Labels

Thursday, November 16, 2017

නිවන් මඟ ලබන්නට...


උතුම් නිර්වාණය ලැබීමට කැමැති ශ්‍රාවකයෙකු විසින් ඇතිකර ගත යුතු ප්‍රධාන කරුණු පහක් තිබෙ යි. නිවන තුළ හික්මීමට නම් අප තුළ අධ්‍යාත්මික සංවරකමක් තිබිය යුතු ය. එහි පළමුවන කරුණ “ශ්‍රද්ධාව” යි.
ශ්‍රද්ධාව ආකාර දෙකකින් පවතී. ඒ ආකාරවතී ශ්‍රද්ධාව හා අමූලික ශ්‍රද්ධාව යනුවෙනි. ආකාරවතී ශ්‍රද්ධාව යනු තුනුරුවන් කෙරෙහි පවතින, කඩ කරන්නට නො හැකි ශක්තිමත් ශ්‍රද්ධාව යි. එය සිතෙන් අයින් කළ නො හැකි යි. නො වෙනස් එකකි. ඒ ගුණාංගය වෙනස් නො වන්නේ කරුණු දැනගෙන ම ධර්මය කෙරෙහි පැහැදීම නිස යි. එනම්, බුදුරජාණන් වහන්සේගේ ගුණ, ගුණ වශයෙන් හඳුනාගෙන අවබෝධයට පත්වීම යි. ශ්‍රද්ධාව හොඳින් වැඩුණා ම ඉන්ද්‍රිය ධර්මයක් ලෙසින් ද වැඩේ. සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල බල ධර්මයක් වශයෙන් ද දියුණු වේ. මේ ශ්‍රද්ධාව දියුණු කර ගන්නේ කෙසේ ද? බුදුරජාණන් වහන්සේ “අරහං” සියලු කෙලෙසුන් නසා ලූ උතුමෙකි. උන් වහන්සේ සම්මා සම්බුද්ධ යි.” බුදුපියාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් කිසිවක් ඉතිරි නොකර ම අවබෝධ කළ සේක. “විජ්ජාචරණ සම්පන්න” ලෝකයේ ශීලවතුන් අතර වඩාත් පිරිසුදු වූ සීලයක් තිබු සේක. “සුගත” බුදුපියාණන් වහන්සේ සුන්දර වූ නිවනින් සැනසී අන් අයට ද ඒ මඟ කියා දුන් සේක. “ලෝකවිදූ” සියලු ලෝකයන් පිළිබඳ උන්වහන්සේට විශාල දැනුමක් මෙන් ම අවබෝධයක් තිබුණ සේක. එසේ ම බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්ම සාරථි යන ගුණයෙන් යුතු වූ සේක. දමනය කළ නො හැකි දෙවි, මිනිසුන් උන්වහන්සේගේ මහා කරුණා සමාපත්ති ඥානයෙන් දමනය කොට වදාළ හ.
“සත්ථා දේව මනුස්සානං” උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්හට ගුරුවරයෙක් හැටියට වැඩ සිටිය හ. බුදුරජාණන් වහන්සේ “බුද්ධ” නම් වන සේක. උන්වහන්සේ නිකෙලෙස් හදවතකින් වැඩ සිටිය උතුමෙකි. උන්වහන්සේගේ ගුණ කදම්භය අප්‍රමාණ යි. බුදුරජාණන් වහන්සේ “භගවා” වන සේක. උන්වහන්සේගේ භාග්‍යය සම්පන්නභාව කොතරම් ද පැවසුවොත් කල්පයක් පුරාවට ගුණ පිළිබඳව කථා කළ ද, උන්වහන්සේගේ ගුණ කථා කොට අවසන් වීමට ප්‍රථම කල්පය අවසන් වුව ද උන්වහන්සේගේ ගුණ අවසන් නොවේ. මෙතරම් භාග්‍යවත් ගුණ ඇති වටිනා උත්තරීතර ශාස්තෘන් වහන්සේ නමකගේ අප්‍රමාණ ගුණ පිළිබඳ ව පළමුව හඳුනාගෙන බුද්ධ ශ්‍රාවකයෙකු ලෙස නො සැලෙන ශ්‍රද්ධාවක් ඇතිකර ගත යුතු ය. ධර්මයේ ගුණය ත්, ආර්ය මහා සඟ රුවනෙ හි ගුණ ත් මෙසේ හඳුනා ගත යුතු වේ. එසේ ගුණ දැන හඳුනා ගැනීමෙන් පළමුව ගුණ පිළිබඳව විශ්වාසයක් ඇති වේ. දෙවනුව අවබෝධ කරගෙන ටිකෙන් ටික ධර්මය තුළ හැසිරීමෙන් මෙහි ගුණවත් භාවය අපට දියුණු කරගෙන බලයක් බවට පත්කොට ආකාරවතී ශ්‍රද්ධාව දක්වා දියුණු කරගත හැකි වේ. සෝවාන් මාර්ගය වැඩීමට පළමුව අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව තුළ අචල ප්‍රසාදය යි.
දෙවනි කාරණාව නිවන් මාර්ගයට අවශ්‍යය “සීලය”යි.
සිල්වත් බව බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්නේ ජරාවට පත්වන තුරුම සීලවන්ත වෙන්නට කියා ය. කය, වචනය,සංවරය පළමුව අවශ්‍යය යි. ගිහියෙකු වශයෙන් ඔබ පංචශීල ප්‍රතිපදාව ජීවිතයේ අංගයක් බවට කර ගන්න. කිසිවිටෙකත් සතෙකු , ප්‍රාණියෙකු මරණයට පත් කිරීමට හෝ උපක්‍රමිකව හෝ ඔබගේ සහභාගිත්වයක් ඇති ව මරණයට පත් වුවහොත් ඔබට ප්‍රාණඝාත අකුසලය සිදු වේ. දෙවනුව සොරකම් කිරීම සම්බන්ධවයි. සොරකම් කිරීම යනු අන් සතු දෙය යි. ඔබට අයිති නැති කිසිවක් ගැනීම තුළින් මේ සික පදය බිඳේ. තුන්වෙනුව වැරැදි කාම සේවනය යි. යමෙකු විසින් ආරක්ෂා කරන බිරිඳක් හෝ ස්වාමිපුරුෂයෙක් හෝ සමඟ අනියම් , වැරැදි ලෙස කාම සේවනයෙහි යෙදී ම වැරැදි කාම සේවනය යි. සතර වෙනුව බොරු කීමෙන් , මුලාවෙන් යමෙක් රවටයි ද එය බොරු කීමේ සිල් පදය බිඳීමට හේතු වේ. පස්වෙනුව මත් වතුර හා මත්ද්‍රව්‍යය භාවිතය යි. දැන හෝ නො දැන මනස විකෘති භාවයට පත්වන යම් යම් දේ ශරීරයට ඇතුළු කොට මදයට හා ප්‍රමාදයට පත්වෙයි ද, එය පස්වන සික පදය බිඳීමට හේතු වේ. මේ ආදී කොට ඇති පංචශීල ප්‍රතිපදාව දිනෙන් දින ශක්තිමත් කොට සිල්වතෙකු වීමට අවශ්‍ය වේ. මෙයින් සිදුවන්නේ දෙවනුව ඇති කරගන්නා ගුණය යි. එනම් සීලවන්ත භාවය යි.
තුන්වෙනුව, “සුතය යි. සුත යනු දැන ගැනීමයි. කුමක් පිළිබඳව ද දැන ගන්නේ? ධර්මය පිළිබඳව දැන ගත යුතු වේ. කුමක් ද දැනගන්නේ? ධර්මයේ හැසිරෙන ආකාරය, සහ ධර්මය තුළින් කෙලෙසුන්ගෙන් මිදීමේ මාර්ගය යි. ඉහත කී ආකාරයට අප, ධර්මය පරිශීලනය කරගත යුතු වේ. එනම් අපගේ මරණින් මතු ජීවිතයේ සුඛිත ඵල නෙළා ගැනීම පිණිස දහම් අත්‍යවශ්‍ය වෙයි.
අනෙක් කරුණ නම් ත්‍යාග භාවය යි. නිවන් මාර්ගයේ හික්මෙන බුද්ධ ශ්‍රාවකයෙකු, ශ්‍රාවිකාවක සතු ගුණාංගය යි. ත්‍යාගවන්ත භාවය, තමා සතු ඕනෑම දෙයක් යමෙකුට දීමට ඇති යහපත්, සිත නම් ත්‍යාගවන්ත භාවය යි. බෝසත්වරයෙකු ලෙස පාරමිතා පුරණ කාලයේ දී දාන පාරමිතා, දාන උප පාරමිතා , දාන පරමත්ත පාරමිතා වශයෙන් තුන් වැදෑරුම් ලෙස පාරමිතා ධර්මයන් දියුණුවට පත් කළහ. එසේ ත්‍යාගවන්ත භාවය අප සතුව නැතිනම් පළමුව අප කැමැති දෙයක් නැති බැරි කෙනෙකුට හෝ දීමට පුරුදු පුහුණු වීම වඩා වැදගත් වේ. දෙවනුව දුන් දෙය පිළිබඳව ඇලීම නැති කොට ලබන සතුට යි. එයින්ම අත් හැරීම සහ ත්‍යාගය යන අංගය සම්පූර්ණ භාවයට පත් වෙයි. නිවන් දැකීමට කැමැති ශ්‍රාවකයෝ අත් හැරීම පුරුදු කළ යුතු ය.

පස්වන කාරණාව නම් ප්‍රඥාවන්ත භාවය යි. කෙසේ ද අප ප්‍රඥාවන්ත භාවයට පත්වන්නේ? ප්‍රඥාවන්තභාවයට පත්වන නියම ස්වභාවය නම් සමථ, විදර්ශනා වැඩීම යි. සමථ විදර්ශනා යනු ධර්ම මාර්ගයෙහි මූලික කොටස් දෙකකි. භාවනාවෙහි පළමු අංගය සමථය ලෙසත්, දෙවන මාර්ගය විදර්ශනාව ලෙසත් හැඳින් වේ. මෙසේ පළමුව සමථ භාවනාව තුළ සම සතළිස් කර්මස්ථාන වඩා සිතෙහි සමාධිමත් භාවය මතුකොට සිත තුළින් ඥානය දියුණු කිරීමේ මාවත විවෘත කර ගත හැකි ය. දෙවනුව විදර්ශනා මාර්ගය වඩා සැබෑ ප්‍රඥාවන්තයෙකු ලෙස නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත හැකි ය.


දම් සිසිල ශ්‍රී සදහම් 
යෝගාශ්‍රමාධිපති 
ආටිගල අමිත හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment