Labels

Friday, November 17, 2017

දෙව්ලොවට යන ඉණිමඟ

ආමිස දානය ප්‍රධාන කොටස් දෙකකි. පෞද්ගලික දානය හා සාංඝික දානය යනුවෙනි. පෞද්ගලික දානය යි කියන්නේ එක් පුද්ගලයෙකුට හෝ බොහෝ ගණනකට වෙන් වෙන් වශයෙන් හෝ දීමයි. එබඳු පෞද්ගලික දාන දාහතරක් පිළිබඳ අංගුත්තර නිකායේ දක්ඛිණා විභංග සූත්‍රයේ සඳහන් ය.

ලොවුතුරා බුදුරදුන්ට දෙන දානය, පසේ බුදු කෙනෙකුට දෙන දානය, රහතුන් වහන්සේට දෙන දානය, රහත් ඵලය ලැබීමට පිළිවෙත් පුරණ ආර්යයන් වහන්සේට දෙන දානය, අනාගාමී ආර්යයන්ට දෙන දානය, අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට විදසුන් වඩන ආර්යයන් වහන්සේට දෙන දානය, සකදාගාමී ආර්යයාට දෙන දානය, සකදාගාමී වන්නට, භාවනා වඩන්නාට දෙන දානය, සෝවාන් පුද්ගලයාට දෙන දානය, සෝවාන් වන්නට පිළිවෙත් පුරණ පෘථග්ජන සීලවන්ත උතුමෙකුට දෙන දානය, (තිසරණ ගත උපාසකයා ද මෙයට අයත් වේ), ධ්‍යාන අභිඤ්ඤා ඉපද වූ බාහිර තාපසයකුට දෙන දානය, කර්මවාදී බාහිරක සීලවන්තයෙකුට දෙන දානය, පෘථග්ජන දුස්සීලයාට දෙන දානය, තිරිසනාට දෙන දානය වශයෙනි.
මෙයින් අන්තිම වූ තිරිසන් සතෙකුට දෙන දානයෙහි පවා ආනිශංස ආත්මභාව සියයක විපාක දෙන්නක් බව බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි එම දක්ඛිණා විභංග සූත්‍රයේ ම සඳහන් වේ.

එසේ ම පෘථග්ජන දුශ්ශීල මිනිසකුට, ඒ කියන්නේ සතුන් මරාගෙන, අධර්මයෙන් ජීවිකාව කරන පුද්ගලයකුට වුව ද දෙන ලද දානයක ආනිශංසය පවා ආත්ම භාව දහසක විපාක දෙන බවත් දක්වා තිබේ. පෘථග්ජන ශීලවන්තයෙකුට දෙන ලද දානයක ඵලය ලක්ෂයක් ආත්මවල විපාක දෙන බවත්, සිල්වත්කමේ, ගුණවත්කමේ තරමට විපාක ලැබෙන හැටි බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කර දෙනු ලැබ ඇත. සෝතාපත්ති ඵලය සාක්ෂාත් කිරීමට පිළිවෙත් පුරණ පුද්ගලයෙකුට දෙනු ලබන දානයක ආනිශංස ගණනක්, සීමාවක් ප්‍රමාණය කළ නොහැකි බව ‘අසංඛෙය්‍ය, අප්පමෙය්‍ය’ යන වචනවලින් දක්වා තිබේ.
සෝතාපත්ති ඵලය ශාක්ෂාත්කර ගැනීමට පිළිවෙත් පුරණ පුද්ගලයා ය, කියන්නේ අන්තිම වශයෙන් තෙරුවන් සරණ ගිය උපාසකයාට ය. තිසරණ ගත උපාසකයා ද සෝවාන් වීමට පිළිවෙත් පුරණ තැනැත්තෙකි. මෙහි තෙරුවන් සරණ ගියාය කියන්නේ කටින් පමණක් සරණ යෑම නොවේ. තෙරුවන් හඳුනාගෙන, රත්නත්‍රයේ ගුණ මහන්තත්ත්වය සලකා සසරින් එතෙර වන අදහසින් ම තිසරණගත බෞද්ධයකු වීමයි. එවැනි පුද්ගලයෙකුට දෙන දානයක ආනිශංසයයි, අසංඛෙය්‍ය, අප්පමෙය්‍ය වශයෙන් හැඳින්වෙන්නේ.
පෞද්ගලික ව දෙන දාන අතර ලොවුතුරා බුදුරජාණන් වහන්සේට ම දෙන දානය ඉතා උසස් ය. එය මහත් ඵලදායී ය. මෙහි දී දානය පිළිගනු ලබන තැනැත්තාගේ ගුණ මහන්තත්ත්වය සලකා බැලේ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ තරම් ගුණ මහන්තත්ත්වයෙන් උසස් උතුමෙකු වෙනත් නැත.
මෙසේ පෞද්ගලික දාන දාහතරක් ගැන දක්වා සාංඝික දාන හතක් ගැනත් එහි විස්තර වේ. සාංඝික දානය කියන්නේ, අසවල් භික්ෂූන් වහන්සේටය කියා වෙන් කිරීමක් නැතිව මහාසංඝ රත්නයෙහි සුපටිපන්නතාදී ගුණ සමුදාය සලකාගෙන සංඝ රත්නය විෂයෙහි පොදුවේ දෙනු ලබන දානයයි. සාමාන්‍යයෙන් සංඝ කියන්නේ සමූහයකටයි. සීලං, දිට්ඨි, සමණ ගුණ යන මෙයින් ඒකාබද්ධ වූ සමූහයකටයි.
“සත්ත ඛොපනිමානන්ද සංඝතා දක්ඛිණා” ආනන්දය සාංඝික දාන සතක් තිබෙනවා. එනම්,
බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානය, භික්ෂු සංඝයාට පමණක් දෙනු ලබන දානය, භික්ෂුණී සංඝයාට දෙනු ලබන දානය, නියමයක් නැතිව ආරාධනා කොට පැමිණෙන භික්ෂු භික්ෂුණීහට දෙනු ලබන දානය, ආරාධනා කොට භික්ෂු සංඝයාට පමණක් දෙනු ලබන දානය, ආරාධනා කොට භික්ෂුණී සංඝයාට පමණක් දෙනු ලබන දානය වශයෙනි.
මෙම සාංඝික දාන හතෙන් මේ කාලයෙහි දෙන්නට පුළුවන් වන්නේ තුන්වන හා හයවැනි දානය පමණි. සාංඝික දානයක් එක නමකට වුව ද දෙන්නට පුළුවන. එනම්, උපසපන් භික්ෂූන් වහන්සේ පස් නමක්වත් වැඩ සිටින සංඝාරාමයකට ගොස් සංඝයා වහන්සේට ආරාධනා කොට එම සංඝයාගෙන් එක නමක් ලැබුණත් ඒ නමට දෙන්නේ සංඝයාට දෙන දානයක් විධියට නම් එය ද සයවැනි සාංඝික දානයටම ඇතුළත් ය. මෙම දානයේ දී දානයට වැඩමවන භික්ෂු නම දුශ්ශීලයකු වුව ද ඔහුගේ ගුණ අගුණ නොසිතා සංඝයාට දෙන අදහසින් ම දියයුතු බව දක්ඛිණා විභංග සූත්‍ර අටුවාවේ සඳහන් වේ.
සාංඝික දානයක් දීමේ දී පුද්ගලයාගේ ගුණ අගුණ සිතා නොව මහා සංඝරත්නයේ ගුණ සලකාගෙනම දිය යුතු බව වැඩිදුරටත් එහි පැහැදිලි කර තිබේ. මෙසේ දෙන්නා වූ සාංඝික දානයක ආනිශංස මහත් ඵලදායී බව බුදුරජාණන් වහන්සේ වදාළහ.
ආනන්දය, අනාගත කාලයේ භික්ෂු නාමය පමණක් ඇති ‘කාසාවකණ්ඨ’ නම් වූ දුස්සීල වූ, ළාමක ස්වභාවය ඇති ශ්‍රමණ වේශධාරීන් ඇති වේ. ඒ දුශ්ශීලයා කෙරෙහි ද සංඝයා උදෙසා දන් දෙන්නේ ද? ආනන්දය, එම සංඝගත දක්ෂිණාවේ ආනිශංසය ගණනක් සීමාවක් නැත. ප්‍රමාණ කළ නොහැකි ය. පෞද්ගලික දානයට වඩා සාංඝික දානයේ විපාක මහත්ඵල වන්නේ ය. දිනක් තම සුළු මෑණියන් වූ මහාප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව පූජා කිරීමට ගෙනෙන ලද වටිනා සිවුරක් “මහා සංඝයාට පූජා කරන්න ගෝතමිය” ‘සංඝෙ ගෝතමී දේහී’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ පෞද්ගලික ව දෙන දානයට වඩා සඟ සතුව දෙන දානයෙහි මහත් ඵල වන නිසා ය.
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ පටන් ශාසනාන්තයෙහි ඇති වන කාසාවකණ්ඨයන්ගේ කාලය දක්වා බුදු සසුනෙහි පැවිදිවන සියල්ලන් ම සංඝරත්නයට ඇතුළත් වෙති. සංඝරත්නයට අයත් පුද්ගල සමූහය ඉතා බොහෝ ය. මෙ පමණ ලක්ෂ ගණනක, කෝටි ගණනක කියා ප්‍රමාණ කරන්නට අපහසු ය.
යටත් පිරිසෙයින් බත් හැන්දක් වුවත් සංඝරත්නයට දෙමි කියා දුනහොත් ඒ දාන වස්තුව සංඝරත්නයට හිමි වේ. මෙසේ පුද්ගල සමූහයකට දෙන දීමනාවක් නිසා එම සාංඝික දානය මහානිශංසදායී ය. දානය මහත්ඵල වීමට ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සම්පත්තිය ද හේතුවකි. සංඝ රත්නයට අයත් පුද්ගලයන් අතුරින් ශාරීපුත්‍රාදී එක් එක් මහරහතන් වහන්සේගේ ගුණ ද ප්‍රමාණ කළ නොහැකි ය. එබඳු ගුණවත් පුද්ගලයන් මහත් සංඛ්‍යාවක් ඇතුළත් වන සංඝරත්නයේ ගුණ සමූහය ද ප්‍රමාණ කිරීමට කිසිසේත් පුළුවන්කමක් නැත. මෙසේ සංඝරත්නයේ ගුණ මහන්තත්ත්වය නිසා ද සාංඝික දානය බොහෝ ආනිශංස ඇති කරන්නකි.
දන් දීම ගිහි පැවිදි දුප්පත් පොහොසත් හැම කෙනෙක් විසින් ම කළ යුතු උසස් කුසල කර්මයක් බව බුදුරජාණන් වහන්සේ ම අනුමත කර ඇත.
“දන් දීම සුදුසු දෙයක්, කළයුතුම දෙයක්, පින් කටයුතුම දෙයක්, මක්නිසාදයත්, දෙවියන්ට උපකාර වන්නේත් පින්, මිනිසුන්ට උපකාර වන්නේත් පින්, පැවිද්දන්ට උපකාර වන්නේත් පින් ම බව බුදුරජාණන් වහන්සේ සුමනා රාජ කුමාරිය ගේ ප්‍රශ්නයකට පිළිතුරු දී එය අනුමත කරමින් ප්‍රකාශ කර ඇත.”
පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එකට මහණව සිටි භික්ෂූන් වහන්සේලා දෙනමක් අතරින් එක් නමක් තමන්ට ලැබෙන දෙයින් දන් දී වළඳති. අනික් භික්ෂු නම තමන්ට යැපෙන පමණක් රැගෙන කිසිවෙකුටත් නොදී වළඳති. මේ දෙනම ඒ ආත්මයෙන් චුත වී සසර ලැබූ හැම ආත්මයක දී ම මහත් වෙනසක් ඇතිවුණි. දන් දුන් භික්ෂූන් වහන්සේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංචවිධ සම්පත්තියෙන් ආඪ්‍යව සැප විපාක ලැබූහ. දන් නො දුන් භික්ෂූන් වහන්සේ හැම දෙයකින් ම දුර්වලව උපත ලැබූහ. ඉන් දන් දුන් භික්ෂූන් වහන්සේ අප බුදුරදුන් දවස කොසොල් රජුට පුත්‍ර ව උපන්හ. අනික් හිමියෝ එම රජ ගෙදර ම සේවිකාවකට පුත්‍රව උපන්නහ. පෙර ආත්ම භාවයන් පිළිබඳ තොරතුරු දැකීමේ නුවණක් ඇති වුණි. මෙම කුඩා බිළිඳු දරුවන් දෙදෙනා අතර පෙර ආත්ම භාවයක සිද්ධියක් ගැන හොඳින් තොරතුරු දැන ගැනීමට බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ප්‍රශ්නයක මාර්ගයෙන් විචාළහ. බුදුරජාණන් වහන්සේ ඇයගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම වශයෙන් සුමනා සූත්‍රය දේශනා කර ඇත.

දන් දීම සසර මහත් සැප සම්පත් ලැබීමට හේතුවන නිධානයක් වශයෙන් ද දෙව්ලොවට නගින ඉණිමඟක් වශයෙන් ද සියලු සැපයන් දෙන භද්‍ර ඝටයක් ලෙස ද දක්වා තිබෙනවා. ඒ කියන්නේ දෙව් ලොව යෑමට හොඳ ම ආධාරයක් වන්නේත් ඒ ඒ ආත්මවල දී ආයු, වර්ණා දී පංච විධ සම්පත්තියෙන් ආඪ්‍යතර බවට පත්වන්නේත් ආමිස දානමය පුණ්‍ය ක්‍රියාවේ කුසල ශක්තිය නිසයි.


අනුරාධපුර අභයගිරි රජමහා විහාරාධිකාරී 
අනුරාධපුරය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය 
කල්ලංචියේ රතනසිරි හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ‍‍නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment