Labels

Tuesday, November 21, 2017

ධර්මානුධර්ම ප්‍රතිපදාව ( සෝතාපත්ති අංග )

ධර්මානුධර්ම ප්‍රතිපදාව යනු තමන් අවබෝධ කරගන්නා ධර්මයට අනුව තම දිවි මඟ නිවැරැදිව හසුරුවා ගැනීම යි. බුදුන් වහන්සේ ප්‍රධාන කාරණා සතරක් පිළිබඳව සිත පිහිටුවා තම දිවි මඟ සකසා ගැනීමට අවශ්‍ය බව පෙන්වා දුන් සේක.
පාපයෙන් දුරුවීම, ධර්මයට අනුව ජීවත් වන්නාගේ ප්‍රධාන ලක්ෂණය වෙයි. ඇත්තට ම කෙනෙකු අටසිල්, දස සිල්, සමාදන් වුව ද ඒ ගන්නා ශීලය නිබඳව ආරක්ෂා නොවේ. ඒ නිසා ඇතැමුන්ගෙන් නිබඳව ම අඩුපාඩුකම් සිදු වෙයි. නිදසුනක් ලෙස සඳහන් කිරීමේ දී යමෙක් බොරු නොකියන බවට සිතුව ද බොරු කීම සිදු වෙයි. කිසිවෙකුට වදනකින්වත් සිත නොරිදෙන සේ ක්‍රියා කරන බවට සිතුව ද එසේ නොවී අඩුපාඩුකම් සිදු වෙයි.
බුදුන් වහන්සේ නිබඳව ම දේශනා කර වදාළේ නිබඳව ම සමාදන් වන අටසිල්, දස සිල් ආදිය ආර්ය කාන්ත ශීලය ඉතා වැදගත් සේ ම පාපයෙන් වැළකීම ද වඩා සුදුසු බව යි. ඇත්තට ම, අප තේරුම් ගත යුත්තේ කෙනෙකු අතින් අඩුපාඩුකම් සිදු වන්නේ ඇයි ද? යනුවෙනි. සිල් සමාදන් වූ පමණින් ම කෙනෙකුට සියලු පාපයන්ගෙන් දුරු වන්නට බැහැ. සියලු පාපයෙන් දුරස් වන්නට තම මනස තේරුම් ගත යුතු යි. මිනිසත් බව ලැබූ කුමන හෝ අයෙක් සංසාරෙන් ලැබූ ප්‍රධාන ම කාරණා තුනක් වෙයි. එනම්, ලෝභ , ද්වේශ , මෝහයන් වෙයි. නැතහොත් යම් කෙනෙක් භෞතික බැඳීම් වලට මනසින් ඇලීම ලෝභ මූලය නම් වෙයි. ද්වේශ මූල යනු මනසින් ඇලෙන දේ නො ලැබෙන විට ඇතිවන ගැටීම නොහොත් පටිඝය, ද්වේශය වශයෙන් පිට වෙයි. එසේනම්, ද්වේශයට හේතුව ඇලීම වෙයි.
එහි ඊළඟ ප්‍රතිඵලය මෝහය යි. එනම්, සිතේ කලබල ගතිය නොහොත් පින – පව කුසල් අකුසල් වශයෙන් තේරුම් ගැනීමට නො හැකි බව යි. සිතේ ව්‍යාකූල බව ඇති වන්නේ ඇලීම හා ගැටීම මත යි. සංසාරයෙන් ගෙන එනු ලබන මේ අකුසල් මූලයන් තුන ඇතිවුණ විට යෝනිසෝමනසිකාරය උපදවා නොගෙන , අනිත්‍ය ධර්මතාව තේරුම් නොගෙන ජීවත් වන්නා තුළ අකුසලයන් බලවත් වෙයි. එයට හේතු වන්නේ ඇතැමුන් ඒවාට අනිසි වටිනාකම් ලබා දී ෂඩ් ඉන්ද්‍රිය (ඇස, කන, නාසය, දිව, ශරීරය ,මනස) පිනවීම නිස යි. යෝනිසෝමනසිකාරය, අනිත්‍ය මෙනෙහි නොකර ෂඩ් ඉන්ද්‍රිය පිනවීමෙන් සිදු වන්නේ අකුසල මූලයන් බලවත් වීම යි. නිදසුනක් ලෙස සඳහන් කිරීමේ දී නිවසේ වෙසෙන දූ දරුවන්ගෙන් වින්දනයක් ලැබෙයි. නමුත් බුදුන් වහන්සේ දේශනා කර වදාළේ ඔබට යම් ප්‍රිය රූපයක් නෙත ගැටෙද්දී අනවශ්‍ය ලෙසින් සිතට යම් වේදනාවක් හෝ ඒවා ලැබෙන්න යැ’යි නැවත නැවත සිතට ඉල්ලන ස්වභාවය අනිත්‍ය වශයෙන් දැකිය යුතු බව යි. එය ඒ මොහොතේ ම මනසින් ඉවත් කර ගත යුතු වෙයි. බුද්ධ දේශනාවට අනුව යම් රූපයක් දැකීමේ දී ඒවාට නිබඳව ම වටිනාකම් නොදී , එහි අනිත්‍යතාව මෙනෙහි කළ යුතු යි. නොලැබෙන දේ පසු පස ලුහුබැඳ ලැබෙන තාවකාලික වින්දනයක් මිස එය දීර්ඝ කාලීන නොවන බව නුවණින් සිතිය යුතු යි. පුද්ගලයාගේ සිතට ක්‍රමානුකූලව මනසින් සිදුවන බැඳීම් අඩුකර ගත හැකි යි. අද සමාජයේ බොහෝ දෙනා දුක් විඳින්නේ මනසින් අල්ලා ගැනීම නිස යි. දූ දරුවන්ට , අන්‍යයන්ට උදවු උපකාර කිරීම යහපත් වුව ද එහි ප්‍රති උපකාර කිසිවිටකත් අපේක්ෂා නොකළ යුතු යි. එවිට තමන්ට ලැබෙන සැනසුම අපමණ යි. එසේනම්, අනෙක් ඉන්ද්‍රියන්ටත් ලැබෙන අරමුණු කිසිවක් මනසින් අල්ලා නොගන්න යැ’යි බුදුරදුන් දේශනා කර වදාළා. ඒ තැනැත්තාට මනසේ ඇඳෙන සතුටත් සමඟ කිසිම විටක දුකක් වේදනාවක් ඇති නොවේ.
විශේෂයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාව යනු ඇසෙන ධර්මය පිළිපැදීම පමණක් නොවෙ යි. ‘සබ්බ පාපස්ස අකරණං’ නොහොත් සියලු පාපයන් දුරැලීමට කටයුතු කළ යුතු යි. සියලු පාපයන් සිදු වන්නේ කෙසේද යනුවෙන් තේරුම් ගෙන එයට හේතුව ලෝභ, ද්වේශ, මෝහ නමැති අකුසල් මූලයන් බව තේරුම් ගත යුතු යි. ඒවා යටපත් කර, ඛණ්ඩනය කරන්නට දානය ධර්මතාව වශයෙන් පුරුදු කළ යුතු යි. එසේ ම, අනිත්‍යතාව නුවණින් දකිමින් යෝනිසෝමනසි කාරයෙන් ගැටෙන අරමුණු පිළිබඳව සිතා සියලු පාපයන්ගෙන් වැළකීම සිදු කළ යුතු යි.
ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙවැන්න කුසලස්ස උපසම්පදා වෙයි. එනම් කුසල් වඩන්න යනු යි. මනසේ ඇතිවන ලෝභ, ද්වේශ , මෝහ අකුසල් මුල් යටපත් වීමේ දී වදනින්, ක්‍රියාවෙන් සිදුවන අඩුපාඩුකම් සකසා ගැනීම කුසලයන් වෙයි. මේ ලෝකයේ සෑම මිනිසෙකුට ම ජාති, ආගම් භේදයකින් තොරව අඩුපාඩුකම් දහයක් තිබෙයි. එනම්, වදනින් සිදුවන අඩුපාඩුකම් වශයෙන් බොරුකීම, කේළාම් කීම, නරක වචන කථා කිරීම, යහපත දකින්න තිබෙන කාලය විනාශ කිරීම ආදිය යි. එසේම, ක්‍රියාවෙන් සිදුවන අඩුපාඩුකම් වන්නේ ප්‍රාණඝාතය සහ වැරැදි ලෙසින් දිවි ගෙවීම යි. මේ වචනයේ සහ ක්‍රියාවේ අඩුපාඩුකම් වලට මනසින් මුල් වන්නේ ලෝභ,ද්වේශ, මෝහයන් වෙයි. එසේනම්, දස අකුසල් දුරැලා දස කුසල් වැඩීමට තිදොරින් යහපත් ක්‍රියාවන් සිදු කළ යුතුයි.

ධම්මානුධර්ම ප්‍රතිපදාවේ ‘සචිත්ත පරියො දපනං’ යනු භාවනාවට අනුව ජීවත්වීම යි. කිසිම අකුසලයක් නොවන සේ තම සිත පිහිටුවීම වෙයි. ‘චිත්තංතරං නිසින්නොවා - සයානොවා’ තමන් සිටින අරමුණට අනුව තම සිත පිහිටුවීම යි. සතර සතිපට්ඨානයට අනුව සිත පිහිටුවීමෙන් ඒ සිතට කිසිදු අකුසලයක් මතු නො වෙයි. ඒ භාවනානුයෝගී පිවිතුරු සිත ධම්මානුධර්ම ප්‍රතිපදාවට අනුව ජීවිතය ගොඩ නඟා ගනියි.


සුනේත්‍රා දේවි පිරිවෙනේ විහාරාධිකාරී 
දර්ශනපති, 
පුස්සැල්ලයායේ චන්දිම හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 17 වන සිකුරාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment