අකුසල මූලයන් තුනකි. එනම් ලෝභය, ද්වේශය හා මෝහයයි. මිනිස් සිත් දූෂණය කරන, ආධ්‍යාත්ම චරිතය පිරිහීමට ලක් කරන, මෙකී අකුසල මූලයෝ ප්‍රාණඝාත, අදත්තාදානා දී අකුසල ක්‍රියාවනට පුද්ගලයා යොමු කරති. එයින් සාංසාරික වු බොහෝ දුක් විපාක විඳීමට සිදුවෙයි. එකී අකුසල විපාකයන් මිනිස් සන්තානයෙහි ඇති තාක් සසර දුකින් මිදීමක් නැත. එබැවින් ඒවා ප්‍රහීණ කළ යුතු ය. එමඟින් සිත මැනවින් තැන්පත් වේ. එකඟ වේ. සමාධි ගත වේ. අලෝභය, අද්වේශය,අමෝහය යන උතුම් කුසල මූලයෝ උපදිති. එකී කුසල් මුල් මිනිසාගේ ආධ්‍යාත්මය වැඩිදියුණුවට පත් කරයි. එය නිවන් පිණිස මැ වේ. අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසත්, කුසල ධර්මයන්ගේ වැඩි දියුණුව පිණිසත් බුදුරජාණන් වහන්සේ නොයෙක් නයින් මඟ පෙන්වූහ. භාවනාව ඒ සඳහා උගන්වන ලද මූලික ප්‍රතිපදාවයි.
මජ්ක්‍ධිම නිකාය මූලපණ්ණාසකයේ සීහනාද වග්ගයෙහි කෙළවරට එක්ව ඇති විතක්ක සණ්ඨාන සූත්‍රය භාවනාමය වශයෙන් සිත වඩනු කැමැති බොදුනුවනට බෙහෙවින් අගනා උපදෙස් රැසක් සපයයි. එම සූත්‍රය අකුසල විතර්කයන් මැඩ පවත්වා සිත සමාධිගත කරගනු පිණිස වන උපක්‍රම පහක් උගන්වයි. ඒවා භාවිත කළ යුත්තේ එකක් අසාර්ථක වූ කල්හි අනෙක යොදා ගනිමිනි. මෙතැන් පටන් එම කරුණු පස පිළිවෙළින් දක්වමු.
අකුසල විතර්කයන් උපන්විට එයට ප්‍රතිවිරුද්ධ වූ කුසල විතර්කය මෙනෙහි කළ යුතු ය. එවිට උපන් අකුසල විතර්කය දුරුවෙයි. නිදසුනක් වශයෙන් ඡන්ද රාගය අකුසල විතර්කයකි. එය පැරදවිය හැක්කේ අසුභ භාවනාවෙනි. එය කුසලයෙකි. ද්වේශය අකුසල ධර්මයෙකි. එය පැරදවිය හැක්කේ මෛත්‍රියෙනි. එය කුසලයෙකි. මෙම භාවනාමය සමත් ප්‍රයෝගය තවදුරටත් පැහැදිලි කරන විතක්ක සණ්ඨාන සූත්‍රය රසවත් උපමාවක් ද දක්වයි.
දක්ෂ වඩුවෙකුට හෝ ඔහුගේ ගෝලයෙකුට පුවරුවක (ලෑල්ලක) ඇති මහ ඇණයක් ගැලවීමට, ඉවත් කිරීමට අවශ්‍ය වෙයි. එවිට හෙතෙම සියුම් (කුඩා) ඇණයක් ගෙන මහ ඇණයට තබා මිටියෙන් පහරදෙයි. පහර දී මහ ඇණය අමාරුවෙන් බැහැර කරයි. අතින් ඇද ඉවත් කරයි. එමෙන් ම කුසල විතර්කයන් බලවත් කොට ගැන්මෙන් අකුසල විතර්කයන් බැහැර කළ හැකි ය. මෙහි මහ ඇණය අකුසල විතර්කය වැනි ය. කුඩා ඇණය කුසල විතර්කය වැනි ය. මෙම ප්‍රයෝගය ද අසාර්ථක වූ විට කුමක් කළ යුතු ද? විතක්ක සණ්ඨාන සූත්‍රයෙහි දැක්වෙන ලෙස ඒ දෙවැනි පියවර මෙසේ ය.
පළමුවැනි පියවර අසාර්ථක වූ කල්හි මෙසේ තම සන්තානයෙහි උපන් අකුසල විතර්කයෙහි දොස් මෙනෙහි කළ යුතු ය. ආදීනව එනම් අහිතකර ප්‍රතිඵල සලකාගත යුතු ය. මේ අකුසල මූලය මෙසේත් මතු සසර දුක් උපදවන්නේ ය. මෙසේත් දුක් උපදවන්නේ ය යනාදී වශයෙනි. මෙසේ ආදීනව දක්නා කල්හි ද අකුසල විතර්කය පහව යයි. මෙය තවදුරටත් පැහැදිලි කරන සූත්‍රය ඒ සඳහා ද උපමාවක් දක්වයි.
යම් සේ සැරසෙන සුළු ස්ත්‍රියක් හෝ පුරුෂයෙකුගේ ගෙලෙහි මියගිය සර්පයෙකුගේ හෝ, මියගිය සුනඛයකු ගේ හෝ මිය ගිය මිනිසෙකුගේ හෝ කුණක් දවටා තිබේ ද හෙතෙම එයින් ලජ්ජාවට, පිළිකුලට, දුකට පත්වෙයි. එසේ ම ඉහත කී පරිදි උපන් අකුසල විතර්කයේ දොස් දක්නා ආදීනව දක්නා තැනැත්තා ද ලජ්ජාවට , දුකට, පිළිකුලට පත්වන්නේ එම අකුසල විතර්කය වැනි ය. එහි දොස් දැක එය බැහැර කිරීම කුණපය බැහැර කිරීම වැනි ය. මෙම භාවනාමය ප්‍රයත්නය ද අසාර්ථක වූ විට කුමක් කළ යුතු ද?
ඉහත කී දෙවැනි පියවර ද අසාර්ථක වූ විට තම සන්තානයෙහි උපන් අකුසල විතර්කයන් අමතක කරලීමට වෑයම් කළ යුතු ය. ඒවා සිහි නොකළ මනා ය. එවිට ඒවා පහව යයි. සිත සන්සුන් වේ. සූත්‍රය ඒ සඳහා ද උපමාවක් දක්වයි.
යම්සේ ඇස් ඇති පුරුෂයෙකු ඉදිරියට රූපයන් පැමිණි කල්හි හෙතෙම ඒවා දක්නට නොකැමැත්තේ ද,ඇස් වසා ගන්නේ ද, එසේම අන් දිසාවක් ම බලන්නේ ද, එපරිද්දෙන් ම අකුසල විතර්කයන් දෙස සිතින් නොබැලීමෙන් සිහි නොකරීමෙන් ඒවා පහව යේ. සිත සන්සුන් වේ. මෙම ප්‍රයත්නය ද විටෙක අසාර්ථක විය හැකි ය. එවිට කුමක් කළ යුතු ද? විතක්ක සණ්ඨාන සූත්‍රය මෙසේ උගන්වයි.
එය සිව්වැනි පියවර ය. ඉහත කී තුන්වැනි ප්‍රයෝගය ද අසාර්ථක වූ විට සන්තානයෙහි උපදනා ලෝභාදී අකුසල විතර්කයන්ගේ මූල සිහි කළ යුතු ය. කුමක් නිසා මේ විතර්කය උපන්නේ ද? කවර ආකාරයෙන් එය පහළ වූයේ දැයි මුලට ගොස් පිරික්සා සිතා බලන විට නිසරු බවක් ම පෙනේ. ගතයුත්තක් නැති බව ම පෙනේ. එවිට එම ලාමක විතර්ක බැහැර වෙයි. ඒවා බැහැර කරනු පිණිස සිත ක්‍රියාත්මක වේ.
මෙම ප්‍රයත්නය පැහැදිලි කරලීම පිණිස ද විතක්ක සණ්ටාන සූත්‍රය උපමාවක් ගෙනැහර දක්වයි. යම් සේ පුරුෂයෙක් වහා ඉක්මනින් යන්නේ ද? හෙතෙම මම කුමක් නිසා වේගයෙන් යන්නෙම් ද? සෙමින් යන්නේනම්, මැනවැයි අදහස් කරයි. වේගවත් ව යාමෙහි අර්ථයක් නොදක්නා හෙතෙම සෙමින් යයි. නැවත කුමක් නිසා මම සෙමින් යන්නේ ද මම හිටිවන ම සිටින්නේ ම නම් මැනවැයි අදහස් කරයි. හෙතෙම සිටිවන ම සිටියි. නැවත කුමක් නිසා මම සිටිවන ම සිටිමි ද, මම වාඩි වී සිටින්නේ නම් මැනවැයි අදහස් කරයි. හෙතෙම වාඩිවී සිටියි. නැවත කුමක් නිසා මම වාඩිවී සිටිම් ද මම වැතිරී සිටින්නේ නම් මැනවැයි අදහස් කරයි. හෙතෙම වැතිර සිටියි. මෙසේ ඒ පුරුෂතෙම එකින් එක ක්‍රමයෙන් ඉතා දැඩි වේගවත් ඉරියව් හැර දමමින් ඉතා සියුම් පහසු ඉරියව් පවත්වයි. මහණෙනි, එලෙසින් ම ලාමක අකුසල විතර්කයන්ගේ මූල සිහිකරමින් ඒවා බැහැර කරලිය යුතු ය. මේ සිව්වැනි පියවර ද අසාර්ථක විය හැකි ය. එවිට කුමක් කළ යුතු ද? විතක්ක සණ්ඨාන සූත්‍රය එතැන දී පස්වැනි අවසාන පියවරක් ද උගන්වයි.
මෙහිදී සිදුවන්නේ කායික ශක්තිය ආධාර කරගෙන අකුසල් සිත් මර්ධනය කරලීමට ක්‍රියා කිරීමයි. සිතට කායික වේගය ද ලබා දෙමින් අකුසල් සිත් තදින් දුරුකරලීමට මහා ශක්තියක් නිපදවීම ය. මෙම ප්‍රයෝග තවදුරටත් පැහැදිලි කරන සූත්‍රය ඒ සඳහා උපමාවක් ඉදිරිපත් කරයි. යම් සේ බලවත් පුරුෂයෙකු ඉතා දුර්වල අයෙකුගේ හිසින් අල්ලා හෝ කඳින් අල්ලා වෙසෙසින් ඔහු තදින් මර්ධනය කරන්නේ ද එසේ ම මෙම ප්‍රයත්නය මගින් ද අකුසල විතර්කයන් දුරුකළ හැකි ය. එයින් සිත තැන්පත් වේ. සමාධි ගත වේ.
විතක්ක සණ්ඨාන සූත්‍රාරම්භයෙහි ම සඳහන් වන පරිදි විදර්ශනා පාදක අෂ්ඨ සමාපත්ති චින්තයෙහි (එනම් සමථ භාවනාවෙහි) යෙදෙන්නා විසින් ඉහත සඳහන් කරුණු පහ කලින් කළ මෙනෙහි කළ යුතු ය. එම භාවනාමය ප්‍රයෝගයන් අනුගමනය කළ යුතු ය. එයින් සිත සමාධිගත වේ.
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
දේවාලේගම මේධානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 05 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment