Labels

Tuesday, November 21, 2017

හිරු සඳු ඉල්ලා හඬා වැළපෙනවා ද?

" බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවධියේ මෙම කතා ප්‍රවෘත්තිය මඟින් අපට ලැබිය හැකි දහම් අවවාදය කුමක් ද? ඉපදීම නම් වූ දුකට හසුව පවතිමින් සැනසෙන්නට උත්සාහ කරන්නේ, එසේ ම ඉපදීමෙන් දුකක් හදාගෙන තිබෙන තවත් කෙනෙකුගෙන් ද? අප අපේ ජීවිතයට පිහිටක් ලෙසින් සම්මුතිය තුළ ලෝක පැවැත්මෙහි එකතුව කටයුතු කළත්, සදාකාලික පිහිටක් ඒ කිසිදු කෙනෙකුගෙන් හෝ කිසිදු වස්තුවකගෙන් ලැබිය නොහැකි බව අවබෝධ කර ගත යුතුය."

මනුෂ්‍යයෙක් ලෙසින් උපත ලබා දෙතිස් කුණූපයන්ගෙන් පිරිපුන් වූ ශරීරයක් දරාගෙන සිටින විට පඨවි ආදී ධාතූන්ගේ විසිරීම සිදුවෙනවා. එසේ පඨවි ආදී ධාතූන්ගේ සිදුවන විසිරීම, දිරාගෙන යෑම, ලෙඩදුක් ලෙස තේරුම් ගන්නට පුළුවන්.
කෙස් පැසීම, සම රැළිවැටීම, දත් වැටීම, ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ගේ දුබලවීම ආදී වශයෙන් එය අපි හඳුනා ගනිමු.
මේ ආකාරයට ජරා ධර්මයේ ආදීනවය මම තේරුම් ගත්තෙමි. අවබෝධකර ගත්තෙමි. මගේ මේ ආර්ය පර්යේෂණයෙන් වටහා ගත්තෙමි. මෙසේ දිරාගෙන යෑමක් නැති යමක් තිබෙනවා ද? තිබෙනවා. ඒ කුමක් ද? ඒ උතුම් වූ නිවනය. ඒ නිවන සොයන්නට ඕනෑ යැයි මම කල්පනා කළෙමි.
ව්‍යාධි ධර්මයන්ට උරුමකම් කියමින් සිටින මම ඒ ව්‍යාධි ධර්මයෙහි ඇති ආදීනවය මැනවින් තේරුම් ගත්තෙමි. ලෙඩදුක් හැදුනාට පසුව විඳින දුක බොහෝ ය. යම් තැනක පුළුස්සනවා සේ ද, තවත් තැනක තියුණු ආයුධයකින් එහාට මෙහාට අදිමින් කපනවා සේ ද, තවත් විටෙක හිස වටා දැඩි රැහැනක් යොදා ගැටගසන තරමට විශාල වේදනාවක් දැනිය හැකි ය. තවත් විටෙක ගවයන් මරන්නෙක් හෝ ඔවුන්ගේ අතවැසියෙක් විසින් ගවයන්ගේ කුස පලන්නා සේ කුසේ දැනෙන වේදනාව විඳ දරාගත නොහැකියි. තවත් අවස්ථාවක මහා පුරුෂයෙක්, දෙදෙනෙක් දුබල පුද්ගලයෙක් ගිනි වළකට තබාගෙන ඔබාගෙන සිටින්නා සේ පිළිස්සෙන, දැවෙන ගතිය දරාගත නොහැකියි. කේශාන්තයේ සිට පාදාන්තය දක්වාත්, පාදාන්තයේ සිට කේශාන්තය දක්වාත් තද කරමින්, ඇවිළෙමින් ශරීරය කැඩෙන, බිඳෙන, පිළිස්සෙන, දැවෙන තරමට දැනෙන වේදනා බොහෝ ය.
මේ ආකාරයෙන් ව්‍යාධියෙහි එනම් ලෙඩ දුක්වල ඇති ආදීනවය මම තේරුම් ගත්තෙමි. එසේ තේරුම් අරගෙන ව්‍යාධියක් නැති, යම් ස්වභාවයක් පවතී ද? එනම් කාම, භව, දිට්ඨි, අවිජ්ජා නම් වූ ඕඝයන් නැති ඉතා උතුම් වූ නිවන සොයන්නට මම උත්සාහ ගත්තෙමි. මේ සියලු ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් නිදහස්වීම නිවනයි. ඒ උතුම් වූ නිවන සෙවීම මම ආරම්භ කළෙමි.
මම මරණ ධර්මයට උරුමකම් කියමින් සිටින විට මරණ ධර්මයේ ආදීනව තේරුම්ගත්තෙමි. ‘මම’ ‘මගේ’ යැයි පුද්ගලයන් හෝ වස්තූන් මොන තරමට සිතින් අල්ලාගෙන සිටියත් මරණය හා සමග ඒ සියල්ල ම අහිමි ව යයි. ‘මම’ ‘මගේ’ යැයි පවසා කවා පොවා, නහවමින් පවත්වන මේ ශරීර කූඩුවත් මට ම විපතක් ගෙන දෙන බවත්, යම් මොහොතක මේ ශරීරය මෙ ලොව තබා යන්නට සිදුවෙන බවත් මම නුවණින් දුටුවෙමි.
එසේ නම් මරණයට උරුමකම් කියමින් සිටින මම, මරණයට උරුමකම් පවත්වමින් සිටින තවත් පුද්ගලයෙක් හෝ වස්තූන් නො සෙව්වෙමි. ඒ වෙනුවට මරණයක් නැති, ඉතා උතුම් වූ, ඕඝයන්ගෙන් බැහැර වූ ස්වභාවයක් පවතින්නේ ද? එය සෙව්වෙමි. ඒ නිවනයි. ඒ නිවන සොයන්නේ නම් මැනවයි, මා කල්පනා කළෙමි.
එමෙන් ම ශෝක ධර්ම වූයෙම්, ශෝක ධර්මයේ ආදීනව දැනගත්තෙමි. ශෝකයට පත්වෙන විට ඒ ශෝකයේ පවතින ආදීනවය මම අවබෝධකර ගත්තෙමි. ශෝකය විශාල වේදනාවක් ගෙන දෙන්නේ ය. එය හරියට හුලක් ඇණීමක් සේ ය. ශෝකය දැනෙන විට කුසගින්න, පිපාසය දැනෙන්නේ නැත. නිදිමතක් නැත. පෙරදා පැවතුණ ප්‍රිය වස්තු කිසිවක් ප්‍රිය වස්තු හැටියට දැනෙන්නේ නැත. තමාගේ ශරීරයේ නිරෝගී බව ගැන අදහසක් එන්නේ නැත. හඬා වැළපීමෙන් යුතුව කාලය ගත කරන්නේ ය.
මේ නිසා ශෝක ධර්මයේ ආදීනවය දැනගත්තෙමි. ශෝකය ඵලක් නොවන බව, ගිලන්වීමට, කාලය විනාශ වීමට, හා දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය නිකරුණේ ගතවීමට හේතුවක් බව තේරුම් කර ගත්තෙමි. ඒ ශෝකයේ ආදීනවයයි.
ඵලක් නැති යමක් වෙනුවෙන් හැඬීමක්, වැළපීමක් පවතිනවා ද? යැයි කල්‍යාණවන්තයෙක් අසන විට ඒ ගැන මෙනෙහි කළ යුතු ය.
තමන්ගේ ජීවිතය බොහෝම ප්‍රිය ස්වභාවයෙන් යම් කෙනෙක් සිට හෝ තමා ඉතා ම කැමැති යම් වස්තුවක් නැති වූ විට, එනම් විනාශ වූ යමක් නැවත ඉල්ලා හැඬීම වැළපීම හිරු, සඳු ඉල්ලා හඬනවා වගේ යැයි ධර්ම කතාවෙන් පැහැදිලිකොට තිබෙනවා. ඒ මට්ටකුණ්ඩලී දේවපුත්‍ර කතාව හා සමගිනුයි. මේ ලෙසින් ශෝකයේ පවතින ආදීනවය අපටත් තේරුම් ගන්නට පුළුවන. බෝධිසත්වයන් වහන්සේත් එය තේරුම් ගෙන ශෝකයක් නැති ඉතා උතුම් වූ ඕඝයන්ගෙන් නිදහස් වූ නිවන ම සොයන්නේ නම් මැනවයි කල්පනා කළහ.
තමා කෙලෙස් ධර්මයන්ට එකතුව සිටින හෙයින් ඒ කෙලෙස්වල රාග, ද්වේෂ ආදී කෙලෙස්වල පවතින ආදීනව මැනවින් තේරුම් ගත්හ. රාග, ද්වේෂ ආදී ඒ කෙලෙස්වල ආදීනවයන් මැනවින් තේරුම් ගෙන ඉතා උතුම් වූ ඕඝයන්ගෙන් නිදහස්ව පවත්නා ඒ නිවන සොයන්නේ නම් මැනවයි, මම කල්පනා කළෙමි. භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව අවධියේ දී ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝකපරිදේව, දුක්ඛ දෝමනස්සයන් හි ආදීන අනුක්‍රමයෙන් අවබෝධ කර ගත් ආකාරයෙන්, ඒවායෙහි ආදීනව අවබෝධ කරගෙන, ඒවායින් නිදහස්වීම නම් වූ නිවන සොයන්නට ආරම්භ කළ ආකාරයත්, ඉන් පැහැදිලිය.
බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවධියේ මෙම කතා ප්‍රවෘත්තිය මඟින් අපට ලැබිය හැකි දහම් අවවාදය කුමක් ද? ඉපදීම නම් වූ දුකට හසුව පවතිමින් සැනසෙන්නට උත්සාහ කරන්නේ, එසේ ම ඉපදීමෙන් දුකක් හදාගෙන තිබෙන තවත් කෙනෙකුගෙන් ද? අප අපේ ජීවිතයට පිහිටක් ලෙසින් සම්මුතිය තුළ ලෝක පැවැත්මෙහි එකතුව කටයුතු කළත්, සදාකාලික පිහිටක් ඒ කිසිදු කෙනෙකුගෙන් හෝ කිසිදු වස්තුවකගෙන් ලැබිය නොහැකි බව අවබෝධ කර ගත යුතුය. යම් වූ ද පුද්ගලයෙක් හෝ වේවා මිල මුදල්, ධන ධාන්‍ය වශයෙන් යම් වස්තුවක් හෝ වේවා ඒ සියල්ල ම හටගත්තා සේ ම නැතිවන ස්වභාවයෙන් යුක්තයි.
ජාති ධර්මයන්හි ඇති ආදීනව ඒ තුළින් ද දැකිය හැකියි. මේ නිසා අප විසින් කායික, වාචසික, සංවරය නම් වූ සීලයේ පිහිටා ධර්මානුකූල ජීවිතයක මෙලොව පැවැත්ම වෙනුවෙන් පුද්ගලයන් හා වස්තූන් ඇසුරු කළත්, අපගේ ජීවිත හා සමගින් පැවැත්වූවත් ඔවුන් තුළ හෝ ඒ වස්තූන් කෙරෙහි සදාකාලික සුවයක්, සැනසීමක්, ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් නිදහස්වීමක් නැති බව ඉතා ම හොඳින් අවබෝධ කර ගත යුතුය.
එසේ නොමැති වුවොත් අපේ සිතෙන් ඇලීම්, ගැටීම් ඇති කරගන්නේ මේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට උරුම වූ පුද්ගලයන් වෙතටමයි. වස්තූන්ටමයි. අප සියලු දෙනා ම අසරණ ව කර්ම පමණක් රැස්කරගෙන වඩාත් ම උපදින්නට මඟ සැලසී, සතර අපායේ තැනක උපදී. නැවත කාලයකින් ගැලවිය නොහැකි ලෙස දුකකට පත්විය හැකිය. මේ නිසා බෝධිසත්වයන් වහන්සේ ආර්ය පර්යේෂණයෙන් සොයාගත් සත්‍ය සේ අප උපත හා සමගින් ලැබී තිබෙන ආදීනව මැනවින් තේරුම් ගෙන උපත හා සමගින් පවත්නා ජාති, ජරා, ව්‍යාධි, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, මරණ මේ ආදී විපත්වලින් නිදහස්වීම පිණිස නිවන ම අරමුණු කරගත යුතු ය.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරති. ‘මහණෙනි, ඒ මම පසු කාලයේ ළදරු වූයෙමි. ඉතා කළු කෙස් ඇත්තෙම්, පළමුවන වයස ව සොඳුරු යෞවනයෙන් යුක්ත වූයෙමි. නොකැමැති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මව්පියන් හඬද්දී කෙස් රැවුල් බා කසාවත් ඇඳ ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙමි. මම මෙසේ පැවිදි වූයෙම්, කුසලය කුමක් ද? එනම් ‘කිං කුසලගවේසි’ සොයන්නට උත්සාහ වූයෙමි. නිරුත්තර වූ උතුම් ශාන්ති පදය සොයමින් ආලාරකාලාම කරා පැමිණියෙමි.

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 17 වන  සිකුරාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment