Labels

Thursday, November 16, 2017

පිරිසුදු සිතින් පින් කරමු

චිරප්පවාසිං පුරිසං
දුරතෙර සොත්ථිවාගතං
ඤාති මිත්තා සුහජ්ජච
අභිනන්දති ආගතං
තථේව කත පුඤ්ඤම්පි
අස්මා ලෝකා පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති
ජයං ඤාතී ව ආගතං
පින්වත්නි,

අද ඉල් පුරපසළොස්වක පෝය දිනය, මේ වර්ෂයේ කඨින පින්කම් කරන අවසාන දවස, මේ වන විට ඔබ එක කඨින පින්කමට පමණක් නොවෙයි. කඨින පින්කම් රැසකට, ඒ හා බැඳුණු තවත් පින්කම් බොහොමයකටත් සහභාගි වී ඇති. ඒ ඒ අවස්ථාවල පොදුවේ පින්කම් ගැන අසන්නටත් ඇති. අද පෝය දවසේ ඒවා නැවත සිහිපත් කර ගනිමු.


මොහොතකට සිතා බලන්න. අද ජීවතුන් අතර නැති, මිය පරලොව ගිය ඔබේ වැඩිහිටියන්ට නෑදෑ හිතවතුන්ට ඒ අය උපයා ගත් මිල මුදල්, යාන වාහන, ඉඩකඩම් ආදිය තිබෙන්නට ඇති. පරලොව යන විට ඒ අය ගෙන ගියේ මොනවාද? නෑදෑයෝ යහළු මිත්‍රයෝ ඔවුන් සමඟ ගියා ද? කිසිවෙක් නෑ. සුසාන භූමියට පමණක් ගිහින් ආපසු ආවා. එතකොට දේපළ ගියේත් නෑ. එකට සිටිය අය ගියේත් නෑ. කිසිවක් ම ගෙන ගියේ නැද්ද? ගෙන ගියා. ඒ පව් පින් දෙකයි. මරණින් මතු ජීවිතයට සම්බන්ධ වන්නේ පව් පින් පමණයි. පව් බලවත් වුණොත් පරලොව දී ලැබෙන්නේ දුක, පින ශක්තිමත් වුණොත් ලැබෙන්නේ සැප. අපි කවුරුවත් මෙලොව වශයෙන්වත්, පරලොව වශයෙන්වත් දුක් විඳීමට කැමැති නොවෙමු. කැමති සැපතටයි. දුකට අකැමැති නම් දුක ලැබෙන පව් නොකර ඉන්න ඕනෑ. සැපතට කැමැති නම් සැප ලැබෙන පින් කරන්න ඕනෑ.

සමහරු කියන්නේ පින් කළවිට සසර සැරිසරන කාලය දිග් වෙන බවයි. ඒ නිසා පිනට උනන්දු කිරීම සුදුසු නෑ කියනවා. ඔය කියන කාරණය ගැන බුද්ධ දේශනය කුමක්ද? “මහණෙනි පිනට බිය නොවන්න, මහණෙනි පින් කියන්නේ යහපත් වූ, සිත්කලු වූ පි‍්‍රයමනාප වූ සැපයට කියන විශේෂ නමක්” බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පිනට බය වෙන්න එපා කියලයි. ඊට වඩා අමුතු බණක් ගිහි හෝ පැවිදි හෝ වෙන කෙනකුට කියන්න පුළුවන් ද? ධම්මපදයේ ඉගැන්වෙන්නේ පින් කළ තැනැත්තා මෙලොව පරලොව දෙකේ ම සතුටුවන බවයි. යම් පුද්ගලයකු පින්කම් කරනවා නම් නැවැත නැවැත කළයුතුබවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින් රැස්වීම සැපතක්. ‘සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ’, පුඤ්ඤ කියන වචනයේ තේරුම හරියටම විමසමු. පින් කියන්නේ සිත පිරිසුදු කෙරෙන ක්‍රියාවන්ට යි. ඇතැම් තැනක වැරදි තේරුමක් දී තිබෙනවා. සිත පිනවන ක්‍රියා ‘පින්’ යනුවෙන්.
පින් කියන නමින් සිත අපිරිසුදු වන ආකාරයටත් යම් යම් දේ කරන්න පුළුවන්. අනෙක් අයට වඩා කැපී පෙනෙන්නට තරගකාරී ආකාරයට නම කියවා ගන්නට පින්කම් කළොත් හිත පිරිසුදු වෙන්නෙ නැහැ. ඒවා පින් නොවෙයි. තමන් ම රවටා ගන්න ක්‍රියාවන්, එනම් වංචක ධර්ම, ලෝභ, දෝස, මෝහ අඩුවන පරිදි පින් කළොත් තමයි පින්කම් වෙන්නේ. අපට අවශ්‍ය ප්‍රධානම දේ තමයි අපාගත වීමෙන් වැළකීම. ඒ සඳහා පවින් වැළකීමත්. පිනෙන් සරු වීමත් අවශ්‍යයි. දිගින් දිග ට සැප විඳිමින් සසර සැරිසැරීමේ ආශාවෙන් යුතු නොවී පින්කම් කළ යුතු යි. සැපතට ආශා නොකළායැයි සැප ප්‍රාර්ථනා නොකළයැයි පිනෙහි විපාක වශයෙන් සැප නොලැබී යන්නේ නැහැ. දානයක් පුජා කරන විට වුව ද අපේ සිතේ වැඩිපුර තිබෙන්න ඕනෑ, ඒ දානය ලබන්නාට සැලසෙන ප්‍රයෝජනය ගැනයි. එහෙම වුණාම අපේ සසර දිගු වන්නේ නෑ. ඉල්ලීමකින් තොරව ම, නිවන් දකිනතුරු සසර වසනතුරු සැප අප කරා පැමිණෙනවා.
මුල දී සඳහන් කළ පරිදි මේ ජීවිතය අතහැර අප පරලොව යන විට ගෙන යන්නේ පින් පව් දෙක පමණයි. වැඩිපුර පින් කරගෙන තිබුණොත් ඉතාම හොඳ ඥාතිවරයකු, හිතවතෙකු සම්බන්ධ කර ගන්නා වගේ. එබදු අදහසක් ඇති බුද්ධ දේශනාවක් තමයි මේ ධර්ම දේශනාවේ මුලදී ම සඳහින් කළේ. අපි හිතමු. අපේ ඥාතිවරයකු හෝ හිතමිතුරකු හෝ විදේශ ගතව සිට දිගු කලෙකට පසුව කිසිදු කරදරයක් නැතිව සුවසේ ආපසු එනවා කියලා. අප ඒ ඤාතිවරයා හෝ හිතමිතුරා හෝ ගුවන් තොටුපළේ දී පිළිගන්නේ මොන තරම් ලෙන්ගතු කමකින් ද? මොනතරම් සතුටකින්, ආදරයකින් ද ? බුදුරජාණන් වහන්සේ වදාරනවා පින් කළ තැනැත්තා මෙලොවින් පරලොව ගියාම නෑදෑයෝ වගේ, හිත මිතුරෝ වගේ ඔහු පිළිගන්න ඉදිරිපත් වෙන්නේ පින කියලා. එතකොට පව්කළ තැනැත්තා පිළිගැනෙන්නේ කවුරුන් විසින් ද? පව විසින්. ඒක හරියට අපරාධකරුවකු ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගැනීමක් වගේ. ඒ නිසාතමයි හැකි හැම විට ම පින් දහම් කරගන්නා ලෙස දේශනා කරන්නේ. පින් කරන්න පෝය දිනයක් ම වුවමනා කරන්නේ නැහැ. පෝය දිනය වෙන් කරගෙන තිබෙන්නේ ම පින් කරන්නයි. සමහරු ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නෑ. මඟුල් ගෙවල්, විනෝද චාරිකා යොදා ගන්නේ ම පුර පසළොස්වක පෝයදාටය, සතුට, විනෝදය ගිහි ජීවිතයට ඕනෑ. පෝය දින ය අතහැර ඊට වෙන දිනයක් යොදා ගන්න බැරි ඇයි? මඟුල් නැකැත් තියෙන්නේ පෝය දවසේ පමණක් ද? මේවා ගැන අප හිතන්නට ඕනෑ. ඔබේ දරු මුනුබුරන්ට පින්කම් කිරීමේ අවශ්‍යතාව කියාදෙන්න ඕනෑ. පෝය දවස පිනට දහමට වෙන්කර ගැනීමේ වැදගත්කම ආදර්ශයෙන් ම කියා දෙන්න ඕනෑ. එහෙම වුණොත් පමණයි දීර්ඝ කාලයක් අප රැකගෙන ආ ආධ්‍යාත්මික ජීවිතය, අපේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වෙන්නේ.

ඔබ සැමට තෙරුවන් සරණයි. ..

ශාස්ත්‍රපති 
ගන්තුනේ අස්සජි මහා නා හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ‍‍නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment