Labels

Thursday, November 2, 2017

මසුරු මළ දුරලමු

මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන කල ලක්ඛණ තෙරුන් වහන්සේ සමඟ පිඬු පිණිස වැඩම කිරීම සඳහා පර්වතයෙන් පහළට පැමිණෙන අවස්ථාවේ එක් ප්‍රේතයෙකු දුටු සේක. ඔහුගේ නම සට්ඨිකූට ය. ඔහු තුන්ගව්වක් පමණ උසකින් යුක්ත ය. ගිනි ඇවිලී දැල්වෙන කුළුගෙඩි සැට දහසක් ඔහුගේ හිස මත එකවර පතිත වෙයි. එකෙණෙහි ම ඔහුගේ හිස පැළී යයි. කර්ම බලයෙන් නැවතත් පැවැති තත්ත්වයට ම පත්වෙයි.

න වෙ කදරියා දෙව ලොකං වජන්ති
බාලා හවේ නප්පසං සන්ති දානං
ධීරෝ ච දානං අනුමොදමානො
තේනේව සො හොති සුඛී පරත්ථ


දැඩි මසුරු පුද්ගලයෝ දිව්‍ය ලෝකයට නොයන්නෝම ය. ඔවුහු කදරිය නමින් හැඳින්වෙති. බාලයෝ ඒකාන්තයෙන්ම දන්දීම ප්‍රශංසා නොකරන්නෝම ය. නුවණැත්තෝ දන්දෙති. අනුමෝදන් වීම ද සිදු කරති. ඒ නිසා ම පරලොව සැප සම්පත් වින්දනය කරති.

මේ, දන්දීමේ වැදගත්කම පෙන්වා දෙන දේශනයකි. එමෙන් ම මසුරු පුද්ගලයන් කිසිවක් රැස් කර නොගන්නා බව ද පෙන්වා දෙමින් කළ දේශනයකි. මේ ලොවෙහි බොහෝ මසුරු මළ සහිත පිරිස් වෙති. අඳබාලයෝ ද බොහෝ වෙති. සුබ ක්‍රියාවක් කරන කල්හි එය නවතාලීමට ඔවුහු හැමවිට විවිධ ක්‍රියාමාර්ග ගනිති. කරන වැඩයෙහි දොස් දකිති. යමක් කරන්නේ ද එය අතරමඟ නවතාලීමට අවශ්‍ය පිඹුරුපත් සකසති. එම ක්‍රියාව කරන්නන්ගේ සිත් බිඳීමට ක්‍රියා කරති. මෙවැන්නෝ සමාජයට පිළිලයකි. ඒ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙහි දී මසුරා යනු කවුදැයි හඳුනා ගැනීම වැදගත් ය. මසුරු බවෙහි ප්‍රභේද කිහිපයකි. ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්ම මච්ඡරිය යනුවෙනි. ‘ආවාස මච්ඡරිය’ නම් විහාරස්ථානයක සැප පහසුව විඳිමින් සිට වෙනත් අයකු පැමිණ තමාගේ සැප නැති කරයිදෝ යන බියෙන් පසුවන පුද්ගලයා ය. ‘කුල මච්ඡරිය’ නම් තමාගේ ඥාති කුලයට හෝ උපස්ථායක කුලයකට හෝ අන්‍ය සිල්වත් භික්ෂූන් වහන්සේ නමකගේ එළඹීම පි‍්‍රය නොකරන්නා ය.
යම් බඳු සිල්වත් භික්ෂුවක් සිව්පසය ලබන කල්හි ඒවා උන්වහන්සේට නොලැබේවා’යි සිතන භික්ෂුව ‘ලාභ මච්ඡරිය’ යි. අනෙකාගේ වර්ණවත් බව සිහි කරමින් ඔහුගේ ගුණ යමෙක් ප්‍රකාශ කරන කල එයට නො කැමැති වන පුද්ගලයා ‘වණ්ණ මච්ඡරිය’යි ‘ධම්ම මච්ඡරිය’ නම් තමා දැනගත් ධර්මය අනෙක් පුද්ගලයා දැන ගනීදැයි යන හැඟීමෙන් සිටින පුද්ගලයා ය.
ගිහි පැවිදි දෙපිරිසටම මෙම දහම් කරුණු අදාළ ය. මෙබඳු මසුරු මළ ඇත්තෝ කිසිදු දිනයෙක තමාගේ ජීවිතයට වැදගත් යමක් උරුම කර නොගනිති. එපමණක් ද නොවේ. බාලයාගේ ලක්ෂණ ද මෙබඳුම ය. අධර්මතාවන්ගෙන් ම පූර්ණ ය. ඔහුගේ ක්‍රියාවද තමන්ගේ යහ පැවැත්මේ පරිහානිය පිණිස ම ය. අන්‍යයන්ගේ ද යහ පැවැත්මේ පරිහානිය පිණිස ම ය. ඥානවන්ත පුද්ගලයා ඊට සපුරා වෙනස් චරිත ඇත්තෙකි. හේ දන්දීමෙහි පි‍්‍රය ය. තමාට හැකි පමණින් දන්දීම්, පරිත්‍යාග කිරීම් ආදිය සිදු කරයි. පුණ්‍යක්‍රියාවන් හි ම නිරත වෙයි. එමඟින් මෙලොව, පරලොව ජීවිතය සැපවත් කර ගනියි. දන් දිය යුතු වන්නේ එහි අනුසස් මනාව දැන ගෙන ය. කිසිදු විටෙක මසුරු චේතනාවක් ඇති කර නොගත යුතු ය. එමෙන් ම වෙනයම් ආකාරයක පාපකාරී සිතිවිලිවලින් යුතුව බාලයාගේ ලක්ෂණ ක්‍රියාවට නැංවීම නොකළ යුතු ය.එය ධම්ම පදයේ බාල වග්ගයේ සඳහන් පරිදි මෙසේ වෙයි.
බාලයාගේ දක්ෂ භාවය පවතින්නේ අවැඩ පිණිස ය. ලද සිප්සතර ද අනෙක් හැකියාවන් ද යොදා ගන්නේ ඒ සඳහා ය. මෙම නිසා ඔහුගේ හැකියාවන් පවතින්නේ ඔහුට හිත පිණිස නොව අවැඩ පිණිස ය. බාලයෙකු නම් කවුරු ද? තමාගේ ජීවිතයත් විනාශ කරගනිමින් සමාජයේ ජීවත්වන අනෙකාගේ ද ජීවිත විනාශයට ද ඇද දමමින් යහපත පසෙක දමා අයහපත කෙරෙහි යොදවන්නේ බාලයා ම ය. බාලයා යනුවෙන් හඳුන්වන්නේ වයසින් අඩු තැනැත්තා නොව ක්‍රියාවෙන් නොකටයුතුකම් කරන පුද්ගලයා ය. එවන් තැනැත්තෙකුගෙන් කිසිම විටෙක හොඳ ක්‍රියාවක් බලාපොරොත්තු විය නොහැකි ම ය.
බුදුන් වහන්සේ මෙම කරුණ නිරන්තරයෙන් දේශනා කර ඇත. මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන කල ලක්ඛණ තෙරුන් වහන්සේ සමඟ පිඬු පිණිස වැඩම කිරීම සඳහා පර්වතයෙන් පහළට පැමිණෙන අවස්ථාවේ එක් ප්‍රේතයෙකු දුටු සේක. ඔහුගේ නම සට්ඨිකූට ය. ඔහු තුන්ගව්වක් පමණ උසකින් යුක්ත ය. ගිනි ඇවිලී දැල්වෙන කුළුගෙඩි සැට දහසක් ඔහුගේ හිස මත එකවර පතිත වෙයි. එකෙණෙහි ම ඔහුගේ හිස පැළී යයි. කර්ම බලයෙන් නැවතත් පැවැති තත්ත්වයට ම පත්වෙයි. මෙසේ අනන්ත වූ වේදනා විඳිමින් සිටින ඔහුට මේ සිදුවන්නේ පෙර කළ කර්මයට විපාක දීමකි. පෙර කලක ඔහු මනුෂ්‍ය ජාතියක ඉපිද ඇඟිල්ලෙන් ගල්කැට විදීමේ ශිල්පය ප්‍රගුණ කළේ ය. තම හැකියාව ප්‍රදර්ශනය කිරීමට ඔහු සම්බන්ධ කර ගත්තේ එක්තරා පසේ බුදු රජාණන් වහන්සේ නමකි. උන්වහන්සේ පිඬු පිණිස ගෙපිළිවළින් වඩින සමයේ උන්වහන්සේ කෙරෙහි ද්වේශයක් උපදවා ගල් කැටයකින් උන්වහන්සේට විද්දේ ය. එම ගල් කැටය පසේ බුදු හිමියන්ගේ එක් කණකින් ඇතුළු වී අනෙක් කණෙන් පිට වීය. දරුණු වේදනා ගෙන දුන් උන්වහන්සේ තම පන්සලට වැඩම කොට පිරිනිවී වදාළහ. මෙසේ සිදු කළ පාප කර්මය මේ අයුරින් විපාක දී ඇත.
මේ අනුව පැහැදිලි වන්නේ, අනුවණයාට දැනුම ලැබීම යනු ඔහුගේ ජීවිතයත් අනෙකාගේ ජීවිතත් විනාශයට ඇද දමන්නක් බවයි. ‘අනත්ථාය’ යනුවෙන් පෙන්වා දෙන්නේ එම කරුණයි. එනම් ඔහුගේ හැකියාවන් අනර්ථය පිණිස ම වන බවයි. සුක්කංසං හන්ති යනු සුදුසු දේ, වටිනා දැනුම නිසි පරිදි වැඩෙහි නොයොදා සුසිරිත් නසාලීම පිණිස හේතුවන බව යි.

බාල ගතිය යනු සැමට අහිත පිණිස හේතු වන්නක් බව මේ අනුව ඔබට වැටහෙනු ඇත. එවන් ගති ලක්ෂණයන්ගෙන් යුක්ත පිරිස් සමඟ ඇසුරට යාම නිසා ද මහා විනාශයක් සිදු විය හැකි ය. බාලයන් ඇසුරින් මිඳී පණ්ඩිතයන් ම ඇසුරට පත් කර ගැනීමට අදිටන් කර ගන්න. ඔබගේ ජීවිතය සරු වනු නො අනුමාන යි.


බිබිල යල්කුඹුර 
මො/ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ 
පදියතලාවේ ඤාණවිමල හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 12 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment