“ආරාමරොපා වනරෝපා යෙ ජනා සේතු කාරකා
පපඤ්ච උද්‍යානංච යෙ දදන්ති උපස්සයං
තෙසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨා සීලසම්පන්නා තෙ ජනා සග්ග ගාමිනො”
බුදුරජාණන් වහන්සේ විසින් සියලු මනුෂ්‍යයන්ගේ මෙලොව මෙන්ම, පරලොව ජීවිතය යහපත් කර ගැනීම සඳහා දේශනා කරනු ලැබූ අතිඋතුම් දහමෙහි නිතර පින් සිදුවන කාරණා කීපයක් ඇතුළත් වන දහම් පදයකි මේ. මෙය සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයට අයත් “වනරෝප” සූත්‍රය යි. සාමාන්‍යයෙන් සියලු දෙනාගේ ස්වභාවය නිරතුරුව තමන් දෙස බැලීම යි. එය ආත්මාර්ථය යි. එහෙත් සමාජයේ ජීවත්වන අන් අය පිළිබඳව ද, තරමක් හෝ බලා කටයුතු කිරීමයි වැදගත් වන්නේ. බුදුදහම අනුව පෙනීයන්නේ ආත්මාර්ථය සලසා ගන්නා අතර, පරාර්ථය සඳහා ද සැලකිලිමත් විය යුතු බවයි.
බෝධිසත්වයන් වහන්සේ බොහෝ ආත්මවල දී පරාර්ථය උදෙසා තමා සතු සියලු වස්තු පමණක් නොව ජීවිතය පවා පරිත්‍යාග කළහ. දීපංකර පාද මූලයේ දී ම නිවන් අවබෝධ කර සසරින් එතෙර වීමට කුසල ශක්තිය තිබුණත් එය අතහැර නැවත සසර දුකට මුහුණ දෙන්නේ පරාර්ථය සඳහා ම ය. ඒ මම බුදුබව (අවබෝධය) ලබමි. අන් අයට ද අවබෝධය ලබා දෙන්නෙමි. මම සසරින් මිදෙමි. අන් අය ද මුදවමි” යන අධිෂ්ඨානය ඇතිකර ගනිමිනි.
දිනක් මධ්‍යම රාත්‍රියේ දී එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ ප්‍රශ්න කළහ.
“භාග්‍යවතුන් වහන්ස, කවර නම් පුද්ගලයෙකුට රෑ, දවල් දෙකේ පින් වැඩේ ද? දහමෙහි පිහිටි සීල සම්පන්න වූ කවර කෙනෙක් දෙව් ලොව යත් ද?
ඊට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථාවෙන්, පුද්ගලයෙකුට රෑ, දවල් දෙකෙහි පින් වැඩෙන, මහජනතාවගේ ප්‍රයෝජනයට නිරන්තරයෙන් භාජනය වන කාරණා පහක් දක්වා ඇත. මල්, ගෙඩි හා සෙවන ලබාදෙන උයන්වතු වැවීම, වන සෙනසුන් සකස් කිරීම, ඒ දඬු, පාලම් සෑදීම, ළිං පොකුණු කරවීම, වාසස්ථාන සාදාදීම හැමදා පින් වැඩෙන පින්කම් ය. මේවා කරවන ධර්මයෙහි පිහිටන, සීල සම්පන්න පුද්ගලයා මරණින් මතු දෙව්ලොව උපදී.
මිනිසාගේ සහ සත්ව සංහතියේ පැවැත්ම සහ ප්‍රයෝජනය පිණිසත්, පරිසරයේ සමතුලිතභාවය ආරක්ෂාවීම පිණිසත්, පුෂ්පාරාම, ඵලාරාම, වනසෙනසුන් තිබිය යුතු ය. තිබෙන ගහකොළ ආරක්ෂා කිරීම හා අවශ්‍ය පරිදි ඒවා සිටුවීම කළයුතු වේ. ඒවා ආරක්ෂා වීම සඳහා බුදුරජාණන් වහන්සේ කවර තරම් අවධානයක් යොමුකර ඇත්තේ ද යන්න පැහැදිලි වන විනය ශික්ෂා පද වලින් ද පැහැදිලි වේ. ගස්වැල් විනාශ කිරීම හෝ විනාශ කරවීමෙන් භික්ෂූන් වහන්සේලාට පචිති නම් ඇවැතක් සිදුවේ. නිල් තණකොළ මත මළ මුත්‍රා කිරීම, කුණු රොඩු දැමීම නො කළ යුතු බව විනය පිටකයේ සඳහන් වේ. යම්කිසි පුද්ගලයෙක් ගස් සෙවනක ගිමන් හැර ඒ ගසේ අත්තක් හෝ කඩා දමන්නේ නම් එය මිත්‍රදෝහී ක්‍රියාවක් ලෙස පෙන්වා දෙයි. බණ භාවනාවල යෙදෙන යතිවරයන්ට ගලා බස්නා දිය ඇළි, මනාව වැඩුණු ගස්වැල්වලින් යුතු මනා තොටුපොළ ඇති ඇළ දොළ ගංගාවලින් සුසැඳුණු වන සෙනසුන් පි‍්‍රය උපදවන ස්ථාන බව අරිය පර්යේෂණ ආදී සූත්‍රවල සඳහන් වේ.
රෑ දවල් පින් වැඩෙන අනෙක් කරුණක් නම් ඒ දඬු, පාලම් ආදිය කරවීම යි. පුද්ගලයෙකුට එතෙරවීමට අපහසු ඇළ, දොළ, ගංගා ආදී ස්ථානවලට ඒ දඬු, පාලම්, ඔරු පාරු වැනි දෙය සැපයීම බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් ක්‍රියාවකි. උද්‍යාන යනුවෙන් දැක්වෙන පැන්හල්, ළිං, පොකුණු වැව් ආදිය කරවීම ද නිතර පින් වැඩෙන ක්‍රියාවකි. ජලය සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය දෙයකි. ජලය ආරක්ෂා කිරීමට විනය ශික්ෂාපද පවා පනවා තිබේ. ජලයට කෙළ ගැසීම, මල මුත්‍ර කිරීම, අපද්‍රව්‍ය දැමීම වරදකි.
රෑ දවල් පින් වැඩෙන අනෙක් කරුණ වශයෙන් දැක්වෙන්නේ නැතිබැරි අයට නිවාසයක් සාදා දීමයි. ජීවත්වීමට ගෙයක් දොරක් නැතිව සිටින දරු පවුලකට නිවාසයක් ලබාදිය හැකි නම් ඒ ගෙයි වාසය කරමින් ඔවුන් මොනතරම් සතුටකට සැනසීමකට පත්වන්නේ ද මෙවැනි පින්කම් කරන අයට එය සිහිපත්වන මොහොතක් පාසා සිතට ඇතිවන සැනසීම, සතුට සීමා කළ නො හැක. ඔහුගේ දස කුසලයන් ම වර්ධනය වේ. සීලවන්තයෙක් ද වෙයි. සිල්වත්, දැහැමි ජීවිතය බුදුදහමේ මූලික පැවැත්මයි. ඔහු මෙලොව සතුටු වෙයි. පරලොව සතුටු වෙයි. උපදින සෑම තැනක දී ම තමන් පෙර කළ පින්කම්වල විපාක විඳිමින් සතුටට පත් වෙයි. එනිසා අපේ ජීවිතයෙන් මෙවැනි පින්කම් කර සසර කෙළවර උතුම් නිවන් සැප ලබා ගැනීමටත් උත්සාහවත් වෙමු.
පපඤ්ච උද්‍යානංච යෙ දදන්ති උපස්සයං
තෙසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨා සීලසම්පන්නා තෙ ජනා සග්ග ගාමිනො”
No comments:
Post a Comment