සත්වයා සසර උපදින්නේ තෘෂ්ණාව හේතුවෙනි. බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ එක් එක් ආත්මවල ඉපදෙමින් අවසාන ආත්ම බවයෙහි ඉපිද ගිහි සැප හැර පැවිදි බිමට පත්ව මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ගමන් කොට උතුම් වූ ලොව්තුරා බුදු පදවිය ලැබූහ. එහි දී බුදුහිමි පී‍්‍රති වාක්‍යයක් ප්‍රකාශ කළහ.
අනේකජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
නැවත නැවත ඉපදීම දුකකි. එහෙයින් මේ ආත්ම භවය නැමැති ගෙය හදන වඩුවා සොය සොයා ඔහු දකින්නට සමත් වූ නුවණ උපදවා ගත නොහැකි ව මේ සසර කතරේ නොයෙක් ජාතිවල ඉපදෙමින් නා නා පැතිවල ඇවිද්දෙමි.
වඩුව, මම තොප දිටිමි. මින්පසු ඔබ මට ගෙවල් නොසාදන්නෙහි ය. ගෙයි පරාල සියල්ල බිඳ දැමීමි. ගෙයි මුදුන ද සුණු විසුණු කළෙමි. දැන් මගේ සිත නිවනෙහි පිහිටියේ ය. තණ්හාව නැති වී ගියේ ය. මම අරහත් භාවයට පැමිණියෙ මි.
ඉහත කරුණ තුළින් තෘෂ්ණාව සසර ගමනට ප්‍රධාන සාධකයක් වූ බව පැහැදිලි වේ. පට්ච්ච සමුප්පාදය තුළ සඳහන් වන්නේ ‘වේදනා පච්චයා තණ්හා’ යනුවෙන් විඳීම හේතුවෙන් තෘෂ්ණාව පහළ වන බවයි. විඳීම ත්‍රිවිධාකාර ය.
සැප විඳීම, දුක විඳීම, මැදහත් බව යනුවෙනි. විඳීමේ දී සත්වයාට තෘෂ්ණාව ඇති වේ. එම තෘෂ්ණාව ක්‍රම තුනක් ඔස්සේ විකාශය වේ.
කාම තණ්හා (පස්කම් සැප පිළිබඳ තෘෂ්ණාව) භව තණ්හා (නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව) විභව තණ්හා (නැවත නැවත නො ඉපදීම පිළිබඳ තෘෂ්ණාව) යනුවෙනි.
කය, වචනය තුළින් පින් කටයුතුවල යෙදුන ද සිත තුළින් බොහෝ දුරට සිදු වන්නේ පාප සිතුවිලි ම ය. එයට හේතුව වන්නේ කෙලෙස් සහිත සත්වයින් වීම ය. එනිසා ම කුසල් කිරීම, පින් කිරීම තම ජීවිතය තුළ එදිනෙදා ජීවින චර්යාවක් කර ගත යුතු ය. පින් නොකරන විට සිත පාපයටම ඇදී යන අයුරු ධම්ම පදයේ පාප වග්ගය තුළින් දේශනා කොට ඇත.
පින්කම් කිරීමෙහි සිත යොමු කළ යුතු ය. සිත පාපයෙන් වළක්වා ගත යුතු ය. පින්කම් කිරීමට යොමු නොවන සිත පාපයෙහි ඇදී යන හෙයිනි.
දිය සෙවල බැඳි තැනකට පය හසුවූවෙක් ඉදිරියටම ඇදීයන්නාක් මෙන් පිනට යොමු නොවූ අය පාපයටම ඇදීයනු ඇත. ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සමඟ හොඳ දෙයක් කිරීමේ දී ලොකු සටනක යෙදීමට සිදු වේ. එම කෙලෙස් නිසා සිත ස්වභාවිකව පාපයටම නැඹුරු වී ඇති බැවින් හොඳ පැත්තට යොමුකිරීම අසීරු කාර්යයකි. ඒ සඳහා චිත්ත වීර්ය තිබිය යුතු ය. එහි දී පින් කිරීමේ දී තදංග වශයෙක් කෙලෙස් ධර්ම යටපත් කිරීමක් කළ යුතුව ඇත. එසේ නොවේ නම් දස පුණ්‍යක්‍රියා දී පින්කම් කිරීම අසීරු ය. ඒ සඳහා මනසත් සමඟ සටනක යෙදිය යුතු ය. එසේ සටන් කොට දිනීම තම ලෞකික ජීවිතය තුළ ලබන්නා වූ ලොකුම ජයග්‍රහණය ද වන්නේ ය.
බුදුන් කළ සිටි ඒකසාඨක බමුණාගේ කතාව, සුමන මල්කරුගේ කතාව තුළින් පැහැදිලි වන්නේ මනසත් සමඟ දෙතුන් වතාවක් සටන් කොට පැරදී අවසානයේ දී කෙසේ හෝ ජයග්‍රහණය කළ බවයි.
ඒ අනුව ස්වභාවයෙන් ම සත්ත්වයාගේ සිත අකුසල්වලින් පිරි ඇති බැවින් පවට නැඹුරු වීමේ ප්‍රවණතාවය වැඩි බව තේරුම්ගත යුතු ය. එසේ ම එය මැඩ පවත්වා ගැනීම උදෙසා නිරන්තරයෙන් පින්දහම් සඳහා සිත, කය, වචනය යෙදවිය යුතු ය. එතුළින් පාප කටයුතු සිදු නොවන අතර ඒ සඳහා සිත යොමුවන ප්‍රවණතාවය ද ඇති කර ගැනීමට පුළුවන.
උසස් මනසක් ලැබූ සත්වයින් වශයෙන් ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල් සිතුවිලි තිබුණ ද ඒවා මැඩ පවත්වාගෙන පාලනය කරගෙන යහපත් කටයුතු සඳහා ජීවිතය යොමු කිරීම ඉතා වැදගත් වේ.
මාස්පොත ඓතිහාසික බෝධි පූජා විහාරස්ථානවාසී
කු/ නික / වාරි / රත්මලේ රතනසෙල මහ පිරිවෙනෙහි
නියෝජ්‍ය පරිවේණාධිපති
ගලගෙදර රතන වංස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඉල් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment