Labels

Friday, November 3, 2017

ක්ෂාන්තිවාදී ජාතකය - ක්ෂාන්ති පාරමිතාව

ඈත අතීතයේ අප මහ බෝසතාණන් වහන්සේ ‘කුණ්ඩික’ නම් බ්‍රාහ්මණයෙක් ව ඉපදී සිටියා. ටික කාලයක් යන විට එතුමාට ගිහි ජීවිතයේ කරදරකාරී බව හැඟුණා. ආදීනව දුටුවා. ගිහි ජීවිතය ගැන කලකිරී, පැවිදි වුණා. හිමාලය වනයේ බණ භාවනා කරමින් කාලය ගත කළා.


වැසි කාලය එළඹෙත් ම එතුමා ලුණු ඇඹුල් සොයාගෙන නගරයට එනවා. එකල රට පාලනය කළේ ‘කලාබු’ නම් රජ කෙනෙක්. ඒ රජතුමා බොහොම නපුරුයි. ආගමට දහමට කැමැති නෑ. ගෞරවය කරන්නේ නෑ. එහෙත් රජතුමාගේ සේනාපතිතුමා හරිම ගුණවත්. ධාර්මික යි. තාපසතුමාට කලාබු රජුගේ උයනෙහි වාසය කරන ලෙස සේනාපතිතුමා ආරාධනා කළා.
දිනක්, අන්තඞපුර ස්ත්‍රීන් පිරිවරාගෙන කලාබු රජු උයන් කෙළියට ගියා. එහි දී බොහෝ විනෝද වුණා. ටික වෙලාවක දී එක් ස්ත්‍රියක ගේ උකුල මත රජුට නින්ද ගියා.

අනෙක් ස්ත්‍රීන් උයනේ සිරි විඳිමින් එහෙ මෙහෙ ඇවිද ගියා. එවිට උයනේ සිටින තාපසතුමා දුටුවා. ශාන්ත ඉරියව් ඇති මේ තාපසතුමා ගැන ඒ ස්ත්‍රීන් පැහැදුණා. උන්වහන්සේ අසළ ඉඳගෙන බණ අසන්නට පටන් ගත්තා. අනෙක් කාන්තාවන් දකින්නට නැති නිසා රජු සමඟ සිටි ස්ත්‍රිය රජු අවදි කළා. අනෙක් අන්තඞපුර ස්ත්‍රීන් දකින්නට නැති නිසා රජු කෝප වුණා. ඔවුන් සොයන්නට නියම කළා. ඔවුන් එක් තාපසයෙක් අසළ බණ අසමින් සිටින බව අර ස්ත්‍රිය දැනුම් දුන්නා. රජතුමාගේ කෝපය දෙගුණ තෙගුණ වුණා. කඩුවක් ගෙන තාපසතුමා ළඟට ගියා.
“තාපසය, නුඹ කවර වාද ඇත්තෙක් ද?” කලාබු රජු ඇසුවා.
“මහරජ, මම ක්ෂාන්තිවාදියෙක් වෙමි.” තාපස තුමා පිළිතුරු දුන්නා.
“තාපසය, ක්ෂාන්තිය කියන්නේ කුමක්ද? රජතුමා නැවත ඇසුවා, මහරජ අනුන්ගෙන් වන දුක් පීඩා ඉවසන අයුරු බලන්නෙමි.’ තාපසතුමා පැවසුවා. රජතුමා තවත් කෝප වුණා. වධකයා ගෙන්වා තාපසතුමාට කස පහර දෙන්නට නියම කළා. ශරීරය පැලී ලේ ගලද්දී තාපසතුමා ඉවසාගෙන සිටියා.
“තොප තවමත් ඉවසනවා ද?” රජු ඇසුවා.
“මහරජ, මම ක්ෂාන්තිවාදී වෙමි.” තාපසතුමා නැවතත් පැවසුවා.
තාපසතුමාගේ අතපය, කන්, නාසා, කපමින් රජු ඒ ප්‍රශ්නය ම නැවත නැවත ඇසුවා.
‘මහරජ මගේ ඉවසීම තිබෙන්නේ අත්පාවල කන් නාසාවල නොවෙයි. හදවතේ යි.’ තාපසතුමා වේදනාව ඉවසාගෙන මෘදු බසින් ම පැවසුවා.
බොහෝ සේ කෝපයට පත් කලාබු රජතුමා තාපසතුමාගේ පපුවට පයින් ඇන එතැනින් යන්නට ගියා. මේ පුවත සේනාපතිතුමාට දැන ගන්නට ලැබුණා. තාපසතුමා සොයාගෙන දුවගෙන ආව. තාපසතුමාට බොහෝ සත්කාර කොට රජතුමා කළ අපරාධයට සමාවන්නැයි ඉල්ලා සිටියා. ඒ ඇසූ තාපසතුමා මෙසේ පැවසුවා.

යො මෙ හත්ථෙ ච පාදෙ ච
කණ්ණනාසං ච ඡෙදයී
චිරං ජීවතු සො රාජා
නහී කුජ්ඣන්ති මා දිසා

“යම් රජ කෙනෙක් මාගේ අත්, පා, කන්, නාසා, සිඳ දැමුවේ ද ඒ රජතුමා බොහෝ කල් ජීවත් වේවා. මා වැනි අය කෝපයට පත්වන්නේ නැත.” දැහැමෙන් ජීවත්වුණු තාපසතුමාට කළ අපරාධය නිසා පවිටු රජතුමාට වැඩිදුර යන්නට ලැබුණේ නැහැ. කළ පාප කර්මය පළ දුන්නා. පොළොව පළාගෙන නිරයට ගියා. මේ කතා පුවතින් අපට පැහැදිලි කරන්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ ඉවසීමේ ගුණය යි. ‘ක්ෂාන්තිය’ කියන්නේ ඉවසීමට යි.


(සාමණේර අත්පොත ඇසුරිනි)


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 12 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

1 comment:

  1. ගොඩාක් වැදගත් ලිපියක්..
    බුදු සරණයි.

    ReplyDelete