Labels

Thursday, November 2, 2017

ආර්ය පර්යේෂණය යනු කුමක් ද?


යමක් හට ගන්නා සුළු ද ඒ සියල්ල නැසෙන සුළුයි යන පරමාර්ථ ධර්ම කතාව ම මෙහි දී මතුකොට දැක්වෙයි. තමාත් හේතුප්‍රත්‍යයන්ගෙන් යුතු කයක් එනම් ශරීරයක් දරාගෙන, මොහොතක් මොහොතක් පාසා වැය වී යන එනම් නැසී යන ස්වභාවයකින් යුක්තව ජීවිතය පවත්වමින් එසේ ම හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත වැය වී යන එනම් විනාශයට යන වස්තූන් ම සොයයි.

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් තම බෝධිසත්ව අවධියේ දී සිට ආර්ය පර්යේෂණය කළ ආකාරය මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් අරිය පර්යේෂණ සූත්‍ර දේශාවෙන් අපට වටහාගන්නට පුළුවනි. ප්‍රධාන වශයෙන් ආර්ය පර්යේෂණය යනු කුමක් ද? අනාර්ය පර්යේෂණය යනු කුමක් දැයි මෙම සූත්‍ර දේශනාවෙන් දේශනා කළහ.

“භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි දහම් කතාවක් බොහෝ කාලයකින් නො ඇසුවෙමු. එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නම් අපි බොහෝ කැමැත්තෙමු” යනුවෙනි. ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් සඳහන් කරනු ලැබූයේ ඇවැත්නි එසේ නම් “රම්මක” නම් බමුණාගේ අසපුව කරා පැමිණෙන ලෙසයි. එහි දී අපට භාග්‍යවතුන් වහන්සේගෙන් දැහැමි කතාවක් අසාගන්නට පුළුවනි යනුවෙනි.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස වැඩම කොට හවස් යාමයෙහි පිණ්ඩපාතයෙන් වැළකී ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කළහ. ආනන්ද දිවා විහරණය සඳහා පූර්වාරාමයට වඩිමුයි යනුවෙනුයි. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමඟ මිගාරමාතා ප්‍රසාදය නම් වූ පූර්වාරාමයට වැඩම කළ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හවස් කාල
යෙහි ඵල සමවතින් නැඟී සිට ආනන්ද ස්වාමීන් වහන්සේට “ආනන්ද ස්නානය පිණිස නැගෙනහිර නාන කොටුවට ගමන් කරමු” යි පැවසූ සේක.
භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුණුවන් වහන්සේ සමඟ නැගෙනහිර නාන කොටුවට වැඩම ශරීරය දෝවනය කොට, පැන් සනහා ගැනීම සඳහා නැගෙනහිර නාන කොටුවෙන් ගොඩනැගී අඳනා සිවුරු ඇතිව සිරුර වියළවමින්, වැඩ සිටියහ. ඉන් අනතුරුව ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සඳහන් කළේ ය.
භාග්‍යවතුන් වහන්ස, “රම්මක” බමුණාගේ අසපුව ඉතා රමණීයයි. ඒ අසපුව සිත්කළුයි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා රම්මක බමුණාගේ අසපුව කරා වැඩම කරන්නේ නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව නිශ්ශබ්දතාවයෙන් යුතුව ඉවසා, රම්මක බමුණාගේ අසපුවට වැඩම කළා. ඒ වන විටත් බොහෝ භික්ෂූන් වහන්සේලා රම්මක බමුණාගේ අසපුවෙහි දැහැමි කතාවෙන් යුතුව රැස්ව වැඩ සිටියහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතා අවසානය කෙරේ සිත් යොමු කරන්නෙ, ඇතුළුවන දොරටුව ළඟ නිශ්ශබ්දව වැඩ සිටින සේක. භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වඩින්නට ආරාධනා කළා. පනවන ලද ආසනයෙහි වැඩ සිට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, දැන් කිනම් කතාවකින් යුක්තව වැඩ සිටියා” ද? යි විමසූහ. භාග්‍යවතුන් වහන්ස, අප විසින් දැහැමි කතාවක් සාකච්ඡා කරමින් සිටියෙමු. මහණෙනි, යම්හෙයකින් දැහැමි කතාවකින් යුක්තව සිටින්නාහු ද ඒ ශ්‍රද්ධාවෙන් ගිහි ගෙයින් නික්ම සසුන්ගත වූ කුල පුත්‍රයන් වූ නුඹලාට සුදුසුමයි. නුඹලා විසින් එක්ව රැස්වන විට දැහැමි කතාවක් හෝ ආර්ය නිශ්ශබ්දතාවයෙන් යුතුව ම සිටිය යුතුය.



“ධම්මී වා කථා අරියො වා තුණ්හීභාවෝ” යනුවෙනි.
එනම් කතා කළ යුතු නම් දැහැමි කතාවක් කළ යුතු වන්නේ ය. එසේ නොමැති නම් ආර්ය නිශ්ශබ්දතාවයෙන් වැඩ සිටිය යුතු ය. මෙහි දී ආර්ය නිශ්ශබ්දතාවය නම් සිතේ ධ්‍යාන අවස්ථාවක් ඇති කර ගැනීමයි.
කාමාදි අකුසල ධර්ම, බැහැරකොට යම් වූ සමාධි නිමිත්තෙහි සිත ඔසවා තබා ගැනීමයි. එනම් සිහිය පිහිටුවා ගැනීමයි. එය ආර්ය නිශ්ශබ්දතාවයයි. මින් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ දේශනා කරන සේක.
මහණෙනි, ආර්ය පර්යේෂණය සහ අනාර්ය පර්යේෂණය යැයි සෙවීම් දෙකකි. එනම් පර්යේෂණ දෙකකි. මහණෙනි අනාර්ය පර්යේෂණය නම් කුමක් ද? මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාති ධර්මයක් ම සොයයි. තෙමේ ජරාව හෙවත් දිරාගෙන යෑම ස්වභාව කොට ඇත්තේ ජරා ධර්මයක් ම සොයයි. තෙමේ ව්‍යාධිය හෙවත් ගිලන් බව උරුම කොට ඇත්තේ ව්‍යාධි ධර්මයක් ම සොයයි. තෙමේ මරණ ස්වභාවය උරුම කොට ඇත්තේ මරණ ධර්මයක් ම සොයයි. තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තේ ශෝක ධර්මයක් ම සොයයි. තෙමේ කෙලෙසන ස්වභාවය ඇත්තේ කෙලෙසන ස්වභාව ඇත්තක් ම සොයයි.
භාග්‍යවතුන් වහන්සේ නැවතත් මේ එක් එක් කරුණ විස්තර කොට දේශනා කළ සේක. මහණෙනි, ජාති ධර්මය යැයි කියන්නේ කුමක් ද? එනම් අඹුදරුවෝ ජාති ධර්මයෝ යි. දැසි දස්සෝ එනම් සේවක සේවිකාවෝ ජාති ධර්මයෝ යි. එළුවෝ බැටලුවෝ ආදී තමන් විසින් හදන පාලනය කරන සත්වයෝ ජාති ධර්මයෝ යි. කුකුළන් හා ඌරන් ජාති ධර්මයෝ යි. ඇත්, ගව, අස්, වෙළඹ ආදී හු ජාති ධර්මයෝ යි. රන්, රිදී ආදිය ජාති ධර්මයයි. මෙම පංචකාම ගුණ උපදීහු ජාති ධර්මයයි. මෙහි පංචකාම ගුණ උපදියි නම් ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ආඝ්‍රහන, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසින් සිතිවිලි වශයෙන් අරමුණු ලබනා විට එහි “ඉටු වඩන මන වඩන කාමයෙන් යුත් ප්‍රිය දැයෙහි ඇලුම් කරන” ආදී වශයෙන් කාමයන්ට බැඳෙමින් ඒවා සෙවීමයි. ඒවා පංචකාම ගුණ උපදි හැටියට දක්වනවා. මෙහි තෘෂ්ණාවෙන් බැඳුනා වූ මුසපත් වූ බැසගත්තා වූ මේ ලෝවැසියෝ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාති ධර්මයක් ම සොයනවා.
ඉහත සඳහන් කළ සියල්ලන්ගේ ම අඹු දරුවන්, දැසි දස්සන්, සත්ත්ව පාලනයෙහි යුතු සත්ත්වයින් රන්, රිදී ආදිය වර්තමානයේ නම් මිල මුදල් ආදියෙහි ඇලෙමින් බැඳෙමින් කාම ගුණයන් මතුකොට සිත්හි දරාගනිමින් ඒවායේ නැවත නැවත තෘෂ්ණාවෙන් බැඳෙමින් ඒවා නිසා ම මුසපත් වෙමින් ලෝවැස්සා එහි ම ඇලී ගැලී සිටින ස්වභාවය ජාති ධර්ම සෙවීමක් හැටියට මෙහි විස්තර කරනවා.
මහණෙනි, කුමක් ජරා ධර්මය කියන්නේ ද? පුත්‍ර භාර්යාවෝ එනම් අඹු දරුවෝ ජරා ධර්මයෝ ය. දැසි දස්සෝ එනම් සේවක සේවිකාවෝ ජරා ධර්මයෝ ය. එළු, බැටළුවෝ ජරා ධර්මයෝ යි. කුකුළන් හා ඌරන් ජරා ධර්මයෝ යි. ඇත්, ගව, අස්, වෙළඹ ආදී හු ජරා ධර්මයයි. රන් රිදී ආදිය ජරා ධර්මයි. මහණෙනි, මේ පංචකාමගුණ ජරා ධර්ම වෙති. මේ ලෝවැසියා මේ පංචකාම ගුණයන්ට ගැට ගැසී මුසපත් වූයේ ඒවායේ බැස ගත්තේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරා ධර්මයක් ම සොයනවා.
මේ ඉහත සඳහන් කළ සියල්ල ම දිරාගෙන යන ස්වභාවයෙන් යුක්තයි. එනම් ඒවා හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සංඛත ධර්ම වූ බැවිනි. එහි පවතින්නේ හට අරගෙන වැය වීම හෙවත් නැතිව යන ස්වභාවයයි. යමක් හට ගන්නා සුළු ද ඒ සියල්ල නැසෙන සුළුයි යන පරමාර්ථ ධර්ම කතාව ම මෙහි දී මතුකොට දැක්වෙයි. තමාත් හේතුප්‍රත්‍යයන්ගෙන් යුතු කයක් එනම් ශරීරයක් දරාගෙන, මොහොතක් මොහොතක් පාසා වැය වී යන එනම් නැසී යන ස්වභාවයකින් යුක්තව ජීවිතය පවත්වමින් එසේ ම හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත වැය වී යන එනම් විනාශයට යන වස්තූන් ම සොයයි. ඒවායෙහි පංචකාම ගුණ වඩාගෙන තෘෂ්ණාවෙන් ගැට ගැසී මුසපත් ව ඒ වස්තූන් කෙරේ ම බැසගෙන කාලය ගත කරයි. මේ ලෝ වැසියා තෘෂ්ණාවෙන් ගැට ගැසී මුසපත්ව එහි ම බැසගෙන තමා ජරා ස්වභාවයෙන් යුක්තව ජරා ස්වභාවයට යුතු වස්තූන් හා පුද්ගලයන් සොයන්නේ ය යනුවෙන් සඳහන් කළේ එයයි.
මහණෙනි, කුමක් ව්‍යාධි ධර්මය යැයි කියන්නේ ද? අඹු දරුවෝ ව්‍යාධි ධර්මයෝ යි. දැසි දස්සෝ හෙවත් සේවක සේවිකාදි හු ව්‍යාධි ධර්මයෝ යි. එළුවෝ බැටළුවෝ කුකුළන් හා ඌරන් ව්‍යාධි ධර්මයෝයි. ඇත්, අස්, ගව, වෙළඹ ආදී හු ව්‍යාදි ධර්මයෝ යි. මේ පංචකාම ගුණ උපදීහු ව්‍යාධි ධර්මයෝ යි. මේ ලෝ වැසියෝ තෘෂ්ණාවෙන් මේවායෙහි ගැට ගැසුණි. ඒ නිසා ම මුසපත් වුණේ, ඒවායේ බැස ගත්තේ තමාත් ව්‍යාධි ස්වභාවය කොට ඇත්තේ ව්‍යාධි ධර්මයක් ම සොයයි. උපන් සියලු සත්ත්වයෝ ම ලෙඩ දුක්වලට උරුම බව පැහැදිලියි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 12 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment