රෝම කූපයක තරම්වත් සැබෑ අයිතියක් නැති සත්ත්වයෝ, පරම්පරා ගණනාවකට වූවත් සෑහෙන ධනයක් පවතිද්දීත් සිතේ හටගත් අසම්පූර්ණ ආශාවන්ගෙන් දිවා රාත්‍රී වෙහෙසෙති. ඔවුන්ගේ පර්යේෂණය නම් අනිත්‍ය ස්වභාවයට යුතු, එනම් ජාති, ජරා, ව්‍යාධි ධර්මයන්ට උරුම වූ වස්තූන් අල්ලා ගැනීමයි. එනම් තමා සතු කර ගැනීමයි.
අනාර්ය පර්යේෂණයෙන් යුතු මේ පුද්ගලයෝ පංචකාම ගුණයන්ගෙන් යුතු තෘෂ්ණාව නිසා තමාට හිමි නැති කයක් දරාගෙන අනිත්‍ය වූ වස්තූන් ම සොයන්ට ජීවිතයේ වැඩිපුර කාලයක් ගත කරති. එමෙන් ම සිතින් අල්ලාගෙන සිටීමෙන් තමා විසින් විඳින්නා වූ දුක ශෝකය පිළිබඳව අවබෝධයක් නැතිවා වගෙයි. ඒ අනාර්ය පර්යේෂණයේ ලක්ෂණය ම බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති.
භාග්‍යවතුන් වහන්සේ විසින් ආර්ය පර්යේෂණය පිළිබඳව මෙසේ දේශනා කරති. මහණෙනි, ආර්ය වූ සෙවීම එනම් ආර්ය පර්යේෂණය නම් කුමක් ද?
මහණෙනි, මේ ලෝකයේ ඇතැමෙක් තමා ජාති, ධර්ම වූයේ, ජාති ධර්මයේ ආදීනව දැන ජාතියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම සංඛ්‍යාත නිර්වාණය ම සොයනවා. තෙමේ ජරා ධර්ම වූයේ ජරා ධර්මයේ ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ ධර්ම මාර්ගය ම සොයයි. තෙමේ ව්‍යාධි ධර්ම වූයේ ව්‍යාධි ධර්මයේ ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර යෝගක්ෂේම වූ නිවන ම සොයනවා. තෙමේ මරණ ධර්ම වූයේ මරණ ධර්මයේ ආදීනව දැන මරණයක් නැති නිරුත්තර යෝගක්ෂේම වූ නිවන ම සොයනවා. තෙමේ ශෝක ධර්ම වූයේ, ශෝක ධර්මයේ ආදීනව දැන ශෝකයක් නැති නිරුත්තර යෝගක්ෂේම වූ නිවන සොයනවා. තෙමේ සංක්ලේශ ධර්ම වූයේ සංක්ලේශ ධර්මයේ ආදීනව දැන කෙලෙසීමක් නැති නිරුත්තර යෝගක්ෂේම වූ නිවන සොයනවා. මහණෙනි, මේ ආර්ය පර්යේෂණයයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආර්ය පර්යේෂණය අපි විස්තර කර ගනිමු. මේ ලෝකයේ උපදින සියලු දෙනාම ජාති, ජරා, ව්‍යාධි ධර්මයන්ට උරුමවන බව පැහැදිලියි. සියලු දෙනාම නොවුණත් ඇතැමෙක් එනම් තෘෂ්ණාවෙන් මුසපත්වූ පුද්ගලයා ජාති ධර්ම උරුමකොට, ජාති ධර්මයට උරුම වූ දේ සොයයි. මේ ලෝකයේ තවත් අයෙක් මනා නුවණින් යුතුව ජාති ධර්ම වූයේ, ජාති ධර්මයේ ආදීනව දැන ජාතියක් නැති, එනම් ඉපදීමක් නැති ඉතා උතුම් වූ යෝගක්ෂේම සංඛ්‍යොත, කාම ඕඝ, භව ඕඝ, දිට්ඨී ඕඝ, අවිජ්ජා ඕඝ යන ඕඝ නම් රළ පහරයි. ඒ ඕඝයන් නැති, බැහැර කළ නිවන ම සොයනවා. ඉපදීම දුකක් බව ආර්ය පර්යේෂණයේ පෙන්වා දෙනවා.
ඉපදීම දුකක් වන්නේ කුමක් නිසා ද? උපත හා සමඟින් ලෙඩදුක්, මරණ, අප්‍රියයන් හා එකතු වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, ඇතිවන බව පැහැදිලියි. නමුත් එයටත් වඩා ගැඹුරු අදහසක් ධර්ම මාර්ගයේ පිළිපන් ශ්‍රාවකයන් විසින් දැනගත යුතුයි. ඒ කුමක් ද? ජාතිය හෙවත් උපත ගැන සිහිපත් කරන විට මේ ඉපදීම පමණක් ම නොව කෙළවරක් දකින්නට නැති මුලක් දකින්නට නැති. මුලක් සොයන්නට අපහසු දීර්ඝ සසර හෙවත් භවය පිළිබඳව සිත යොමු කළ යුතුයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සියලු සත්වයෝ ම එනම් තිස්එකක් සක්වලම එනම් තිස්එකක් උප්පත්ති ස්ථානයන්හි ම ඉපදී සිටින සියලු සත්වයෝ ම අතීත සංසාරයෙහි වැඩිපුර ම උපත ලබා ඇත්තේ සතර අපායේ බවයි. බ්‍රහ්ම ලෝකයක, දිව්‍ය ලෝකයක, මනුස්ස ලෝකයක හෝ ඉපිද යම් වූ ද සැපතක් ලබන්නේ නම්, අතීත සංසාර ගමනේ සතර අපායේ ඉපිද විඳි දුකට ඒ විඳින්නා වූ සැපය අලගු තබන්නටවත් නොහැකි බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති.
එසේ නම් මේ ඉපදීම දුකකි. සතර අපායේ නරකය පමණක් කොටස් එකසිය තිස් හයක් ලෙස විස්තර කරනවා. මේ සෑම තැනකම කර්මානුරූපව විඳින්නට සිදුවෙන දුක වේදනාව අප්‍රමාණයි. තිරිසන් ලෝකයේ ඉපිද ගෙල කැපී ගලාගෙන ගිය රුධිරය සිව් මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩි බව ධර්ම කතාවක් පෙන්වා දෙනවා. ප්‍රේත ආත්මයන්හි ඉපිද කල්ප ගණන් දුක් විඳි ප්‍රේත ආත්ම පිළිබඳව සඳහන් වෙනවා. එසේ නම් ජාති හෙවත් උපත ගැන සඳහන් කරන විට ඉපදීම දුකක් බව සත්‍ය සොයන, නිවන සොයන, ධීර හෙවත් නුවණැත්තාට වැටහෙන්නට පටන් ගන්නවා.
ඉහත ධර්ම විස්තරයේ දී මේ ලෝකයේ ඇතැමෙක් තෙමේ ජාති ධර්ම වූයේ ජාති ධර්මයේ ආදීනව දැන යනුවෙන් සඳහන් කළේ එම අදහසයි. ඉපදීමේ ඇති ආදීනවය නුවණින් දැන එසේ දුක් දෙන ඉපදීමක් නැති ඉතා උතුම් භවය හදන කෙලෙස් නැති කිරීමෙන් ශාන්ත වූ කෙලෙස් සැඩ පහර නැති නිවන ම සොයන බව සඳහන් කළේ එයයි.
සසරෙහි ඉපිද, ඉපිද විඳි දුක් භාග්‍යවතුන් වහන්සේගේ දහම් කතාවෙන් අවබෝධ කර ගන්නා වූ මනුෂ්‍යයා ඉතා ඉක්මන් අවස්ථාවක ම මේ දුකින් ගැළවෙන්නට උත්සාහ කරන්නේය යන අදහසින් ය.
මේ අවබෝධය නො ලබන බොහෝ කෙනෙක් දුර්ලභව ලබා ගත් මනුෂ්‍ය ජීවිතය තමා විසින් හෝ නසා ගන්නේ අනවබෝධයෙන් අනාර්ය පර්යේෂණයේ සඳහන් කළ අයුරින් ජාති, ජරා, ව්‍යාධි, මරණම ගෙන දෙන පුද්ගලයන් හෝ වස්තූන් වෙතින් සතුට සැනසිල්ල සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙසිනි. වසවිස බීමෙන්, අවිආයුධයෙන් නැසෙන රේල්ලුවට පැනීමෙන්, ගඟට, මුහුදට බිලි වීමෙන් ජීවිතය නසා ගනී. අනවබෝධයෙන් යුතු පුද්ගලයන්ගේ චරිතවලින් පෙන්වා දෙන්නේ අනාර්ය පර්යේෂණයන් හි ප්‍රතිඵල ලෙස ශෝකී කතාවන් ය.
භාග්‍යවතුන් වහන්සේ ආර්ය පර්යේෂණයේ දී පෙන්වා දුන්නේ ප්‍රඥාවන්ත මනුෂ්‍යයා තමා ඉපදීම හා සමඟින්, දුකක් උරුමකොටගෙන ඇති බව තේරුම් ගන්නා බවයි. උපත හා සමඟ ම මරණය පැමිණ ඇත්තේ ය. උපත හා සමඟ ම ඒ මරණය පමණක් නොව දිරාගෙන යෑම, ලෙඩදුක් ද, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රිය අය හා අප්‍රිය වස්තූන් සමඟ ආශ්‍රයට යොමුවීම ද, තමා කැමැති දෑ එසේ ම ඉටු නොවීම ද? දුක් ලෙස හැදෙන බව සකස් වෙන බව නුවණින් දකී.
එපමණක් නොව මේ උපත හා සමඟින් අනවබෝධය නිසා අනාර්ය පර්යේෂණයට හසුව තෘෂ්ණාවෙන් ප්‍රාණඝාත, අදත්තාදාන එනම් සොරකම් ආදී පස් පව් දස අකුසල් කරමින් නැවත නැවතත් ජාතිය නම් වූ දුකම හට ගන්නා භවයේ ඉපදීමට අවස්ථාව හදා ගන්නා බව ද තේරුම් ගනී. මේ නිසා ජාතියක් නැති, දුක හදන ඉපදීමක් නැති ස්වභාවය ලෙස නිවන සොයන්නේ මේ නිසයි.
ජරාව හෙවත් දිරාගෙන යාමේ ආදීනවය දැක ගන්නට නුවණැති මනුෂ්‍යයාට පුළුවනි. ගතවෙන සෑම මොහොතක් පාසාම “උප්පාද ඨිති භංග“ වශයෙන් හට අරගෙන බිඳී වෙනස් ව නැසී යන ස්වභාවය තම කය තුළින් දකිනවාට වඩා සිතින් අවබෝධ කර ගන්නට මේ ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට හැකියාව ලැබේ. ඔබටත් ඒ හැකියාව තිබේ දැයි නුවණින් දකින්න.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඉල් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment