Labels

Sunday, November 19, 2017

සොඳුරු පවුලක අසිරිය

සොඳුරු සමාජයක් ගොඩනැඟීමට සොඳුරු පවුලක් ගොඩනැඟිය යුතුය. මහා සමාජයේ කුඩා ම ඒකකය වන කුටුම්භයෙහි සොඳුරුබව කෙසේ ගොඩනැඟිය යුතු ද ? පවුලේ සාමාජිකයන් එකිනෙකා නිතර, නිතර හමුවෙනවා නම්, පවුල තුළ ගරුත්වය, විශ්වසනීයත්වය වර්ධනය වෙයි. හමුවීම, සාකච්ජා කිරීම , ඇහුන්කම් දීම ,නිවසක තිබිය යුතු අත්‍යවශ්‍ය පරිසරයයි. ඉඳ හිට හෝ විදුලිය බිඳ වැටීමක් සිදු වූ විට එය කෙතරම් හොඳ ද?යන අදහස පැමිණෙන්නේ විදුලිය බිඳ වැටුණ සැනින් නිවසෙහි සියලු සාමාජිකයන් ආලින්දයට පැමිණෙන නිසයි.

පවුලේ සාමාජිකයන් වෙන වෙනම කාමරවල තනිවුණ ලෝකවල ජීවත් වෙයි.බැඳීම් දුරස් වන තරමට ඔවුන් හුදකලාවෙයි. “චිමිනි ලාම්පු” තිබුණ කාලයේ අඩුම වශයෙන් රාත්‍රියටවත් පවුලේ සියලු සාමාජිකයන් ඒකරාශී වෙමින් එකම මේසයක ආහාර ලබාගත් අවධියක් පැවති බව අපට අමතකයි. ලාම්පු එළියෙන් හෝ ගෙදර සියලු දෙනා පැදුරක වාඩිවෙමින් කෑම ගත් යුගය අපට අමතක ද?
එකම අවස්ථාවක එකිනෙකාගේ දෑස් එකිනෙකාට දැක ගැනීමට දවසකට එක් අවස්ථාවක් හෝ පැවතුණ බව සිහිපත් කළ යුතුය. වර්තමානය වන විට අපගේ ගෙවල් දොරවල් විශාල වෙමින් විදුලිය ලැබී තිබුණත් ,අප ගේ හමුවීම් බොහෝ සේ දුරස් වෙමින් පවතී. මගහැර ජීවත් වීම ජීවත්වීමේ පහසුම ක්‍රමය ලෙස ඇතැම් දෙනාගේ මනසට ඇතුළු ව පවතී. ගෙදර සාමාජිකයන් හමුවීම අඩුනම්, එකිනෙකා කතාකරන වචන ප්‍රමාණය, හුවමාරු කරගන්නා අදහස් ප්‍රමාණය අඩු නම්, එකිනෙකාට එකිනෙකා පිළිබඳ විශ්වසනීයත්වය ගොඩනැඟෙයිද?

අඩුම වශයෙන් කතාකරන වචන අසාගෙන සිටීමේ අවශ්‍යතාවයවත් අනෙකාට නැතිනම්, විශ්වාසය ගොඩනැඟන්නේ කුමන ආකාරයෙන් ද? පුද්ගලයෙකු කෙරෙහි විශ්වාසයක් ගොඩනැඟීමට අඩුම වශයෙන් ඔහු කතා කරන කාරණාවන් අසා සිටිය යුතුයි. ඇහුම්කන් නොදෙන පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු පිළිබඳ අල්ප මාත්‍ර විශ්වාසයක් ගොඩනොනැගෙයි. ගෙදරක අනෙකා කතා කරන කාරණා අසාගෙන සිටීමට හෝ ,අනෙකාව මුණගැසීමට හෝ ,මනස සූදානම් නැත්නම්, ශ්‍රද්ධාව උපදින්නේ කෙළෙසක ද ? එවැනි අඩුපාඩුකම් තිබෙනවා නම්, අඩුම වශයෙන් වාඩිවෙලා කතා කළ යුතුයි. විවාහ වීම, දරුමල්ලන් ලොකුමහත් වීම අම්මා තාත්තා මුහුණු බලන එක අඩුවීමට හේතුවක් කර නොගත යුතු යි. දරුවන් වැඩිහිටි වූ පසු අප මොනවා කතා කරන්නද? යනුවෙන් ඇතැම් මව්පියන් සිතයි. දවසක් ගෙවෙන විට කෙතරම් වේදනාකාරී සිතිවිලි පැමිණෙනවා ද? කෙතරම් සතුටු කරුණු සිතෙනවාද? එම සිතිවිලි කවුරුන් හෝ සමඟ බෙදාගන්නේ නම්, කොතරම් සොඳුරුද? යනුවෙන් සිතෙයි.
එහෙත් එවැනි දේ සඳහා ඔබගේ නිවස තුළ අවකාශයක් ගොඩනොනැඟෙන්නේ නම්, මේ ගෙදර තුළ තමා වෙනුවෙන් කවුරුත් නැති බවට අනෙකා තුළ ඇති වන හැඟීම වැළැක්විය නොහැකියි. එම නිසා ගෙදර කතා කරන ඇහුන්කම් දෙන ස්ථානයක් බවට පත්කර ගත යුතුයි. බොහෝ දෙනා විවාහයට පෙර ගිරව් වගේ කතා කළත්,විවාහවෙලා මාස හතක් අටක් ගත වන විට ගිරවා බකමුණා බවට පරිවර්තන වෙයි. විවාහ වූවාට පසු කතාකිරීමට තිබෙන උනන්දුව අඩුවීයාම සිංහල මිනිසුන්ගේ පවුල් සංස්ථාව විනාශ වීමේ ආරම්භය සනිටුහන් වෙයි. සිංහල මිනිසුන්ගේ පවුල් නාස්තිවීමට හේතුව අනික් මිනිසුන්ගේ කුමන්ත්‍රණ නොවන බව අවබෝධ කරගත යුතුයි.
පළමු වන කුමන්ත්‍රණය ඔවුන් එකතු නොවීමයි. ඊළඟ කුමන්ත්‍රණය නම්, ඉඳහිට එකතු වුවත්, කතාකරන ප්‍රමාණය අඩුකමයි. කතා කළත් රණ්ඩු වීමට පමණක් කතා කරයි .ඇතැම් සුදු ජාතිකයන් රණ්ඩුවීෙමිදී පිරිමියා බැණ අවසන් වනතුරු කාන්තාව කටපියාගෙන බණින කාරණාව අසාගෙන සිටී. සුදු ජාතිකයා බැණ අවසන් වූ පසු සුදු කාන්තාව බැණීමට පටන් ගනී. අම්මා කුස්සියේ සිට බණින අවස්ථාවල තාත්තා සාලයේ සිට බැණ වැදීම අපේ ගෙවල්වල ස්වභාවයයි. පැයක්ම ගතවන තුරු දෙදෙනාම බැණගෙන තිබුණත් , අඩුම වශයෙන් දෙදෙනා බැණගත් කාරණාවත් දන්නේ නැහැ. ඇහිලා නැහැ. එක් අයෙක් බණින අවස්ථාවල අනෙකා ඇහුම්කම් දීගෙන ඉන්න තරම් විදේශිකයන් නම්‍යශීලි වූවද, බෞද්ධයන් වන අපට එම වුවමනාවත් නොමැති බව හැඟෙයි. අනෙකා වේදනාවෙන් කෑ ගසන විට ඔහු හෝ ඇය කෑ ගැසීමට හේතුව කුමක්ද? යන වග තේරුම් ගනී. රණ්ඩුවක් ඇති වුවද, එම රණ්ඩුව ඇතුළත කියන කාරණාවට ඇහුන්කම් දිය යුතුය. කියන කාරණාවන් අසා නොසිට දෙදෙනා දෙපැත්තක සිට ලතෝනි දුන්නාට කිසිදු ප්‍රශ්නයක් විසඳෙන්නේ නැති බව අවබෝධ කරගත යුතුයි. ඔබ සමඟිව හමුවීමත්,සමඟියෙන් කතා කිරීමත්,කරන සාකච්ජාව නිමාකරමින් සමඟියෙන් නැඟිට යාමත්, එකිනෙකා පිළිබඳ ශ්‍රද්ධාව ඉපදිමට තිබෙන හොඳම ක්‍රමයයි. ශ්‍රද්ධාව ඇස් පියාගෙන ඇතිකරගත යුතු දෙයක් බවට බුදු දහම පෙන්වා දී නැත. විශ්වාස කළ කාරණාවන් තේරුම් ගත යුතුයි. තේරුම් ගන්නා කාරණා විශ්වාස කළ යුතුයි. එම අවබෝධය ඇතුළත ගොඩනැඟෙන විශ්වාසය ආකාරවතී ශ්‍රද්ධාව නමින් බුදු දහම හඳුන්වා දෙයි. එය ස්ථාවරව නොසෙල්වී පවතී. ප්‍රඥාවක් ඇතුළත එම ශ්‍රද්ධාව උපදී. කතාකිරීමට මනස සූදානම් වීමට නම්,මාන්නය අඩුකරගත යුතුයි. ඇතැමුන් ගේ ප්‍රශ්න විසඳී තවදුරටත් ප්‍රශ්නයක් නොතිබුණත්, පළමුවෙන්ම කතාකරන්නේ කවුද? යන ප්‍රශ්නය ඔවුන්ගේ එකතුවීමට බාධාවක් වෙයි.
අඩුම වශයෙන් ඔබ පළමුව අනෙකාගෙන් සමාව ගන්න පුරුදු විය යුතුයි. අඩියක් ආපස්සට ගත් පමණින් කිසිදා පුද්ගලයෙකු පරාජයට පත්වන්නේ නැත.අපි සිංහල ජාතිය නිසා පළමුවෙන්ම සිටිනවා මිස දෙවෙනි වෙන්න අවශ්‍ය නැහැ යනුවෙන් ගොඩනඟාගත් මාන්නයෙන් කටයුතු කරයි. අඩියක් ආපස්සට ගැනීමට අකැමැති , නම්‍යශීලී වීමට අකැමැති කිසිවෙක් වෙනස්වීමට අකැමැති කිසිවෙක්,මේ ලෝකය තුළ යහපත්ව ඉහළට නොගිය බව අවබෝධ කරගත යුතුයි. එය සත්‍යයයි. දෙවෙනිව සිතන සෑම පුද්ගලයෙක්ම පළමු ස්ථානයට ගමන් කරන බව මතක තබාගත යුතුයි.ලෝක ඉතිහාසයෙහි යමෙකෙªට පැවැත්මක් ලැබී තිබෙනවා නම්,ඔහු වෙනස්වීමට කැමැති වීම එයට හේතුව වෙයි. වෙනස් වීමට අකැමැති පුද්ගලයන් හැමෝම පරිණාමයට සූදානම් නොමැති නිසා ගෙවල් ඇතුළෙහිම වඳවී යයි. ඒ පිරිසට තවදුරටත් පැවැත්මක් නැතිව යයි.ලෝකයක් එලෙස නම්, ඔබගේ පැත්තෙන් වෙනස්වීමට කැමැති විය යුතුය.මාන්නය අඩුකරගනිම්න් අනෙකා පිළිබඳ ගෞරවයෙන් සිතන්න පුරුදු වීම අවශ්‍යයයි. බිරිඳ පිළිබඳ සැමියා සිතිය යුතු ආකාරය, බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. සම්මාන නාය යනුවෙන් ගරු කළ යුතු බවට උන්වහන්සේ දේශනා කර ඇත. න අවමාන නා ය අවමන් නොකර සිටිය යුතුයි. කෙතරම් ලස්සන යුතුකමක් ඉටු කළා වෙයි ද ? බිරිඳට ගරුසරු දැක්වීමට නොහැකි නම්, අඩුම වශයෙන් අවමන් නොකර සිටීමටවත් උත්සාහ කළ යුතුයි. පළමු පියවර වශයෙන් අවමන් කිරීමවත් නවතා ගත යුතුයි.එය බිරිඳ වෙනුවෙන් කළ යුතු යුතුකමක් ලෙස සිඟාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.කාන්තාවත් එම කාරණාවම පුහුණුවීම ඉතාම අවශ්‍ය වෙයි.
ඇතැම් නිවෙස්වල බලගතුම චරිතය පිරිමියා නොවිය හැකියි. ආර්ථික බලය, ඉඩම් බලතල බිරිඳ සතුව පවතින නිසා ඇයට පැමිණීමට තිබෙන මාන්නය පිරිමියාට මෙන්ම පැමිණිය හැකියි. ඔබ එවැනි බලගතු කාන්තාවක් නම්, ඔබ ඔබගේ සැමියාට ගරු කිරීමට පුරුදු විය යුතුයි. ගරුකිරීමට හිත හදාගැනීම අපහසු නම්, අඩුම වශයෙන් අවමන් නොකර සිටීමටවත් සිත හදාගත යුතුයි. දරුවන් ඉදිරිපිට ස්වාමියා අපසුතාවට පත්වන ආකාරයෙන් කතා කිරීම නැවැත්විය යුතුයි. කොයි එකා නැතිවුණත් දරුවන් ටික හදාගත හැකි බවට ඇතැම් කාන්තාවන් ප්‍රකාශ කරන අවස්ථා නැතිවා නොවෙයි.කොයි එකා යනුවෙන් ප්‍රකාශ කරන්නේ තමාගේ ස්වාමියාට බව මතකයට නඟා ගැනීමට තරම් නොහැකි වන්නේ ඇය තුළ පවතින මාන්නාධික බවයි. පන්සලට පැමිණෙන ගිහියන්ගේ ජීවිතයත්, ගිහි ගෙදර ජීවිතයත් ඇතැම් විට දෙකක් විය හැකියි. පන්සලෙහි හැසිරීමෙන් නකුළ මාතාවගේ සහ නකුළ පිතාගේ අවතාර පැමිණිලාද? යන තරමට රැවටෙන අවස්ථා නැතිවා නොවෙයි.ඒ තරමටම සමඟිව , ඒ තරමටම ආදරණීයව , ගරුසරුව සිටියත් එය එක මුහුණක් මිස එකම මුහුණ නොවන බව අප අවබෝධ කරගත යුතුයි. ඔබගේ මාන්නය බිඳගෙන ඔබගේ සැමියාට ගරුකිරීමට පුරුදුවන්න උත්සාහ ගන්න. ඔබගේ මාන්නය බිඳගෙන ඔබගේ බිරිඳට ගරුකිරීම උත්සාහ ගන්න. යම්කිසි ගෘහයක මවක් අවමානයට,නින්දාවට ලක්වෙනවා යනු ,ඇය මානසික රෝගී කාන්තාවක් බවට පත්වීමයි. නිවසක් ඇතුළත දිගටම අවමන් විඳින කාන්තාවක් නම් ඇය රෝගී වීමට පටන් ගනී.කිසිම වටිනාකමක් නැති , බවට නිතර කියවමින් ඇයගේ මනසට කා වැද්දුව හොත් එම කාන්තාව කිසිදු වැඩකට නැති කාලකන්නි ජීවිතයක් ගත කරන කාන්තාවක් බවට ඇයගේ සිත ඇතුළතින් ක්‍රියාත්මක වන නිසා ඇය නිතරම සිත අසතුටින් සිටී. ඇය පිළිබඳවම අතෘප්තියෙන් සිටී. තමන් පිළිබඳ අසතුටින් තමන් පිළිබඳ වෛර කරමින් තමාට ද්වේශ කරමින් ශාප කරමින් සිටින කාන්තාවකගෙන් බිහිවන දරුවන් යහපත් දරුවන් නොවෙයි.ලෝකයට යහපත් නිරෝගි ප්‍රජාවක් බිහි කළ යුතු නම්,අම්මා නිරෝගී මනසක් සහ නිරෝගී ශරිරයක් තිබිය අයෙකු විය යුතුයි. අම්මාට නිරෝගී මනසක් දිය හැක්කේ ගෙදර සිටින සැමියාටයි. ඔහු විසින් ඇය ව නිතර නිතර පීඩාවට ලක්කරනවා නම්,අපහාසයට, අගෞරවයට අවමානයට පාත්‍ර කරනවා නම්,කවදාවත් එම කාන්තාව යහපත් මානසික සෞඛයකින් යුක්ත කාන්තාවක් බවට පත්වන්නේ නැහැ. එවැනි කාන්තාවකගෙන් බිහිවන ප්‍රජාව යහපත් මානසික සෞඛ්‍යයක් සහිත නිවැරැදි ගුණාත්මක ප්‍රජාවක් බවට පත්වන්නේ නැහැ. මෙවැනි කාරණාවන් තේරුම් නොගැනීම ජාතිය බිඳ වැටීමට හේතුවන ප්‍රධාන කාරණාවක් වෙයි.ධර්මය තුළ පිහිටමින් එකිනෙකාට ගරුකරමින් එකිනෙකාට වටිනාකමක් ලබාදෙමින් , එකිනෙකාව ශ්‍රද්ධාවෙන් යුක්තව ඇසුරුකරම්න් එකිනෙකා සමඟ පවතින සම්බන්ධකමේදී පව, පින විශ්වාස කරගෙන කටයුතු නොකිරීමේ අයහපත් ප්‍රතිඵලය නම්, පවුල් සංස්ථාව දෙදරා කඩා වැටීමයි . එම නිසා හැම දෙනෙක්ම නිවස තුළ ශ්‍රද්ධාව ගොඩනඟා ගැනීමට උත්සාහ කළ යුතුයි. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තිබෙනවා වගේම එකිනෙකාට එකිනෙකා කෙරෙහි ශ්‍රද්ධා භක්තියක් තිබිය යුතුයි.


හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත 
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී 
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ‍‍නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment