Labels

Saturday, November 18, 2017

තිල දක්ඛිණ විමාන වර්ණනාව

විමාන වත්ථු කතා



තිලබීජ” යනු තල ඇටයට නමෙකි. “දක්ඛිණ” යනු පැහැදුනු, පූජාර්හ සිතින් සීලයෙන් උසස් වූ උතුමන් හට උත්තම දානයක් දුන් ලෙස ගැනේ. ඒ අනුව “තිල දක්ඛිණ” යනු පූජා සිතින්, උසස් ම සිල්වතෙක් හට දුන් තල දානයකි. දෙව්ලොව චාරිකාවෙහි යෙදුනු මහ මුගලන් මහරහතන් වහන්සේ දිනක් එක්තරා දේවතාවියක දැක, දේවතාවියනි, ඔබ සියලු දිසා බබළුවන ඕසධී තාරකාව මෙන් මනා රූපයෙන් සිටින්නී ය.
ඔබ මනුලොව කවර නම් පිනක් කොට මෙබඳු සිරුරු පැහැයක්, මන වඩන සම්පත්, සුචරිත ඵලයක් හා පුණ්‍ය සෘද්ධීයක් ලබන්නේ ද?
"මහත් අනුභාව ඇති පින්වත් ස්වාමීනි, මිනිස් ලොව මිනිස් දුවක් වූ මම දිනක් රාගාදී කෙලෙස් සියල්ල පහකළ, නො කැළඹුණු සිත් ඇති, දුටු සැනින් අතිශයින් ප්‍රසන්න වූ, හදවත සිසිල් කරන, සිත නිවෙන බුදුරදුන් දුටුවෙමි."
බුදුරජාණන් වහන්සේ දුටුවා වුවද පිදීමට ඇති මා සතු දෙය නොවටින්නක්ම විය. ඒ හෙයින් ගැන සිතමින් ම නො කැමැත්තෙන් ඉදිරියට පැමිණ බුදුරජාණන් වහන්සේට ඉතාම පැහැදුණ සිතින් සියතින් ම තල දෝතක් පූජා කළෙමි.
පින්වත් ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී ඒ දුන් දානයේ පිනෙන් මාගේ සිරුර පැහැය, මන වඩන සම්පත්තීහු මේ අයුරින් මට පහළ වන්නේ යයි දෙව්දුව කීවා ය.

(මෙම විමාන වර්ණනාවට අදාළ උප්පත්ති කතාව අටුවාවෙහි දක්වන පරිදි මෙසේ ය.)
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයකි. රජගහනුවර විසූ එක්තරා ගර්භනී ස්ත්‍රියක් තෙල් සිඳිනු කැමතිව තල ටිකක් සෝදා අව්වෙහි ලා වේලමින් සිටියා ය. ඕ තොමේ මේ වන විට ආයුෂ අවසන් වී ඇත්තේ එදින ම කලුරිය කොට නිරයෙහි උපදින්නට හේතු වී තිබුණි.
මෙදින අලුයම ලොව බලා වදාරන බුදුරජාණන් වහන්සේ දිවැසින් මේ කාන්තාව දැක මෙසේ සිතන්නට වූ සේක. මෝතොමෝ අදම කලුරිය කොට නිරයේ උපදින්නී ය. මම, යම් හෙයකින් ඇයගෙන් තල භික්ෂාව (ආහාරය) පිළිගෙන ඇය ස්වර්ගයෙහි ඉපදීම කරන්නේ නම් යෙහෙකැයි යනුවෙනි. මේ අනුව භාග්‍යවතුන් වහන්සේ ක්ෂණයකින් සැවැත් නුවරින් පිටත්ව රජගහ නුවරට වැඩම කළ සේක. එහි දී පෙරවරුයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන පිණ්ඩපාතය පිණිස ඇයගේ දොරට වැඩම කළහ. ස්ත්‍රී තොමෝ බුදුරජාණන් වහන්සේ දුටු විගස හටගත් පී‍්‍රති සොම්නස් ඇති වූවා ය. වහා නැගිට දොහොත් මුදුන් තබා වැඳ යමක් පිදිය යුතු යැයි සිතුවා ය. එහෙත්, පිදිය යුතු කිසිවක් නොදක්නී ය. වහා අත් පා සෝදා ප්‍රමාද වුවහොත් ඉවත්ව යති යි සිතමින් වියළීමට දමා තිබූ තලබීජ දෝතක් ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්වා පැහැදුනු සිතින් ම වැන්දා ය. ඇයට අනුකම්පා කළ ලෝකනාථයන් වහන්සේ එම ආහාරය පිළිගෙන සුවපත් වෙත්වා’ යි වදාරා වැඩි සේක. ඕතොමෝ එදින ම රාත්‍රී අලුයම වේලෙහි කලුරිය කොට තව්තිසා දෙව්ලොව දොළොස් යොදුනක් වූ රන් විමානයක නිදා පිබිදියාක් මෙන් උපන්නී ය.
මෙසේ විස්තර දැනගත් මුගලන් මහරහතන් වහන්සේ ඇයට දම් දෙසා මනුලොවට පැමිණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සියලු විස්තර පැවසීමෙන් පසු බුදුරජාණන් වහන්සේ අර්ථෝපත්ති ගලපා මහජනයාට දහම් දෙසූ කල බොහෝ ජනයාට වැඩ සහිත වූ සේක.
ඉහත කතා වස්තුව අනුව අපගේ අවධානයට හා අවබෝධයට උපකාරක වන දහම් කරුණු කීපයක් මෙසේ ය. දන්දීමෙහි ආනිසංශ විපුල වීම සඳහා කරුණු සතරක් ධර්මයේ සඳහන් වේ. දායකයා හේතුකොට, ප්‍රතිග්‍රාහකයා හේතුකොට, දායකයා හා ප්‍රතිග්‍රාහකයා යන දෙපාර්ශවය ම හේතු කොට පිරිසුදු වන, දායකයා හා ප්‍රතිග්‍රාහකයා යන දෙපාර්ශවය ම හේතුකොට පිරිසුදු නොවන යනුවෙනි. මෙම කතා වස්තුව අනුව චේතනාව ම මුල් කොට දායකයා හා ප්‍රතිග්‍රාහකයා යන දෙදෙනාම හේතු කොට ගෙන අතිශයින් පිරිසුදු වූ දානයක් වූ හෙයින් කෙටි කාලයකින් ආනිශංස ද මහත් විය. මෙහි දී දානය පිළිගන්නා සීලයෙන් උතුම් තරමට ද, දායකයාගේ පැහැදීම කල් පවත්නා පරිදි වැඩි වූ වැඩි වූ තරමට ද, පුදන දානමය වස්තුව සාධාරණ වූ තරමටද ආනිසංශ කෙරෙහි බලපාන බව දැන සිටිය යුතු ය. තවද දානයක් දීමේ දී පූර්ව චේතනා එනම් දානයක් දිය යුතු යයි සිතූ මොහොතේ සිට මුඤ්චන චේතනා එනම්, දානයක් දෙන මොහොතේ හා අපර චේතනා දානයක් දීමෙන් පසු හැමදා සිතේ ඇතිවන සතුට, පී‍්‍රතිය, සොම්නස අනුව ද ආනිසංශයන් විවිධ වන බව ධර්මයේ සඳහන් වේ. තුන් සිත පහදවා දන් දීම යනු මෙයයි. තුන් සිත පහදවා ගත් විට දීමට හැමවිට සිත් ඇත්තාහට දීමටම දිගු වූ දෑත් ඇතිවන්නේ ය. මෙවන් වූ අයට දීමට දිගු වූ දෑතට යමක් හසුවීම ද ධර්ම බලයෙන් ම සිදුවන්නේ ය. මෙය ද එක්තරා ආශ්චර්යයකි.

කේ.කේ. සුගතපාල 
ලේකම් (බෞද්ධ කටයුතු දෙපාර්තමේනුතුව) 
ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලය 
ශ්‍රී ලංකා පරිපාලන සේවය (විශ්‍රාමික)

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ‍‍නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment