මේ ජීවිතය ආසාවෙන්, තරහෙන්, මෝඩකමෙන්, වයසට යෑමෙන් රෝග වලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීමෙන් හැම වෙලේම ගිනි ඇවිලෙද්දී මොන හිනා ද? මොන සතුටක් ද?
කලණ මිතුරු ඇසුර කියන්නේ ඉතාම සුන්දර දෙයක්. කල්‍යාණ මිත්‍රයා වරදින් මිදෙන්නට උපකාර කරනවා. යහපතේ හැසිරෙන්න අනුශාසනා කරනවා. පවින් වළක්වා ගන්නවා. එබඳු කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළොත් ඕනෑම කෙනෙකුගේ ජීවිතයට දියුණුවක් ම යි ඇති වන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ “නිධානයක් තිබෙන තැන පෙන්වා දෙන මිත්‍රයෙක්” වගේ නුවණැත්තා අඩුපාඩු දුටුවිට කරුණාවෙන් අවවාද කර, වරදින් මිදෙන්නට උදව් කරන බවයි. එබඳු නුවණැති සද්පුරුෂයින් ම ඇසුරු කළ යුතුයි. එවිට යහපතක් ම යි සිදුවන්නේ. අයහපතක් නම් නොවෙයි.
කලණ මිතුරන් ළඟ සිටියත් සමහර අයට ඒ කලණ මිතුරා සොයාගන්නට අමාරුයි. කලණ මිතුරන් නිතර ම උත්සාහ කරන්නේ තමන් ඇසුරු කරන අය යහපතෙහි යෙදවීමට යි.
විශාඛා මහෝපාසිකාවත් එවැනි තැනැත්තියක්. ඕ තොමෝ මහත් කරුණාවෙන් යුතු යි. අනුකම්පාවෙන් යුතු යි. ඒ වගේම ප්‍රඥාවෙන් යුතු යි. සැවැත්නුවර සිටි ඉතාමත් සම්භාවනීය, වැදගත්, ප්‍රභූ කාන්තාව වූයේ විශාඛාව යි.
ඇය වටා බොහෝ කාන්තාවන් රැස් වුණා. ඇයගේ පිරිවර වෙන්න බොහෝ දෙනෙක් කැමැති වුණා. ධර්මයට එතරම් ආසාවක් නැතත්, විශාඛාව ඇසුරු කිරීමට කැමැති වූ කාන්තාවන් ද සිටියා. ඒ කාන්තාවන් ධර්මයේ නො හැසිරෙන බව විශාඛාව දැනගෙන සිටියා. නමුත් තමන්ගේ ඇසුර නිසා ටිකෙන් ටික යහපත සලසා දීමේ අනුකම්පා සහගත අදහසක් විශාඛාව තුළ තිබුණා. ඒ නිසා ම කිසි වෙනසක් නො දක්වා ඔවුන් ද අසුරු කළා.
මේ කාන්තාවන් පිරිස පන්සියයක් පමණ වෙනවා. ඇතැම් අවස්ථාවන්හි දී සැවැත්නුවර ඉහළ සමාජයේ මධුපානෝත්සව පැවැත්වෙනවා. එවිට ස්ත්‍රී පුරුෂ කවුරුත් මත්වතුර බොනවා. එකට නටනවා.
දවසක් පන්සියයක් ස්ත්‍රීන් තම තමන් මත්පැන් රැගෙන උද්‍යාන ක්‍රීඩාවට යමින් සිටියා. මේ අතරේ විශාඛාව භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස සුවඳ මල් රැගෙන දෙව්රම් වෙහෙරට යමින් සිටියේ.
”මේ නැඟෙනිවරු කොහෙද මේ යන්නේ....? කිනම් උත්සවයක් සඳහා ද?”
”පින්වත් ආර්යාවෙනි, අප අද උයන් කෙළියට යනවා. හිනාවෙලා කාලා බීලා සතුටු වෙන එකත් ජීවිතයට තිබෙන්න එපායෑ”
”ඉතින් ඔබ හිනාවෙලා, කාලා බීලා සතුටු වෙන එකේ සීමාවක් නෑනේ. අපි මෙහෙම කරමු. අද උයන් කෙළියට යන එක නවත්වමු. මාත් සමඟ දෙව්රම් වෙහෙරට යමු. එතැන දී අපට යම්කිසි සතුටක් ලැබෙනවානේ. එවැනි ශාන්ත සතුටකුත් අපි ලබන්න ඕන නේද?”
කාන්තාවන් එකිනෙකා මුණ බලා ගත්තා. ඔවුන්ට බෑ කියන්නත් බැහැ. හා කියන්නත් බැහැ. වෙන දවසක එන්නම් කියන්නත් බැහැ. විශාඛාවට ඇති ගෞරවය නිසා දෙව්රම් වෙහෙරට යන්න කැමැති වුණා.
"බොහොම හොඳයි. මේ ජීවිතය වගේ ම පරලොව ජීවිතය ගැනත් අපි කල්පනා කරන්නට ඕනෑ. ධර්මය පිළිබඳවත් ආශාවක් ඇති කරන්නට ඕනෑ නේද? එහෙමනම් අප දෙව්රමට යමු,"
විශාඛාවගේ වචනයට පිටුපාන්න කාටවත් බැහැ. ඒ නිසා විශාඛාවගේ පිටුපසින් ඔවුනුත් දෙව්රම් වෙහෙරට ආවා. තැනින් තැන ඉතා සිනිඳු සෙවණැලි ඇති උද්‍යාන තිබෙනවා. දුර පළාත්වලින් එන අය භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ඇවිත් විවේක ගන්නේ එවැනි තැන්වලයි. විශාඛාව සංඝෝපස්ථාන කරන නිසා ඒ කටයුතුවල නිරත වුණා. අර කාන්තාවන් පන්සිය දෙනා ටිකක් නො පෙනෙන පැත්තකට ගියා. ගස් සෙවණේ වාඩිවුණා. තමන් ළඟ සඟවාගෙන තිබූ මත්පැන් බොන්නට පටන් ගත්තා. බඳුන් හිස් වුණා. හිස් බඳුන් කටු පඳුරකට වීසි කළා. කාන්තාවන්ගේ මේ මානසික ස්වභාවය එක්තරා මාරපාක්ෂික දේවතාවියකට දැකගන්නට ලැබුණා. ඈ අර පන්සිය දෙනාම තමන්ගේ වසඟයට ගත්තා.
ඔය අතරේ විශාඛාව තමා සමඟ පැමිණි යෙහෙළියන් සොයනවා. ඒ කාන්තාවන් පිරිස දම්සභා මණ්ඩපයෙන් ඈතට වෙන්න සිටින බව ඇය දුටුවා. විශාඛා ඔවුන් දම්සභා මණ්ඩපයට ගෙන්වා ගත්තා.
මත්පැන් බීමෙන් සිහි නුවණ දුර්වල වී සිටි අර කාන්තාවන් මාරපාක්ෂික දේවතාවියකගේ බැල්ම සහිතව දම්සභා මණ්ඩපයට ඇතුළු වුණා. වාඩිවුණා. එවේලෙහි මාර පාක්ෂික දෙව්දුව මෙසේ සිතුවා. “මම දැන් මේ කාන්තාවන්ගේ සිරුරුවලට අවේශ වෙලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉදිරියේ විප්‍රකාර දක්වන්න ඕන”.
භාග්‍යවතුන් වහන්සේ ධර්මාසනයට වැඩම කළා පමණ යි. අර කාන්තාවන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අත්පුඩි ගසන්න පටන් ගත්තා. තව කෙනෙක් ගී ගැයුවා. තව කෙනෙක් අත්පය එහාට මෙහාට නළන්නට පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේට කාරණය වැටහුණා. මේ අඥාන කාන්තාවන්ගේ ප්‍රමාදය නිසා මාරකායික බලවේගයක් මේ උදවිය ග්‍රහණයට ගෙන ඇති බව උන්වහන්සේ දුටුවා. නමුත් තථාගතයන් වහන්සේ ඉදිරියේ ඔවුන්ට එය සාර්ථක කර ගන්න ලැබුණේ නැහැ.
භාග්‍යවතුන් වහන්සේ සැණෙකින් ඝන අන්ධකාරයක් මැව්වා. කො තරම් අඳුරක් ද යත්, කිසිම දෙයක් පේන්නේ නැතුව ගියා. කාන්තාවන්ගේ මත් ගතිය නැතිවුණා. සිහි නුවණ උපන්නා. සිහි නුවණ උපන් සැණින් අර මාර පාක්ෂික බලවේගයට තවදුරටත් එතැන ඉන්න බැරිවුණා. කාන්තාවන් හොඳටම තැති ගත්තා. ඒ අඳුර ටික වෙලාවකින් නැතිවුණා. භාග්‍යවතුන් වහන්සේ පෙනෙන්නේ නැහැ. නමුත් ඈත අහසේ හිරු සඳු දහසක් පෑයූ ලෙසින් ආලෝක ධාරාවක් එතැනට වැටුණා. භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාව වදාළා.
කෝ නු හාසෝ කිමානන්දෝ
නිච්චං පජ්ජලිතේ සති
අන්ධකාරේන ඕනද්ධා
පදීපං න ගවෙස්සථ
නිච්චං පජ්ජලිතේ සති
අන්ධකාරේන ඕනද්ධා
පදීපං න ගවෙස්සථ
මේ ජීවිතය ආසාවෙන්, තරහෙන්, මෝඩකමෙන්, වයසට යෑමෙන් රෝග වලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීමෙන් හැම වෙලේම ගිනි ඇවිලෙද්දී මොන හිනා ද? මොන සතුටක් ද? අනවබෝධය නමැති ඝණ අඳුරේ ගිලිී ඉන්න ඔබ පහනක් නො සොයන්නේ ඇයි?
සාමාන්‍ය ජීවිතය ගෙවන අප ද එක්කෝ ද්වේෂයෙන් ගිනි ගන්නවා. නැත්නම් රාගයෙන් එහෙම නැත්නම් මුලාවෙන් ගිනි ගන්නවා. මේ වගේ දැවෙමින් ඉන්න ජීවිත කොතෙක් ද? විසඳුමක් සොයන්න යන්නෙත් ගින්දරෙන් ම යි. අන්ධකාරය යනු අවිද්‍යාව යි. එබඳු කෙනෙක් සොයාගත යුත්තේ තමාට සත්‍යය දැකිය හැකි ආලෝකයකු යි. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයෙන් තොරව එවැනි ආලෝකයක් වෙන කොහෙන් සොයන්න ද?
භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව පුදුම සහගත යි. මාර බලවේගයෙන් පිරිස මුදා ගත්තා. ප්‍රමාදයෙනුත් මුදා ගත්තා. සිහි නුවණෙහි පිහිටෙව්වා. ධර්මයත් තේරුම කර දුන්නා. ඒ පන්සිය දෙනාම සෝවාන් ඵලයට පත්වුණා.
කෙනෙකුගේ ජීවිතයට ඇසුර කියන දේ කො තරම් බලපානවා ද කියන කාරණය අපට මේ කතාවෙන් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමන්ට වඩා ගුණයෙන් හීන අය ඇසුර කරන පුද්ගලයා ගුණධර්ම වලින් පිරිහී යනවා. තමාට සමාන වූ ගුණයෙන් යුතු පුද්ගලයා ඇසුරු කරන කෙනා කිසි කලෙකත් පිරිහී යන්නේ නැහැ. තමන්ට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්ගේ ඇසුරට නැඹුර වන කෙනා වහා දියුණු වෙනවා.
ඒ නිසා තමාට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන් ඇසුරු කළ යුතුය. තමාට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුම් කලණ මිතුරු ඇසුර සලසාගෙන තමන්ගේ ජීවිත ගුණ ධර්මයන්ගෙන් පෝෂණය කර ගන්නට හැම දෙනාටම වාසනාව උදාවේවා.
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 12 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment