Labels

Thursday, November 2, 2017

අධ්‍යාත්මික දියුණුවට උපකාරී වනභෞතික දියුණුව

" භෞතික දියුණුවක් නැති පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික දියුණුවක් ගොඩනැඟීම ද දුෂ්කර කාර්යයක් වෙයි. ඊ්ර්ෂ්‍යාව, කුහකම, දුෂ්ටකම, යන අයහපත් මානසික ව්‍යාධි තත්ත්වයක් භෞතිකව අසාර්ථක වූ පුද්ගලයා සතුව පවතී. භෞතිකව පවුල් ජීවිතය අසාර්ථක වූ පුද්ගලයෙකු කිසිවෙකුගේ පවුල් ජීවිතය පිළිබඳ යහපත් ආකාරයට කතා නොකරයි. ධනාත්මකව නොබල යි. සැම විටම අනෙකාගේ අඩුවම දකිමින්, දොස්ම දකිමින්, සැම විටම හිංසා වන ආකාරයෙන් හැසිරෙ යි."

අප ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ නිවන අරමුණු කරගනිමින් සියලු මගපෙන්වීම් සිදුකළ උත්තමයෙකි. තථාගත දේශනාවෙහි අවසාන අරමුණ සත්ත්වයා සසර දුකින් නිදහස් කරගැනීම යි.



බුද්ධෝ සෝ භගවා
බෝධාය ධම්මං දේසේතී
ධන්තෝ සෝ භගවා
ධමතාය ධම්මං දේසේතී.

පූර්ණ අවබෝධයට පත් තථාගතයන් වහන්සේ, අපටත් පූර්ණ අවබෝධය කරා යාමට මග පෙන් වූ සේක. පූර්ණ දමනයක් ඇති කරගත් තථාගතයන් වහන්සේ අපටත් පූර්ණ දමනයක් ඇතිකරගැනීමට මග පෙන්වූ සේක. පූර්ණ සංසිඳීමක් ඇතිකරගත්, තථාගතයන් වහන්සේ අපටත් සංසිඳීමට මග පෙන් වූ සේක.
දුකෙන් නිදහස් වන අරමුණක සිටින සත්ත්වයාට තමන්ගේ ජීවිතය, ආර්ථිකය, චිත්තවේදයන්, මානව සම්පත, කළමනාකරණය කරගැනීමට අවශ්‍ය කාරණා තථාගත දේශනාවෙහි අන්තර්ගතව පවතී. සම්මා සම්බුද්ධ දේශනාව කුමන හේතුවක් නිසාවත් එක් පැත්තක් දෙස පමණක්, නිරීක්ෂණය කර අදහස් පළ කරන දේශනාවක් නොවන බව අප අවබෝධ කරගත යුතුයි.
සම්පුර්ණයෙන් ම භෞතික පැත්ත පමණක් හෝ සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික පැත්ත නොබල යි. අංගුත්තර නිකායේ අන්ධ සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට, ඒක චක්කු හෙවත් එක් ඇසක් පමණක් පෙනෙන පුද්ගලයෙකු ද ද්විචක්කු යනුවෙන් ඇස් දෙකම පමණක් පෙනෙන පුද්ගලයෙකු පිළිබඳව ද තථාගතයන් වහන්සේ වදාරා ඇත.භෞතික සාර්ථකත්වය පෙනෙන, අධ්‍යාත්මික සාර්ථකත්වය පිළිබඳ කිසිදු දෙයක් නොපෙනෙන පුද්ගලයා අන්ධ පුද්ගලයෙකු ලෙස එහි දී හඳුන්වයි. ධනය වර්ධනය කරගනිමින් ධනය කළමනාකරණය කරන ආකාරය යන සියලු අවබෝධයන් ඔහු සතුව පැවැතුණත්, ගුණයක් හෝ ධර්මයක් පිළිබඳව ඔහුට නොපෙනෙ යි. ධර්මය පිළිබඳ නොපෙනෙන එවැනි පුද්ගලයන් අන්ධ පුද්ගලයන් ලෙස අවධාරණය කරන බුදු දහම ඔහු සාර්ථක පුද්ගලයෙකු ලෙස සලකනු නොලබයි. ඒක චක්කු පුද්ගලයාගේ එක ඇසක් පමණක් හොඳට පෙනෙයි.
අධ්‍යාත්මික පැත්ත පමණක් හෝ භෞතික පැත්ත පමණක් ඔහුට පෙනෙයි. තථාගතයන් වහන්සේ එම පුද්ගලයන් දෙදෙනා ම අගය කර නැත. ද්විචක්ඛු හෙවත් ඇස් දෙකම පෙනෙන පුද්ගලයා පමණක් බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්ව ඇත. විශේෂ අවධාරණයකට ලක් කරමින්, ඉස්මතුකරමින් පෙන්වා ඇත්තේ ඇස් දෙකම තිබෙන පුද්ගලයායි.භෞතික හා අධ්‍යාත්මික යන දෙඅංශයම සාර්ථක කරගැනීමට හිතන පුද්ගලයා අධ්‍යාත්මික දියුණුව තබාගෙන ම නිවැරැදිව මානව සම්පත සහ භෞතික සම්පත පරිහරණය කරන්නෙකු ලෙස භාග්‍යවතුන් වහන්සේ අගය කර ඇත. එම නිසා සිත පමණක් කළමනාකරණය කරගනිමින් ශරීරය පිළිබඳව නොසිතීමත්, ශරීරය පිළිබඳ කළමනාකරණය කරගනිමින්, සිත පිළිබඳ නොසිතීමත් බුදු දහම අගය නොකර යි. භෞතික සහ අධ්‍යාත්මික යන අංශ දෙකම සමබර ව කළමනාකරණය කරගැනීම බුදු දහම අගය කර යි.
බුදු දහමෙහි පවතින ආර්ථික කළමනාකරණය ජීවිතයට මෙන්ම නිවනට ද සම්බන්ධ වෙයි. ධනය රැස්කිරීම පිළිබඳව ද ධනය සංරක්ෂණය පිළිබඳව ද ධනය පරිභෝජනය පිළිබඳව ද අදහස් තථාගත දේශනාවෙහි ඇතුළත්ව පවතී. ධනය රැස්කිරීම පිළිබඳ බෞද්ධ කියවීම කුමක්ද? බුදු දහම මුදල් ඉපයීමට පොළඹවන දහමක් නොවන බවට බොහෝ දෙනා විශ්වාස කරයි. ආසියාතික ධර්මයන්හි ධනය සම්පාදනය කිරීමට පෙළඹවීමක් දක්නට නොලැබෙන බව සම්පූර්ණ අසත්‍ය කාරණාවක් වෙයි. අංගුත්තර නිකායේ වඩ්ඩී සූත්‍රයෙහි පෙන්වා දෙන පරිදි බෞද්ධ ගිහියා කාරණා පහක් වැඩිය යුතුයි.
පළමුව ධන ධාන්‍ය, කෙත් වතු හෝ ඉඩකඩම් වලින් වැඩිය යුතුයි. දැසි දස් කම්කරුවන්ගෙන් වැඩිය යුතුයි. අඹුදරුවන්ගේන් වැඩිය යුතුයි. එකල ගවමහේසාදීන්ගෙනවුවද, වර්තමානයෙහි යාන වාහන වලින් ද වැඩිය යුතුයි. අප භෞතිකව දියුණු විය යුතු යි. භෞතික දියුණුවක් නැති පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික දියුණුවක් ගොඩනැඟීම ද දුෂ්කර කාර්යයක් වෙයි. ඊ්ර්ෂ්‍යාව, කුහකම, දුෂ්ටකම, යන අයහපත් මානසික ව්‍යාධි තත්ත්වයක් භෞතිකව අසාර්ථක වූ පුද්ගලයා සතුව පවතී. භෞතිකව පවුල් ජීවිතය අසාර්ථක වූ පුද්ගලයෙකු කිසිවෙකුගේ පවුල් ජීවිතය පිළිබඳ යහපත් ආකාරයට කතා නොකරයි. ධනාත්මකව නොබල යි. සැම විටම අනෙකාගේ අඩුවම දකිමින්, දොස්ම දකිමින්, සැම විටම හිංසා වන ආකාරයෙන් හැසිරෙ යි. කුඩා කල හොඳ ළමා කාලයක් නොතිබුණා නම්, ඔහු මුළු ලෝකයටම වෛර කරන පුද්ගලයෙකු බවට පත් වෙයි.
ධන ධාන්‍ය ඉඩමක් කඩමක් නැතිව යමෙකු භෞතිකව අසාර්ථක වූ විට තමාට අඩුයි යන චෛතසිකය සැම විටම සිතට නැගෙයි. මට අඩුයි, මට නැත යන චෛතසිකය වැඩියෙන් පැමිණීමත් සමඟ අසවලාට වැඩි වුණ නිසා මට අඩු බවට කාලයත් සමඟ සිතීමට පෙළඹෙයි. ඉන්පසු යමක් තිබෙන මිනිසාට ඊර්ෂ්‍යා කිරීමට පටන් ගනී. වෛර කරයි. කුහකකම් කරයි. ක්‍රෝධයෙන් බලයි. යමක් තිබෙන පුද්ගලයෙකු දෙස කවදාවත් ඔහු ප්‍රිය ඇසකින් නොබලයි. හරිම අසහනයෙන් අතෘප්තියෙන් ජීවත් වෙයි. කවුරුන් හෝ අඩියක් ඉහළ යනවා නම් වහාම කතාවක් ගෙතීමට පෙළඹෙයි. ණයක් ගෙන කවුරුන් හෝ වාහනයක් ගත්තානම්, ඒ තුළ කුමක් හෝ නීතිවිරෝධි කටයුත්තක් ඇති බවට සිතයි. එයා එහෙම වෙන්නේ කොහොම ද? එහෙනම්, අපටත් පුළුවන් වෙන්න එපායැ යනුවෙන් ප්‍රකාශ කරම්න් නින්දා කරයි. නින්දා කරමින් පද ගොතමින්, අනෙකාට අපහාස කරමින් සිටීම බොහෝ අසාර්ථක පුද්ගලයෙකෙªගේ ස්වභාවයයි. ඔහුගේ ජීවිතය ම එයම වෙයි. ඔහුට වැඩක් නොමැතිකමත් තිබෙන එකම කාර්යය එයම පමණක් වීම එයට හේතු වෙයි.
භෞතිකව අසාර්ථක පුද්ගලයෙකුට ගුණ ධර්ම පිරීම දුෂ්කර කාර්යයක් වෙයි. ආර්ථිකමය වශයෙන් භෞතික වශයෙන් පුද්ගලයෙකු සාර්ථක නම්, දහඩිය වගුරවමින් උට්ඨාන විර්යෙන් අතපය වෙහෙසවමින් යම්කිසි ආකාරයකින් දැහැමිව ලබාගත් ධනයක් සහිත පදනමක් ඇති පුද්ගලයෙකුගේ ශ්‍රද්ධාව දියුණු කිරීම පහසු වෙයි. ඔහුගේ ශීලය දියුණු කිරීම පහසු වෙයි. ශ්‍රැතය දියුණු කිරීම පහසු වෙයි. ත්‍යාගය, ප්‍රඥාව දියුණු කිරීම පහසු වෙයි.
වඩ්ඩී සූත්‍රයෙහි කරුණු පහකින් ලෞකික ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ දෙවනුව අධ්‍යාත්මික වශයෙන් ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන කරුණු පහ දියුණු කළයුතු බවට දේශනා කර ඇත.



හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත 
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී 
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 12 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment