නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
යො වේ උප්පත්තිතං කෝධං
රථං භත්තං ච ධාරයේ
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහෝ ඉතරෝ ජනෝ
රථං භත්තං ච ධාරයේ
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහෝ ඉතරෝ ජනෝ
පින්වත්නි,
අද පෝදා ධර්ම දේශනාව පවත්වන්නේ ධම්මපදයේ කෝධ වග්ගයේ දෙවැනි ගාථාව මාතෘකා කර ගෙන ය. “උපන් කෝපය සන්සිඳුවා ගන්නේ නම් උතුම් රියදුරා ඒ තැනැත්තාය” යන්න ඉහත ගාථාවේ සරල අදහසයි. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කළේ එක්තරා භික්ෂූන්වහන්සේ නමක් සිදුකළ වැරදි ක්‍රියාවක් මුල්කරගෙන ය.
අලව් නුවර අග්ගාලව වෙහෙර වැඩවසන එක්තරා භික්ෂූන්වහන්සේ නමකට ඒ නුවර ආසන්නයේ සේනාසනයක් සැකසීමට සිතුණි. එහෙත් මෙම භික්ෂූන් වහන්සේ පිළිබඳ මිනිසුන් අතර හැඳීනීමක් නැත. එහෙයින් සේනාසනය සැකසීමට තමන්ට උදව්වට කිසිවෙක් නොපැමිණියහ. තමන්ටම සියල්ල කරගැනීමට සිදුවිය. සෙනසුන සැකසීමට අදහස් කළ ස්ථානයේ හොඳින් වැඩුණ ගසකි. ලී දඬු ලබා ගැනීමට මේ ගස යහපත් යැයි සිතා තමන් ම ගස කැපීමට ආරම්භ කළේ ය. මේ ගස විමානය කරගත් දේවතාවියක් ගස නොකපන ලෙස ඉල්ලා සිටියා ය. ඒ භික්ෂුව එයට කන් නොදී ගස කැපීමට පටන් ගත්තේ ය. මේ දරු පැටියා වඩාගෙන තමන්ට යා හැකි තැනක් නැති බැවින් ‘ගස නොකපන ලෙස නැවතත් ඇය ඉල්ලා සිටියා ය. එයට ද ඇහුන්කන් නොදීම හේතුවෙන් දේවතාවිය තම දරුපැටවා රුක් ශාඛාවේ නිදි කරවී ය. ඔසවාගත් පොරවේ වේගය අඩුකර ගැනීමට නොහැකිවූයෙන් බිළිඳාගේ අතක් තුවාල විය.
කෝප වූ දෙව්දුව භික්ෂුවට ගැසීමට අතක් එසවූවා ය. නමුත් දෙව්දුවට කල්පනා වූයේ ‘මේ භික්ෂුව සිල්වත් ය.’ දඬුවම් කොට පව් පුරවා ගතහොත් දුකට හේතු වන්නේ ය යනුවෙනි. එහෙයින් බලවත්ව ආ කෝපය නවතාගෙන බුදුරදුන් වැඩ සිටි විහාරයට ගොස් හඬ හඬා මේ ශෝචනීය සිද්ධිය කීවා ය. ‘ ස්වාමීනි , මා තුළ හටගත් බලවත් ශෝකය නවතා ගෙන කිසිවක් නොකොට මෙහි ආවෙමි’යි කීවා ය. ක්ෂණිකව ආ බලවත් කෝපය පාලනය කරගෙන සසර දීර්ඝ කර නොගැනීම පිළිබඳ බුදුරදුන් ඇයට ප්‍රශංසා කළහ. ඒ සිද්ධිය අරමුණු කරගෙන ඉහත ගාථාව පහදා දෙමින් ධර්ම දේශනා කර ගස්වැල් සිඳීම වරදක් හැටියට භික්ෂූන්ට විනය නීතියක් ද පනවා වදාළහ. යමෙක් තම සිත තුළ උපන් කෝපය වේගයෙන් දුවන රියක් හසුරුවා ගන්නා රියදුරකු මෙන් පාලනය කර ගත්තේ ද ඔහු නියම රියදුරකු යැයි පෙන්වා දෙමින් ඉහත ගාථාවෙන් ධර්ම දේශනා කළහ. දෙව්දුව උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියා ය.
පුහුදුන් පුද්ගලයාගේ සිත තුළ දැවෙන, තැවෙන කෙලෙස් ධර්ම හේතුවෙන් ඔහුගේ දුක්ඛාන්තය තව තවත් වැඩිවෙයි. ක්‍රෝධය, වෛරය, අළුයට සැඟවී ඇති ගිනි අඟුරක් වැනි ය. යමෙකුට දඬුවමක් අලාභයක්, හානියක් මෙන් ම නිගාවක් අවනම්බුවක් කරන කල්හි සැඟවී ඇති කෝපාග්නි බුර බුරා පැනනගියි. විපතට පත්වන්නේ තමන්ම ය. සිතේ ඇතිවන කෙලෙස් ධර්ම පිළිබඳ දැනීමක්, හැඳිනීමක් තිබේනම් සියලු අභියෝග ජයගත හැකි ය. මුළු ලෝකය දුටුවත් තමන්ගේ හිත දකින්නට නොහැකි නම් ගැටලු බහුල ය. ක්‍රෝධයෙන් වැඩුණ තැනැත්තාගේ මුහුණෙන්, හැසිරීමෙන්, කථාවෙන්, ගමන බිමනෙන්, දෙතොල්වලින්, භයානකත්වය පෙන්වයි. නමුත් හිත දකින්නට හැකියාවක් නැත. තමන්ට තමන්ගේ මුහුණ දක්නට නොහැකි ය. නමුත් කැඩපතක් ළඟට ගියවිට ප්‍රතිබිම්භය මැනවින් පෙනේ. මුහුණේ ඇති අපද්‍රව්‍ය, ලප, කුරුළෑ පහසුවෙන් දැකගත හැකි ය. සිත දකින්නට උත්සාහ කරන්නට එහි ඇති කෙලෙස් ධර්ම හඳුනාගත හැකිවන්නේ ය. හිත දැකීමට ද කැඩපතක් දී ඇත. එනම් සතර සතිපට්ඨානයයි. භාවනා නමැති කණ්ණාඩිය අරගෙන සිත දකින්න. එවිට සිතේ හැසිරෙන විෂඝෝර සර්පයන් දැක ගත හැකි ය. ක්‍රෝධය තරහව සිතට ආ විට ඒවා නිද්‍රෝපගතව අනුසය වශයෙන් පවතියි. මෙය ප්‍රබල සතුරෙකු වශයෙන් පවතියි. එය සතුරෙකු වශයෙන් නොදැක්කොත් අපත් සමඟ එකතුවී කායික වශයෙන් අතින්, පයින්, අවි ආයුධ වලින් ඉදිරිපත්ව මහා විනාශයක් කරන්නේ ය. ක්‍රෝධය ඇති වූ අයට ඇස් දෙකම නැතැයි, කියමනක් තිබේ. රුධිරය වෙනස්වුණු, අතපය නලියන තොල් වෙව්ලන, ශාරීරික පැවැත්ම හාත්පසින් වෙනස්වුණු චරිතයක් පෙන්වයි. එය සමාජයට ද්‍රෝහී පුද්ගලයෙක්වීමට බලපායි. කය අපිරිසුදුවීම තුළින් සමාජයට එතරම් බලපෑමක් නොවූවත් මනස අපිරිසුදු වුවහොත් සමාජ විනාශයට බලපාන බව කිවයුතු නැත. එහෙයින් ක්‍රෝධය ආදී පවිටු සිතිවිලි තම ජීවිතය විනාශය කරා ගෙන යන බව තේරුම් ගත යුතු ය.
මහ කැලෑවේ වජ්‍ර පර්වතයක් තිබුණි. දැඩි හිරු කිරණින් වජ්‍ර පර්වතය දීප්තිමත්ව බැබළෙයි. ඒ අසල ඌරෙක් ජීවත් වෙයි. අව්ව වැටීමෙන් දීප්තිමත්ව දිළිසෙන වජ්‍රපර්වතය දෙස බලනවිට ඇස් නීලන්ධකාර වී කිසිවක් නොපෙනේ. මේ ගැන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඇති කරගත් ඌරා, වජ්‍ර පර්වතයේ ‘මඩ තවරමි’, කිළිටි කරමි’ සිතා අසළ තිබූ මඩවලට බැස අඟ පුරා මඩ තවරාගෙන වජ්‍ර පර්වතයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා එහාට මෙහාට පිට අතුල්ලා ගෙන ගියේ ය. නමුත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. එනම් වැලිකැට ඇතිල්ලීමෙන් වජ්‍ර පර්වතයේ තව තවත් දීප්තිය වැඩිවීමයි. ඌරාගේ පිට බොහෝ තුවාල වීමයි. අනුන්ට ක්‍රෝධ, ඊර්ෂ්‍යා කිරීමෙන් සිදුවන්නේ තමාටම විපතක් කර ගැනීමයි. එහෙයින් මනසේ උපදින පාපී කෙලෙස් රජවීමට ඉඩ නොදී යටපත් කරගෙන සාමූහික අදහස් ගොඩනඟා මෛත්‍රියෙන්, කරුණාවෙන්, බෙදාහදා ගෙන භුක්ති විඳ සතුටු සිත් ඇතිව ජීවත් විය යුතු ය. නිවනින් නිවීම සඳහා සියලු කෙලෙස් දුරුකිරීමට ඔබත් උත්සාහ වන්න.
තෙරුවන් සරණයි.
බලංගොඩ දම්වැල්ඕඩය වළවේ ශ්‍රී දේවරක්ඛිතාරාම,
රජමහා විහාරාධිපති,
ර/බල/ වැලිපතයාය ප්‍රාථමික විදුහලේ විදුහල්පති
ශාස්ත්‍රපති
වැලිපත පඤ්ඤානන්ද හිමි
රජමහා විහාරාධිපති,
ර/බල/ වැලිපතයාය ප්‍රාථමික විදුහලේ විදුහල්පති
ශාස්ත්‍රපති
වැලිපත පඤ්ඤානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 26 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment