Labels

Thursday, November 16, 2017

ඇලීම් ගැටීම් දුරු වෙයි සිතෙහි තැන්පත් බව ඇති වෙයි


 ලොවුතුරු බුදු දහමට අනුව ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්මයන් දියුණු තියුණු කර ගැනීමට භාවනා ක්‍රම අනුගමනය කළ යුතු යි. සිතේ ඇති කරදර, පීඩා, සංසිඳුවා ගන්න සමත් වෙයි. සිත නිශ්චල භාවයකට පත් වෙයි. මෙලෙස සිත එක අරමුණක පවතී. සියලු ම කොටස් බොහෝ වේලාවක් මෙනෙහි කරන්න. මඟ තොට යද්දී, රැකියාව අවසන් වී නිවසට යද්දී ගතවන පැය ගණනාවක කාලයේ භාවනා අරමුණක සිත මෙනෙහි කරන්න. කාලයක් ගත වෙද්දී "
ඒ සිතට ඉබේම භාවනා අරමුණු ගලා එයි. ඒ පින්බර සිත විදර්ශනා ඥානවලට හැරී යයි."

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කායගතාසති භාවනාව ක්‍රම ගණනාවකට දේශනා කොට වදාළා. ක්‍රම තිස් දෙකක් වන එය ද්වාතිංසාකාර භාවනාව, කායගතා සති භාවනාව, පටිකූල මනසිකාර භාවනාව, ධාතු මනසිකාර භාවනාව ලෙසින් පෙන්වා වදා


භාවනා ක්‍රම අතුරෙන් ගැඹුරු ම ක්‍රමයකට නැඹුරුවන භාවනාව කායගතාසති භාවනාව යි. ඒ නිසා කායගතාසති භාවනාවේ මෙතෙක් පළ වූ ලිපිවල සාරාංශ ගත කිරීමක් අද අපි ඔබට සඳහන් කරමු. අත්ථි ඉමස්මිං කායෙ කේසා, සිට අත්ථි ඉමස්මිං කායෙ මුත්තං දක්වා ක්‍රම ගණනාවකට පෙර ලිපි මඟින් පැහැදිලි කළෙමු. මෙතෙක් සඳහන් කළ ක්‍රම අතුරෙන් දිනකට එකක් හෝ මෙනෙහි කරන්න. අමතක වේ නම් කොළයක හෝ සටහන් තබාගෙන මෙනෙහි කරන්නට උත්සාහ දරන්න.
‘අත්ථි ඉමස්මිං කායෙ කේසා’ යනු භාවනාවේ අරමුණ යි. මේ කයෙහි කේසයෝ ඇත්තාහ යනු එහි සිංහල තේරුම යි. ඒ අරමුණ ම කොටස් ගණනාවකට මෙනෙහි කරන්න. ඊළඟට මේ කයෙහි කේසයෝ වර්ණයෙන් පිළිකුල් ය. සටහනින් පිළිකුල් ය. ගන්ධයෙන් පිළිකුල් ය. ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිකුල් ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල් ය. මේ කුණප කොටස් තිස්දෙක ම අනුපිළිවෙළට දිනෙන් දින ම මෙනෙහි කරන්න. අපහසු නම් සතියකට එකක් හෝ මෙනෙහි කරන්න. මේ ගැඹුරු භාවනාවේ වටිනාකම එතරම් ම ඉහළ ය. රන්, රුවන්වලට වඩා අගනා වන්නේ ය.
කේසයන්ගේ ස්වභාවය සඳහන් කළොත්, මේ කයෙහි කේසයෝ සත්ත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ, නිසත්ත්ව වූ, නිජීවි වූ, ශූන්‍ය වූ, අචේතනික වූ (සිතිවිලි නැති) , අව්‍යාකෘත වූ(පින් –පව් නැති), චතුසමුට්ඨානික වූ (කර්ම, චිත්ත, ඍර්තු, ආහාර සතරෙන් කේසයෝ සකස් වී ඇත. එනම්, චතුසමුට්ඨානික වශයෙන් අඩු වුණොත් කෙනෙකුගේ කේසයෝ අඩුවී යයි.) පඨවි , ආපෝ, තෙජෝ, වායෝ ධාතු මාත්‍රයකි. එමනිසා මේ කයෙහි කේසයෝ අනිත්‍යය යි. දුක්ඛයි, අනාත්ම යි. මෙලෙස කොටස් තිස්දෙක ම මෙනෙහි කරද්දී තම භාවනා දැනුම හොඳින් දියුණු තියුණු වෙයි. එවිට කායගතාසති භාවනාවේ එක කමටහනක් (භාවනාවේ අරමුණ) සම්පූර්ණ කළා වෙයි.
මෙලෙස අරමුණු මෙනෙහි කරද්දී අලෝභ, අදෝශ, අමෝහ යනුවෙන් චේතනා තුනක් ලැබෙයි. එය මෙනෙහි කරද්දී තමාට උසස් තත්ත්වයකට පත් වෙන්නට පුළුවන්. ධ්‍යාන, අභිඤ්ඤා විපස්සනා මාර්ගඵල අවස්ථාව දක්වා සමත් වෙයි. ඒ නිසා ම සැවොම මේ සිත ම සකස් කර ගැනීම සඳහා උත්සාහවත් වන්න.
මෙලෙස ඔබට නිබඳව ම පවසන්නේ සිත සකසා නො ගත්තොත්, කිසිම කෙනෙකුට සුගතිගාමී විය නො හැකි බව යි. බවුන් නොවැඩුවොත් මාර්ගඵල අවස්ථාවකට පමණක් නොව අඩුම වශයෙන් සිතේ තැන්පත්කම වත් ලබන්නට බැහැ. “කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය බැලුවා සේ” දුර්ලභව ලැබූ මිනිස් ජීවිතය පවා ඇතැම් අය විනාශ කර ගනියි. ඒ අභාග්‍යයට හේතු වන්නේ සිතේ තැන්පත්කම නොමැති නිස යි. විවිධාකාර අරමුණු ඔස්සේ දුව පැන ඇවිදින සිත බොහොම චංචල යි. ඒ සිතෙහි ස්වභාවය යි. චංචල වන තම සිතට තමන් ම එබී බලා එය හොඳින් හඳුනාගෙන විනාඩි දහයක් පමණ ‘කේසා’ වදන මෙනෙහි කරන්න. එවිට සිතේ තැන්පත් බව ක්‍රමයෙන් ඇති වී ඇලීම - ගැටීම දුරු වෙයි. එසේනම්, සිත එක අරමුණකට ගැනීමට කායගතාසති භාවනාව ප්‍රයෝජනවත් වෙයි.
කොටස් තිස්දෙක ම පිළිවෙළින් මෙනෙහි කරද්දී තමන්ගේ නුවණත් හොඳට පැහැදිලිව දියුණු තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. එවිට යමක්, පවසන ක්ෂණයෙන් දරා ගන්නට ශක්තිය ලැබෙයි. සති, සමාධි, ඥානයන්ගේ දියුණුව එය යි. ‘කේසා’ වදන සඳහන් කළොත් එය සත්ත්වයෙක් , පුද්ගලයෙක් , ආත්මයක් නො වෙයි. එය නාම මාත්‍රයක් පමණ යි. එසේනම්, මේ නාම මාත්‍රය පමණක් දිගින් දිගටම මෙනෙහි කිරීමෙන් ලැබෙන දියුණුව අපමණ යි. සීවලී කුමරු කේසා වදන දිගින් දිගට ම මෙනෙහි කිරීමෙන් රහත් ඵල ලැබුවා. සංකිච්චි කුඩා හාමුදුරුවෝ, මිහිඳු මහ හාමුදුරුවෝ රහත් ඵලයෙන් සැනසුම ලැබුවේ කායගතාසති භාවනාවෙන්.
කායගතාසති භාවනාව අංගුත්තර නිකායෙන් ක්‍රම ගණනාවකට පැහැදිලි වෙයි. යමෙක් නිර්වාණය සකස් කර ගන්නට කැමැති නම් කායගතාසතිය, වඩන්න යැ’යි බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. බෝධි පාක්ෂික ධර්ම දියුණුව, මගඵල නිවනින් සැනසීමට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ කායගතාසති භාවනාව යි. ලෝභ, ද්වේශ, මෝහ කෙලෙසුන් යටපත් කරවා ගෙන ඒවා සංසිඳුවාගෙන, විශිෂ්ටතා ඥාන ධර්මය අවබෝධයෙන් මාර්ගඵල අවස්ථාවන්ට පත් වීමට අවශ්‍ය වන්නේ කායගතාසති භාවනාව යි. මේ බව අංගුත්තර නිකායේ විශේෂ සූත්‍ර දේශනාවක ද පැහැදිලි වෙයි.
එසේනම්, කායගතාසති භාවනාව සැවොම දියුණු කර ගත යුතු භාවනා ක්‍රමයකි. අසරණ වූ ලෝක සත්ත්වයාට කායගතාසති භාවනාව කාරුණික ව පහදා දුන්නේ බුදුන් වහන්සේ පමණයි. ගිරිමානන්ද සූත්‍ර දේශනාව, සතිපට්ඨාන සූත්‍ර දේශනාව ආදී විවිධාකාර සූත්‍ර දේශනා මඟින් කායගතාසති භාවනාව වදාළහ. විශුද්ධි මාර්ගය ග්‍රන්ථයේ අට්ඨ කථාවේ දීර්ඝ වශයෙන් මේ ගැන පැහැදිලි ව සඳහන් වෙයි. මේ ගැන දැනුම්වත් ව කුණප කොටස් තිස් දෙක සිහි නුවණින් කොටසින් කොටස මෙනෙහි කරන්න. එලෙස පුරුදු වුණොත් තමන්ට භාවනාවේ ඉදිරි මඟ සාර්ථක වෙයි.
ඔබ, අප සියලු දෙනා ම ලොවුතුරු බුදු දහමට අනුව ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්මයන් දියුණු තියුණු කර ගැනීමට භාවනා ක්‍රම අනුගමනය කළ යුතු යි. සිතේ ඇති කරදර, පීඩා, සංසිඳුවා ගන්න සමත් වෙයි. සිත නිශ්චල භාවයකට පත් වෙයි. මෙලෙස සිත එක අරමුණක පවතී. සියලු ම කොටස් බොහෝ වේලාවක් මෙනෙහි කරන්න. මඟ තොට යද්දී, රැකියාව අවසන් වී නිවසට යද්දී ගතවන පැය ගණනාවක කාලයේ භාවනා අරමුණක සිත මෙනෙහි කරන්න. කාලයක් ගත වෙද්දී සිතට ඉබේම භාවනා අරමුණු ගලා එයි. ඒ පින්බර සිත විදර්ශනා ඥානවලට හැරී යයි. කේසයෝ සත්ත්වයෙක් නොවේ... ආදී ලෙස මෙනෙහි කිරීමෙන් ද, කේසයෝ අනිත්‍යය යි, දුක්ඛයි , අනාත්මයි යනුවෙන් මෙනෙහි කරද්දී ඒ සිතට ලැබෙන්නේ සම්මසන ඥානය යි. එය දස මහා විපස්සනා ඥාන අතුරෙන් පළමුවැන්න යි. එය තවදුරටත් මෙනෙහි කරද්දී තමන්ගේ විදසුන් නුවණ හෙවත් ප්‍රඥාව හොඳින් දියුණු වෙයි. එවිට ඇතිවීම නැතිවීම දැකීමේ ඥානය ලැබීමට සමත් වෙයි. ඒ උදයබ්භය ඥානය යි.
මෙලෙස විදර්ශනා ඥානයන් පහළ කර ගැනීමෙන් අපට සිතේ ලැබෙන දියුණුව අගෙයි. බුදු , පසේ බුදු, මහරහතන් වහන්සේ ආදී ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ අවබෝධ කළේ මේ භාවනා ක්‍රම යි. ඒ අනුව බොහෝ දෙනාට මේ භාවනා ක්‍රමය අනුගමනය කරන්නැ’යි උපදෙස් ලබා දුන්නා. එසේනම්, කායගතා සති භාවනාවේ කොටස් වශයෙන් ඉදිරිපත් කළ පාඩම් සියල්ල හොඳින් එකි නෙක ම මෙනෙහි කරන්න. බොහෝ දෙනාට මේ ක්‍රම පැහැදිලි කර දෙන්න. එවිට තමන්ට ද ලොකු අත්දැකීමක් ලැබෙයි. නිබඳව ම තම සිතෙන් මෙනෙහි කරන කායගතාසති භාවනාව, පෝය දිනට සිල් සමාදන් වන ඔබට ඉමහත් රුකුලක් වේවි. මේ ගැන සජ්ඣායනා කිරීමෙන්, අන්‍යයන්ට ද පවසන්න. එවිට තමන්ට වටිනා අත්දැකීමක් ලැබෙ යි. එමෙන් ම ලැබෙන පින ද ඉමහත් වෙයි.
එසේනම්, සම්බුදු සසුන ද රැක ගෙන , තමන්ගේ ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරගෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මඟඵල ධර්මයෝ සාක්ෂාත් කර ගෙන ශාන්ති ලක්ෂණ නිවනින් නිවී සැනසෙන්නට පින්බර ඔබට හේතු වාසනා වේවා!


අම්බලන්ගොඩ, කහව ගල්දූව 
ආරණ්‍ය සේනාසනයේ 
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment